ධර්‍මානුස්මෘතිය වඩනු කැමැති යෝගී විසින් රහසිගත වැ විවේක වැ හිඳැ ගෙනැ “ස්වාක්ඛාතො භගවතො ධම්මො සන්‍දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි”[1] යි පර්‍ය්‍යාප්ති ධර්‍මයෙහි ද, නවවිධ ලෝකෝත්තර ධර්‍මයෙහි ද ගුණ මෙනෙහි කළ යුතු. (පර්‍ය්‍යාප්ති ධර්‍ම නම් ත්‍රිපිටක පාළි ය. නවවිධ ලෝකෝත්තර ධර්‍ම නම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්‍හත් මාර්‍ග - ඵල හා නිර්‍වාණ යි.) මින් “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යන පෙදෙන් පර්‍ය්‍යාප්ති ලෝකෝත්තර යන ද්විවිධ ධර්‍මයන්ගේ ද “සන්දිට්ඨිකො” ආදි සෙසු පෙදෙන් ලෝකෝත්තර ධර්‍මයන්ගේ ද ගුණ දැක්වේ. (පර්‍ය්‍යාය වශයෙන් පර්‍ය්‍යාප්ති ගුණ ද දැක්වේ යයි කියත්.)
“ස්වාක්ඛාතො භගවතා ධම්මො”
භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යාප්ති ලෝකෝත්තර ධර්‍ම මනා කොටැ දේශනා කරන ලද්දේ ය. පර්‍ය්‍යාප්ති ධර්‍මය වනාහි ආදි කල්‍යාණ-මජ්ඣෙ කල්‍යාණ-පරිායෝසන කල්‍යාණ බැවින් ද, සාත්‍ථි සව්‍යඤ්ජන සර්‍ව සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ වන බැවින් ද ස්වාක්ඛාතය - මනා කොටැ දේශනා කරන ලද වනැයි දත යුතු. ඒ එසේ මැ යි :- මනා කොටැ දේශනා කරන ලද වනැ යි :- බුදුන් වදාළ එක ගාථාවෙකුදු ශාසන ධර්‍මය සමන්තභද්‍ර බැවින් මුල පෙදෙන් ආදි කල්‍යාණය. දෙවැනි තෙවැනි පෙදෙන් මද්‍ධ්‍යෙකල්‍යාණ ය. අවසන් පෙදෙන් පරියෝසාන කල්‍යාණ යි. එසේ මැ එකානුසන්‍ධික සූතයෙක් නිදානයෙන් ආදි කල්‍යාණ ය. නිගමනයෙන් පරියෝසන කල්‍යාණ ය. සෙස්සන් මද්‍ධ්‍යෙකල්‍යාණ යි. නානානුසන්‍ධික සූත්‍රයෙන් ප්‍රථම අනුසන්‍ධියෙන් ආදි කල්‍යාණ ය. අවසාන අනුසන්‍ධියෙන් පරියොසාන කල්‍යාණය සෙස්සෙන් මද්‍ධ්‍යෙ කල්‍යාණ යි. මේ දැක්වුණු ත්‍රිවිධ කල්‍යාණත්‍වය සූත්‍රපිටක වසයෙනි.
සූත්‍ර විනය උභය පිටක වශයෙන් මෙසේ ය :- සූත්‍ර විනය වනාහි සනිදාන සඋත්පත්තික වශයෙන් ආදි කල්‍යාණ ය. විනෙය ජනයන්ට අනුරූප බැවින් හා දෙසනු ලබන ශීලාදි අර්‍ථය අවිපරීත බැවින් හා හේතු උදාහරණ සහිත බැවින් හා මද්‍ධ්‍ය වශයෙන් මද්‍ධ්‍යෙකල්‍යාණ ය. අසන්නවුන්ට ශ්‍රද්‍ධාව උපදවන බැවින් නිගමන වශයෙන් පරියෝසාන කල්‍යාණ යි. (ත්‍රිපිටක වශයෙන් ත්‍රිවිධ කල්‍යාණත්‍වය මෙසේ ය.)
