ඒ භාග්‍යවතුන් වහන්සේ[1] ශෝභන ගමන් ඇති බැවින් ද, 2. සුන්‍දර තැනට ගිය බැවින් ද 3. මනා කොටැ ගිය බැවින් ද 4. මනා තෙපුල් ඇති බැවින් ද සුගත වන සේක.
1. ගත නම් ගමන ය. භාග්‍යවතුන් වහන්සේගේ ගත-ගමන ශෝභන ය, පරිශුද්ධ ය, නිරවද්‍ය යි ඒ ගත නම් - ගමන නම් කිම? ආර්‍ය්‍ය මාර්‍ගය යි. උන්වහන්සේ ආර්‍ය්‍යමාර්‍ග සංඛ්‍යාත ගතයෙන් නො ලැගෙමින් නිවන්දිගට ගිය සේක. එබඳු ශොභන ගමන් ඇති බැවින් උන්වහන්සේ සුගත ය.
2. සුන්‍දර තැන නම් නිර්‍වාණය යි. ඒ නිර්‍වාණ සංඛ්‍යාත සුන්‍දර තැනට ගිය බැවින් ද උන්වහන්සේ සුගත ය.
3. උන්වහන්සේ මනා කොටැ ගිය සේක. ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහීණ ක්ලේශයන් කරා පෙරලා නො ගිය සේක. එහෙයින් උන්වහන්සේ සුගත ය.
කීයේ මැ යි - “සොතාපත්ති මග්ගෙන යෙ කිලෙසා පහිණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො. -පෙ- අරහත්ත මග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චා ගච්ඡතීති සුගතො”[2]යි. අර්‍ථ සුගම යි.
තවද උන්වහන්සේ දීපංකරපාදමූලයෙහි පටන් බෝ මැඩ දක්වා සමත්‍රිංශත් පාරමී සංඛ්‍යාත සම්‍යක් ප්‍රතිපත්තියෙන් මුළු ලොවට හිත සුව එළවමින් ශාස්වතඋච්ඡෙද වශයෙන් හෝ කාමසුඛ-අත්තකිලමථ වශයෙන් හෝ අන්තද්වයයට නො පැමිණ ගිය සේක. එබැවින් ද උන්වහන්සේ සුගත ය.
4. උන්වහන්සේ මනා කොටැ ගදනය කරන සේක. කියන සේක යුතු තැන්හි යුතු වූ ම තෙපුල් තෙපලන සේක. එහෙයින් ද උන්වහන්සේ සුගත ය. මේ අර්‍ථයට සාධක සූත්‍රයෙක් මෙසේ යි.
“යං තථාගතො වාචං ජානාති අභුතං අතච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති.
යං පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්‍ථ සංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා. න තං තථාගතො වාචං භාසති.
යං ච ඛො තථාගතෙ වාචං ජානාති භූතං තච්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තත්‍ර කාලඤ්ඤු තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණාය.
යං පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා. තං පි තථාගතො වාචං නභාසති.
යං ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්ඤු තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණාය.”[3]
මෙහි අර්‍ථ මෙසේ ය.
‘තථාගතයන් වහන්සේ තමන් වහන්සේ දන්නා යම් වචනයෙක් අසත්‍ය ද, අනර්ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද, එබඳු වචන නො වදාරන සේක. එසේම උන්වහන්සේ තමන් දන්නා යම් වචනයක් සත්‍ය ද, අනර්ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන ද නො වදාරන සේක. එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද, අර්‍ථයෙන් යුක්ත ද, එද අනුනට අප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (අර්‍ථයෙක් වේ නම් අනුනට අප්‍රිය වුව ද සත්‍ය වචනය වදාරන සේකැ යි සේයි) උන්වහන්සේ යම් වචනයෙක් අසත්‍ය නම් අනර්‍ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක. එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය වුව ද අනර්ථයෙන් යුක්ත නම් එය අනුනට ප්‍රිය වුව ද නො වදාරන සේක. එසේම උන්වහන්සේ යම් වචනයෙක් සත්‍ය ද අර්‍ථයෙන් යුක්ත ද එද අනුනට ප්‍රිය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක. (කාලානුරූප වැ එබඳු වචන වදාරන සේකැ යි සේයි.)
මෙසේ මනා තෙපුල් ඇති බැවින් ද උන්වහන්සේ සුගත ය. (“සුගඳ’ය යි කිය යුතු තන්හි-නිරුක්ත නයයෙන් “සුගත” විය.)