සියලු පර්‍ය්‍යාප්ති ශාසනය එහි අර්‍ථය වූ ශීල වශයෙන් ආදි කල්‍යාණ ය. සමථ-විදර්‍ශනා-මාර්‍ග-ඵල වශයෙන් මද්‍ධ්‍යෙ කල්‍යාණ ය. නිර්‍වාණ වශයෙන් පරියොසාන කල්‍යාණ යි. තවද ශීල-සමාධි වශයෙන් හෝ ආදි කල්‍යාණ ය. විදර්‍ශනා-මාර්‍ග වශයෙන් මද්‍ධ්‍යෙ කල්‍යාණ ය. ඵල-නිර්‍වාණ වශයෙන් පරියොසාන කල්‍යාණ යි.
බුද්ධ සුබොධිතායෙන් හෝ ආදිකල්‍යාණ ය. (බුදුන් මහා නුවණ ඇති බැවින් ධර්‍මය තත් ප්‍රභව හෙයින් ආදි කල්‍යාණය යි කී සේ යි) ධර්‍ම සුධර්‍මතායෙන් මධ්‍යෙකල්‍යාණ ය. (ධර්‍ම සුධර්‍මතා නම් සංකේලශයන්ගේ ප්‍රහාණත්‍වය හා ව්‍යවදානයාගේ පරිපූර්‍ණත්‍වය ගෙනැ දෙන බව යි.) සංඝ සූත්‍රතිපත්තියෙන් පරියෝසාන කල්‍යාණ යි.
ධර්‍මය අසා ඒ පිණිස පිළිපදනවූන් විසින් අවබෝධ කටයුතු අභිසම්බෝධියෙන් හෝ ආදිකල්‍යාණ ය. “බෝධිය වනාහි අභිසම්බෝධිය, ප්‍රත්‍යෙකබෝධිය, ශ්‍රාවක බෝධිය යි ත්‍රිවිධ වේ. මෙයින් පිටත් අන්‍යතා නිර්‍වාණාධිගමයක් නැති බැවින් එහි සියලු ගුණයෙන් අග්‍ර බැවිනුදු සෙසු බෝධිද්‍වයට මුල බැවිනුදු අභිසම්බෝධිය ආදි කල්‍යාණය යි කීහු” යනු සන්නයි) ප්‍රත්‍යෙක බෝධියෙන් මද්ධ්‍යෙකල්‍යාණ ය. ශ්‍රාවක බෝධියෙන් පරියෝසාන කල්‍යාණ යි. (ඒ බෝධි දෙකට හීන බැවිනුදු ශාසන ධර්‍ම ශ්‍රාවක බෝධිය අවසන් කොටැ ඇති බැවිනුදු ශ්‍රාවක බෝධියෙන් පරියොසාන කල්‍යාණය යි කී සේ යි.)
ධර්‍මය තෙමේ අසනු ලබන්නේ නීවරණ දුරු කිරීමෙන් ශ්‍රවණමාත්‍රයෙනුදු කල්‍යාණ ම ගෙන දෙන්නේ ය. එ බැවින් ආදිකල්‍යාණ ය. පිළිපදිනු ලබන්නේ - සමථ විදර්‍ශනා සැප ගෙනැ දීමෙන් ප්‍රතිපත්තියෙනුදු කල්‍යාණ ම ගෙනැ දෙන්නේ ය. එ බැවින් මජ්ඣෙකල්‍යාණ ය. පිළිපදනා ලද්දේ ප්‍රතිපත්ති - ඵල නිමි කල්හි ෂඩඞ්ගොපෙක්‍ෂා වශයෙන් ඉෂ්ටාරම්මනාදියෙහි තාදි භාවය ගෙනැ දීමෙන් ප්‍රතිපත්ති ඵලයෙනුදු කල්‍යාණ ම ගෙනැ දෙන්නේ ය. එ බැවින් පරියෝසාන කල්‍යාණ යි.
මෙසේ ධර්‍මය ආදි මධ්‍යාවශාන කල්‍යාණ බැවින් ස්වාක්ඛාත යි.
සාර්‍ථ-සබ්‍යඤ්ජන-සර්‍ව සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන බැවින් කෙසේ ස්වාක්ඛාත වන්නේ ද
ත්‍රිවිධ කල්‍යාණ ධර්‍ම වදාරන බුදුහු යම් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවක් - මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවක් ප්‍රකාශ කෙරෙද් ද, නානා නයෙන් දක්වද් ද, ඒ උභය බ්‍රහ්මචර්‍ය්‍යාව ම තම තමාට යෙදෙන යෙදෙන පරිදි අර්‍ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාර්‍ථ ය; ඛ්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන ය. ශාසන බ්‍රහ්මචර්‍ය්‍යා නම් ත්‍රිවිධ ශික්‍ෂා හා සියලු පාළි ධර්‍මය යි. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍ය නම් සියලු ශික්‍ෂාවන්ගේ සාරය වූ ශික්‍ෂාත්‍රය සඞ්ගෘහීත ආර්‍ය්‍ය මාර්‍ගය යි. මෙයින් ත්‍රිවිධ ශික්‍ෂා සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව ද අර්‍ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාර්‍ථ ය. පාළිධර්‍ම සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව අර්‍ථ සම්පත්තියෙන් හා ඛ්‍යඤ්ජන සම්පත්තියෙන් හා යුක්ත බැවින් සාර්‍ථ ද සබ්‍යඤ්ජන වේ.
(ද්විවිධ බ්‍රහ්මචර්‍ය්‍යාව නෙත්ති ක්‍රමයෙනුදු සාර්‍ථ - සබ්‍යඤ්ජන පරිදි දක්වති) ඒ ද්විවිධ සාසන - මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වනාහි සංකාසන, පකාසන, විවරණ, විභජන, උත්තානීකරණ, පඤ්ඤත්ති යන සවැදෑරුම් අර්‍ථයෙන් යුක්ත බැවින් සාර්‍ථ ය. අක්ඛර, පද, බ්‍යඤ්ජන, ආකාර, නිරුත්ති, නිද්දේස යන ෂඩ්විධ ශබ්ද සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන ය. (සංක්‍ෂෙපයෙන් අර්‍ථය හැඟවම සංකාසනය. පළමුවෙන් අර්‍ථය හැඟවීම පකාසනය සංක්‍ෂේපයෙන් කියන ලද්ද විස්තර කිරීම විවරණය. පළමු කියන ලද්ද නැවත නැවත බෙදා දැක්වීම විභජනය. විවරණය තවද ප්‍රකට කොටැ කීම උත්තානි කරණය. විභජනය දෘෂ්ටාන්ත දැක්වීමෙන් ඇසූවන් සිත සතුටු වන සේ ප්‍රකාරයෙන් හැඟවීම පඤ්ඤත්තිය. මෙයින් සංකාසන-පකාසන දෙකින් උද්දේසයද, විවරණ-විභජන දෙකින් නිද්දේසය ද, උත්තානීකරණ-පඤ්ඤත්ති දෙකින් පටිනිද්දේසය ද දක්වන ලදි. උද්දේසය උග්ඝටිතඤ්ඤු පුද්ගලයන් සඳහා ය. නිද්දේසය විපචිතඤ්ඤු පුද්ගලයන් සඳහා ය. පටිනිද්දේසය ඤෙය්‍ය පුද්ගලයන් සඳහා යි.
අකඛර නම් අකුරු යි. “යා-සා ආදි එක් අකුරක් ඇති පද ද අක්ඛර වසයෙන් ම මෙහි සලකනු ලැබේ. එක් අකුරක් හෝ විභක්ත්‍යනත්වැ අර්‍ථ ප්‍රකාශ කෙරේ නම් ඒ පද යි. දෙවැනි මතයෙහි අකුරු දෙකකින් වැඩි වූයේ පද යි. බ්‍යඤ්ජන නම් පද කීපයක් එක් වීමෙන් සෑදෙන වාක්‍යයි. වාක්‍ය විභාග කිරීම ආකාර යි. “පකාරතො වාක්‍යවිභාගො ආකාරො” යනු එහෙයින් කීහ. නිරුක්ති නම් නිර්‍වචන ය. “ඵුසතී’ති ඵස්සො, වෙදයතීති වේදනා යනාදීන් විග්‍රහ දැක්වීම නිරුක්තිය යි සේ යි. නිර්‍වචනය තවද විස්තර කිරීම නිර්දේශ යි. නිර්‍වචන වීස්තරොපදේශාන්නිර්‍දෙශම්” යි එහෙයින් කීහු. මේ දොළොස් වැදෑරුම් අර්‍ථ-බ්‍යඤ්ජනයන්ගේ විස්තර විභාග නෙත්තිකලිකායෙහි බලනු.
එසේ ම අර්‍ථගම්භීරත්‍වයෙන් හා ප්‍රතිවේධ ගම්භිරත්‍වයෙන් යුක්ත බැවින් සාර්‍ථ ය. ධර්‍මගම්භීරත්‍වයෙන් හා දේශනාගම්භීරත්‍වයෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන ය. (“මෙහි අර්‍ථ නම් පෙළ අර්‍ථ ය. ප්‍රතිවේධ නම් පෙළ හා පෙළ අර්‍ථයාගේ යථාවබෝධය යි. ධර්‍ම නම් පාළි ය. දේශනා නම් මනසින් නිශ්චය කළ පෙළ දෙසීම යි. යම් හෙයකින් මේ අර්‍ථාදීහු ශුහාදීන් විසින් මහා සාගරය සේ මන්‍දබුද්ධීන් විසින් දුරවගාහයෝ ද - නො ලැබිය යුතු පිහිට ඇත්තාහු ද, එහෙයින් ගම්භීර නම් වෙත්” යනු සන්න යි.) අත්‍ථපටිසම්පදා, පටිභානපටිසම්පදා විෂය බැවින් සාර්‍ථ ය. ධම්මපටිසම්පදා, නිරුත්තිපටිසම්පදා විෂය බැවින් සබ්‍යඤ්ජන යි. (“මෙහි අර්‍ථයෙහි ප්‍රභේද ගත ඥානය අත්‍ථපටිම්භිදා නමි. අත්‍ථ, ධම්ම, නිරුත්ති, පටිසම්භිදාවන් කෙරෙහි ප්‍රභේදගත ඥානය පටිභාන පටිසම්භිදා නමි. මේ පටිභාන පටිසම්භිදාව ද අර්‍ථ විෂය හෙයින් “අත්‍ථපටිසම්භිදාවිසයතො සාත්‍ථං” යූහු. අර්‍ථසම්පත්තිය නැතහොත් පටිභානපටිසම්භිදාව නො වන බැවින් ධර්‍ම නම් පෙළ ය; නිරුත්ති නම් පාළිපාදයන් නිර්‍ධාරණය කොටැ වචනය යි. එහි ප්‍රභේදගතඥානයෝ ධර්‍ම-නිරුක්ති ප්‍රතිසංවිත් නම් වෙත් නු යි. “ධම්ම-නිරුත්ති පටිසම්භිදාවිසයතො සව්‍යඤ්ජනා”යි කීහු. බ්‍යඤ්ජනසම්පත්තියක් නැතහොත් ධම්ම නිරුත්ති පටිසම්භිදාවන් නො වන බැවිනි” යනු සන්න යි.)
පණ්ඩිතයන් විසින් දත යුතු බැවින් පරීක්‍ෂක ජනයාගේ චිත්තප්‍රසාදය එළවා නු යි සාර්‍ථ ය. ඇදහිය යුතු බැවින් ලෞකික ජනයාගේ චිත්තප්‍රසාදය එළවා නු යි සබ්‍යඤ්ජන යි.
ගැඹුරු අදහස් ඇති බැවින් සාර්‍ථ ය. නො ගැඹුරු පද ඇති බැවින් සබ්‍යඤ්ජන යි.
ඌනය යි ඇතුළු කළ යුත්තක් නැති වැ සියල්ලෙන් සම්පූර්‍ණ බැවින් සර්‍වසම්පූර්‍ණ ය. අධිකය යි බැහැර කළ යුත්තක් නැති වැ සියල්ල නිර්‍දොශ බැවින් පිරිසිදු යි.
තව ද ශීලවිශුද්ධි ආදි සම්‍යක් ප්‍රතිපත්තියෙන් අධිගමය ව්‍යක්ත වන බැවින් සාර්‍ථ ය. පර්‍ය්‍යාප්තියෙන් ආගමය ව්‍යක්ත වන බැවින් සබ්‍යඤ්ජන ය. ශීලාදි පඤ්චධර්‍මස්කන්‍ධයෙන් යුක්ත බැවින් සර්‍වසම්පූර්‍ණ ය. දෘෂ්ටි - මානාදි උපක්ලේශ නැති බැවින් ද; නිවන් පිණිස පවත්නා බැවින් ද, ලෝකවිෂයෙහි අපේක්‍ෂා නැති බැවින් ද පිරිසිදු යි.
මෙසේ සාර්‍ථ, සව්‍යඤ්ජන, සර්‍ව සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරන බැවින් ධර්‍මය ස්වාක්ඛාත වන්නේ ය.
ස්වාක්ඛාත යන්නෙහි තව ද අර්‍ථ පක්‍ෂයෙක් මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්‍මයාගේ අර්‍ථ විපර්‍ය්‍යාසයෙක් කිසිකලෙකුදු නො වන්නේ ය. එ බැවින් “සුට්ඨු අක්ඛාත” මොනවට වදාළේ ය යන අර්‍ථයෙන් ස්වාක්ඛාත වේ.
ඒ එසේ මැ යි :-
අන්‍ය තීර්‍ථකයන් ගේ ධර්‍ම පිළිබඳ අර්‍ථ විපර්‍ය්‍යාස වේ. ඔවුන් අන්තරායකර යයි කී ධර්‍ම අන්තරායකර නොවේ. නෛර්‍ය්‍යානික ය යි කී ධර්‍ම නෛර්‍ය්‍යාණික නො වේ. එයින් ඔවුන්ගේ ධර්‍ම දුරක්ඛාත ය. ස්වාක්ඛාත නො වේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්‍මයාගේ අර්‍ථ එසේ විපර්‍ය්‍යාස නො වේ. අන්තරායකරය යි වදාළ ධර්‍ම අන්තරායකර ම ය. නෛර්‍ය්‍යාණිකය යි වදාළ ධර්‍ම නෛර්‍ය්‍යාණික ම ය. එය කිසි කලෙක වෙනස් නො වන්නේ යි.
මේ දැක්වුණේ පර්‍ය්‍යාප්ති ධර්‍මය ස්වාක්ඛාත පරිදි යි.
ලෝකෝත්තර ධර්‍ම වනාහි නිර්‍වාණයට අනුරූප වූ ප්‍රතිපත්තිය ද, ප්‍රතිපත්තියට අනුරූප වූ නිර්‍වාණය ද වදාළ බැවින් ස්වාක්ඛාත ය කීයේ මැ යි :- සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බාණගාමිනි පටිපදා, සංසන්‍දති නිබ්බාණං ච පටිපදා ච, සෙය්‍යථාපි නාම ගංගොදකං යමුනොදකෙන සංසන්‍දති සමෙති, එවමෙව සුපඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බාණගාමිනී පටිපදා සංසන්‍දති නිබ්බාණංච පටිපදා ච”යි ඒ භගවත්හු විසින් ශ්‍රාවකයන්ට නිර්‍වාණගාමී ප්‍රතිපදාව මනාකොටැ පණවන ලද්දේ ය. නිර්‍වාණය ද ප්‍රතිපදාව ද සංසන්‍දනය වේ. සම වේ කෙසේ ද ගංගාජලය හා යමුනා ජලය හා සංසන්‍දනය වන්නාක් මෙනි. සම වන්නාක් මෙනි, යනු එහි භාව යි. (මෙයින් මාර්‍ග හා නිර්‍වාණ අන්‍යොන්‍ය අනුරූප බැවින් ස්වාක්ඛාත බව හැඟවූහ. ඉක්බිති ත්‍රිවිධ ලෝකෝත්තර ධර්‍මයන්ගේ ස්වාක්ඛාත බව දක්වත්.) ආර්‍ය්‍යමාර්‍ග අනතද්‍වයයට නො පැමිණ මධ්‍යම ප්‍රතිපදා වූයේ ම මධ්‍යම ප්‍රතිපදා ය යි කියන ලද බැවින් ස්වාක්ඛාත ය. ආර්‍ය්‍යඵල සංසුන් කිලෙස් ඇත්තේ ම සංසුන් කෙලෙස් ඇතැයි කියන ලද බැවින් ස්වාක්ඛාත ය. නිර්‍වාණය ශාස්වත-අමෘත-ත්‍රාණ ලෙණාදි ස්වභාව ඇත්තේ ම ශාස්වත-ත්‍රාණ-ලෙණය යි වදාළ බැවින් ස්වාක්ඛාත යි.
මෙයින් ලෝකෝත්තර ධර්‍ම ස්වාක්ඛාත පරිදි දැක්වුණේ යි.
“සන්‍දිට්ඨිකො”
සන්‍දිට්ඨිකො - යන මෙයින් කිසි තැනෙක ආර්‍ය්‍යමාර්‍ග ද කිසි තැනෙක නවලෝකෝත්තර ධර්‍ම ද කියනු ලැබේ. ආර්‍ය්‍යමාර්‍ග සන්‍දිට්ඨික වන්නේ මෙසේ ය. ආර්‍ය්‍ය මාර්‍ග ස්වකීය සන්තානයෙහි රාගාදීන් නැති කරන බැවින් තමා විසින් ම දැක්ක යුතුය. යන අර්‍ථයෙන් සන්‍දිට්ඨික ය.
වදාළේ මැ යි :- “රත්තො ඛො බ්‍රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො අත්තව්‍යාබාධාය පි චෙතෙති. පරව්‍යාබාධාය පි චෙතෙති. උභයව්‍යාබාධාය පි චෙතෙති, චෙතසිකංපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, රාගෙ පහීණෙ නෙව අත්තව්‍යාබාධාය පි චෙතෙති, න පර, උභයව්‍යාබාධාය පි චෙතෙති. න චෙතසිකංපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති එවංපි ඛො බ්‍රාහ්මණ සන්‍දිට්ඨිකො ධම්මො හොති”[2] ‘බ්‍රාහ්මණය! රාගයෙන් රත් වූ රාගයෙන් අභිභූත වූ රාගයෙන් වළඳනා ලද්දා වූ පුද්ගල තමහට වධ පිණිස ද, මෙරමාහට වධ පිණිස ද, තමා මෙරමා යන උභයපක්‍ෂයට වධ පිණිස ද සිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් විඳින්නේ ය. රාගය ප්‍රහීණ වූ කල්හි තමහට හෝ මෙරමාහට හෝ ඒ දෙපක්‍ෂයටම හෝ වධ පිණිස නොසිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් නො විඳින්නේ ය. බ්‍රාහ්මණය! මෙසේ හෙයින් ධර්‍මය සන්‍දිට්ඨික යි යනු එහි අර්‍ථ යි. මෙහි ධර්‍ම නම් මාර්‍ග ධර්‍ම යි දත යුතු ය.
නව විධ වූ ම ලෝකෝත්තර ධර්‍ම සන්‍දිට්ඨික වන්නේ මෙසේ ය.
නව විධ ලෝකෝත්තර ධර්‍ම යම් යම් කෙනෙකුන් විසින් අධිගත නම් ඔවුන් ඔවුන් විසින් පරශ්‍රද්ධායෙන් නො ගොස් ප්‍රත්‍යවෙක්‍ෂාඥානයෙන් තමා විසින් ම දැක්ක යුතු ය. එබැවින් සන්‍දිට්ඨික යි.
තව ද ප්‍රශස්ත වූ දෘෂ්ටිය සන්දෘෂ්ටිය සන්දෘෂ්ටියෙන් දිනන්නේ සංන්දෘෂ්ටික ය.
ඒ එසේ මැ යි :- ආර්‍ය්‍යමාර්‍ග සම්ප්‍රයුක්ත සන්දෘෂ්ටියෙන් ද, ආර්‍ය්‍යඵල කාරණ වූ සන්දෘෂ්ටියෙන් ද, නිර්‍වාණය විෂය වූ සන්දෘෂ්ටියෙන් ද කෙලෙසුන් දිනන්නේ ය. රටින් දිනන්නා රට්ඨි වන්නා සේ නවවිධ ලෝකෝත්තර ධර්‍ම සන්දෘෂ්ටියෙන් දිනන හෙයින් සන්දෘෂ්ටික වේ.
තව ද දෘෂ්ට යනු - දර්‍ශනය දැක් ම ය. දෘෂ්ටය ම සංදෘෂ්ට - සංදර්‍ශනය සංදෘෂ්ටයට හෙවත් සංදර්‍ශනයට සුදුසු සංදෘෂ්ටිකය. ලෝකෝත්තර ධර්‍ම වනාහි භාවනා ප්‍රතිවේධ වශයෙන් ද, ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන් ද දක්නා ලබන්නේ ම සසර භය නවත්වා ලයි. එහෙයින් වස්ත්‍රයට සුදුසු වූයේ වාස්ත්‍රික වන්නා සේ සංදෘෂ්ටයට සුදුසු වූයේ සංදෘෂ්ටික වෙයි.
“අකාලිකො”
කල් නොය වා විපාක දෙන්නේ අකාලික ය. මෙයින් මාර්‍ග ම කියනු ලබන බව දත යුතු.
එහි විස්තරය මෙසේ ය :- තමාගේ ඵල දීමට කාලයක් නැත්තේ අකාල ය. අකාල ම අකාලික ය. ලෞකික කුශල උපපජ්ජ වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ ඵල දෙයි. දිට්ඨධම්ම වශයෙන් ඵල දෙන්නේ ත් පස් දවස්, සත් දවස් ඉක්මැ ම ඵල දෙයි. ලෝකෝත්තර කුශල වනාහි එසේ නො වැ අනතුරුවැ ම ඵල දෙයි. මාර්‍ග චිත්තය ළඟට ම ඵල චිත්තය උපදින්නේ ය.
තව ද ඵල දීමට දුර කාල ඇත්තේ කාලික ය. එනම් ලෞකික කුසලි. කාලික නො වන්නේ හෙවත් ඵල දීමට දුර කාල නැත්තේ අකාලික ය. මාර්‍ගයට අනතුරු වැ ම විපාක යි.
“එහිපස්සිකො”
එවු, බලවු යන මේ විධියට සුදුස්සේ එහිපස්සික ය. එ නම් නවලෝකෝත්තර ධර්‍ම යි. නවලෝකෝත්තර ධර්‍ම වනාහි ඒකාන්තයෙන් විද්‍යාමාන බැවින් ද, පිරිසිදු බැවින් ද එසේ කීමට සුදුසු ය. කිසිවකුදු නැති හිස් මිට රන්රුවන් ඇතැයි දක්වා එවු, බලවු ය යි කීමට නුසුදුසු ය. එසේ ම මළ මූ ඇති මිට කිසිවක් ඇත ද ඇත්තේ අසූචියක් බැවින් එවු, බලවු යි කීමට නුසුදුසු ය, වසාලීමට නම් සුදුසු ය. ලෝකෝත්තර ධර්‍ම වනාහි වලාකුළු රහිත අහස පූර්‍ණචන්‍ද්‍රමණ්ඩලය සේ ඒකාන්තයෙන් විද්‍යාමාන බැවින් ද, පඬුවන් පලසෙක ලූ ජොතිරංගමණිය සේ ඒකාන්තයෙන් පිරිසිදු බැවින් ද එවු බලවු යයි කීමට සුදුසු ය. එබැවින් ම ඒ “එහිපස්සික” යි.
“ඕපනයිකො”
සිත්හි උපනයනය කළ යුත්තේ - එළවිය යුත්තේ - උපදවා ගත යුත්තේ ඕපනයික ය. එනම් මාර්‍ග - ඵල යි.
එහි විනිශ්චය මෙසේ ය:- උපනය නම් එළවීම ය. ගිනිගත් සිය සළුව හෝ හිස හෝ නො තකා භාවනා වශයෙන් ස්වසන්තානයෙහි උපනය කළ යුත්තේ ඔපනයික ය. ඒ කවරේද සෝවාන් ආදි මාර්‍ග-ඵල ධර්‍ම යි. නිර්‍වාණය වනාහි තමාගේ සිතින් උපනයයට-ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ඇලීමට සුදුසු ය යන අර්‍ථයෙන් ඕපනයික වේ. නැතහොත් නිර්‍වාණයට පමුණුවන හෙයින් මාර්‍ග ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු බවට පමුණුවන හෙයින් ඵල හා නිර්‍වාණ ද උපනෙය්‍ය ය. උපනෙය්‍ය ම ඕපනයික ය. (මෙයින් නව ලෝකෝත්තර ම ඕපනයික පරිදි දැක්වූහු.)
“පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි”
උග්ඝටිතඤ්ඤු ඇදි සියලු විඥයන් විසින් තම තමා කෙරෙහි ම දත යුතු. කෙසේ දත යුතු ද මා විසින් මාර්‍ග වඩන ලද්දේ ය. ඵල ලබන ලද්දේ ය. නිර්‍වාණ සාත්ක්‍ෂාත් කරන ලද්දේ ය යි දත යුතු.
ඒ එසේ මැ යි :- උපාධ්‍යායයන් මාර්‍ග වැඩූ කල්හි ශිෂ්‍යයාගේ කෙලෙස් ප්‍රහීණ නො වේ. උපාධ්‍යයයන්ගේ ඵල සමාපත්තියෙන් ශිෂ්‍යයා සුවසේ නො වසයි. උපාධ්‍යායයන් විසින් සාත්ක්‍ෂාත් කළ නිර්‍වාණය ශිෂ්‍යයා සාත්ක්‍ෂාත් කරන්නේ නො වෙයි. නව ලෝකෝත්තර ධර්‍ම වනාහි අන්‍ය්‍යන්ගේ හිස පැළඳි ආභරණ සේ දැක්ක හැකි නො වේ. නුවණ ඇත්තන් විසින් තම තමා සිත්හි ම ලා දක්ක යුතු - වින්දනය කළ යුතු.
මේ ධර්‍මය අඥයන්ට අවිෂය ය. එතකුදු වුව ද ස්වාක්ඛාත ය. කුමක් හෙයින් ස්වාක්ඛාත ද සන්‍දිට්ඨික හෙයින් ස්වාක්ඛාත ය. අකාලික හෙයින් සන්‍දිට්ඨික ය. එහිපස්සික හෙයින් අකාලික ය. යමෙක් එහිපස්සික නම් ඒ ඔපනයික යි. මෙසේ ධර්‍ම ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් අභිභූත නො වේ. ඔහුගේ සිත එකල්හි ධර්‍මය අරමුණු කොටැ ම සෘජුත්‍වයට පැමිණේ. එයින් පෙර කී සේ ම නීවරණ විෂ්කම්භන වේ. ධයානාඞ්ග උපදී. ධර්‍මය පිළිබඳ වූ ගුණග්‍රාමය ගැඹුරු බැවින් ද, නානාවිධ ගුණ සිතෙහි නැගෙන බැවින් ද අර්‍පනාප්‍රාප්ත නො වේ. උපාචාර ප්‍රාප්ත ම වේ. ඒ වූ කලි ධර්‍ම ගුණ සිහි කිරීමෙන් උපන් බැවින් ධර්‍මානුස්මෘතිය යන සංඛ්‍යාවට පැමිණේ.
ධර්‍මානුස්මෘතියෙහි ආනිසංස
මේ ධර්‍මානුස්මෘතියෙහි යෙදුණු යෝගී “මෙ බඳු ඕපනයික ධර්‍මයක් දේශනා කරන්නා වූ ද, මෙ බඳු අඞ්ගයන්ගෙන් යුක්ත වූ ද, ශාස්තෘවරයකු අතීතාංශයෙහි ද නො දකිමි. දැනුදු නො දකිමි. ඔවුන් හා සමයෙක් නැතැ”යි ධර්‍ම ගුණ දර්‍ශනයෙන් ම තත් දෙශක වූ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වේ. යටත් පැවතුම් ඇත්තේ වේ. ධර්‍මය කෙරෙහි ගරු බුහුමන් කරන්නේ ශ්‍රද්ධාදියෙන් විපුලත්‍වයට පැමිණේ. ප්‍රිති ප්‍රමෝද්‍ය බහුල කොටැ ඇත්තේ වේ. භය භෙරව ඉවසා දුක් ඉවසීමෙහි සමර්‍ථ වේ. ධර්‍මය හා එක්වැ වසමි යි යන සිත් පහළ වේ. ධර්‍ම ගුණානුස්මරණයට ස්ථාන වූ ඔහුගේ ශරීරය ද චෛත්‍ය ගෘහයක් මෙන් පූජාර්‍භ වේ. නිරුත්තර වූ ධර්‍මාවබෝධයට සිත් නැමේ. ශික්‍ෂා ව්‍යතික්‍රමයට කාරණයක් පැමිණිය ද ධර්‍ම සුධර්‍මත්‍වය සිහි වීමෙන් වහා හිරි ඔතප් පහළ වේ. ඉදින් ලෝකෝත්තර ගුණ නො ලද ද සුගතිපරායන වේ.
“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො
එවං මහානුභාවය - ධම්මානුස්සතියා සදා”
එ බැවින් නුවණැත්තේ මේ සා මහානුභාව ඇති ධර්‍මානුස්මෘතිය සඳහා ඒකාන්තයෙන් නිතර අප්‍රමාද වඩන්නේ ය.
ධර්‍මානුස්මෘති භාවනා විධිය යි.