‘භගවත්’ යනු ගුණයෙන් විශිෂ්ට වූ සියලු සත්ත්‍වයන්ට උතුම් වූ ගෞරවාර්‍හ වූ ඒ තථාගතයන් වහන්සේට කියයුතු ගෞරව නාමයෙකි.
කීයේ මැ යි:-
“භගවාති වචනං සෙට්ඨං - භගවාති වචනමුත්තමං
ගරුගාරවයුත්තො සො - භගවා තෙන වුච්චති” යි.
“භගවත්” යන මේ නාමය ශ්‍රෙෂ්ඨ නාමයෙකි. “භගවත්” යන මේ නාමය උතුම් නාමයෙකි. ඒ තථාගතයන් වහන්සේ ගුරු ය. ගෞරවයෙන් යුක්ත ය. එ බැවින් උන්වහන්සේ “භගවත්” යි කියනු ලැබේ. යනු එහි අර්‍ථ යි. “භගවත්” යන මෙයින් කියනු ලබන්නේ ශ්‍රෙෂ්ඨයෙකි. “භගවත්” යන මෙයින් කියනු ලබන්නේ උත්තමයෙකි. ඒ තථාගතයන් වහන්සේ ශ්‍රෙෂ්ඨය, උත්තම ය. ගෞරවයෙන් යුක්ත ය. එ බැවින් උන්වහන්සේ භගවත් යි කියනු ලැබේ. යන වශයෙන් ද මෙහි අර්‍ථ දිය හැකිය. එවිට වචන ශබ්දයෙන් අර්‍ථය කියනු ලබන බව දත යුතු යි.
නාම වනාහි 1. ආවත්‍ථික නාම, 2. ලිඞ්ගික නාම, 3. නෙමිත්තක නාම 4. අදිච්ච සමුප්පන්න නාම ය යි සිව් වැදෑරුම් වේ. අධිච්ච සමුප්පන්න නාමයට යදිච්ඡකය යි ද ලෝකයෙහි ව්‍යවහාර කරත්.
1. ගවයාගේ කුඩා අවස්ථාව ගෙනැ “වස්සා” ය යි ද, තරුණ අවස්ථාව ගෙනැ “දම්මයා” යි ද, මහලු අවස්ථාව ගෙනැ ‘බලීවර්‍දයා’යි ද කියනු ලැබේ. මෙසේ ඒ ඒ අවස්ථා වශයෙන් ගෙනැ තබනු ලබන නාම ආවත්‍ථික නාම යි.
2. දඩු ඇත්තේ “දණ්ඩි” ය යි ද, ඡත්‍ර ඇත්තේ “ඡත්තී” ය යි ද, සිඛා ඇත්තේ “සිඛී” ය යි ද, කර ඇත්තේ “කරී” ය යි ද කියනු ලැබේ. මෙසේ ඒ ලිඞ්ග - ද්‍රව්‍ය ගෙන ඒ වශයෙන් තබනු ලබන නාම ලිඞ්ගික නාම යි.
3. ත්‍රිවිද්‍යා ඇත්තේ “තෙවිජ්ජ” යි ද ෂට් අභිඥා ඇත්තේ “ෂඩභිඥ” යි ද කියනු ලැබේ. මෙසේ ඒ ඒ නිමිත්ත වශයෙන් ගෙනැ තබනු ලබන නාම නෙමිත්තක නාම යි.
4. වචනාර්‍ථ නො සලකා ශ්‍රීවර්‍ධන, ධනවර්‍ධන ආදි වශයෙන් තබනු ලබන නාම අධිච්චසමුප්පන්න යි.
මේ සිව් වැදෑරුම් නාම අතුරෙන් “භගවත්” යනු නෙමිත්තක නාම යි. ඒ වනාහි උන්වහන්සේට මහාමායා දෙවී විසින් හෝ සුදොවුන් මහ රජතුමන් විසින් හෝ අසූ දහසක් නෑ කුලයන් විසින් හෝ ශ්‍රක්‍ර-සන්තුසිතාදි දෙවි කෙනෙකුන් විසින් හෝ තබන ලද්දේ නො වේ. හුදෙක් නෙමිත්තක වශයෙන් ලැබුණේ ය. කීයේ මැ යි : ධර්‍මසෙනාපතීන් විසින් :
“භගවාති නෙතං නාමං මාතරා කතං -පෙ-විමොක්ඛන්ති-කමෙතං බුද්ධානං භගවන්තානං බොධියාමූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවා”[1] යි අර්‍ථ පෙර කී සේ යි.
නෙමිත්තක නාම අතුරෙනුදු මේ ගුණ නෙමිත්ත ය. ඒ ගුණ මේ ගාථායෙන් දැක්වේ.
“භගී භජී භාගි විභත්තවා ඉති
අකාසි භග්ගං’ති ගරූති භාග්‍යවා,
බහූහි ඤායෙහි සුභාවිතත්තතො
භවන්තගො සො ගවා ති වුච්චති.”
සො ගරු භගී ඉති, භජී ඉති, භාගී ඉති, විභත්තවා ඉති, භග්ගං අකාසි ඉති, භාග්‍යවා ඉති, බහූහි ඤායෙහි සුභාවිතතේතා ඉති, භවන්තගො ඉති “භගවා” ති වුච්චති යි සම්බන්‍ධ කරනු.
‘ඒ තුන්ලො ගුරු වූ ශාස්තෘන් වහන්සේ ඓශ්වර්‍ය්‍යාදි භේද ඇති භග ධර්‍ම ඇත්තේ ය. යන අර්‍ථයෙන් ද, පන්ත සේනාසනාදිය භජනය කෙළේ ය යන අර්‍ථයෙන් ද, අර්‍ථ-ධර්‍ම-විමුක්ති-රස භාග ඇත්තේ යන අර්‍ථයෙන් ද, ලෞකික ලෝකෝත්තර ධර්‍ම විභාග කෙළේ ය යන අර්‍ථයෙන් ද, කාය භාවනාදි අනේක භාවනා ක්‍රමයෙන් වඩන ලද සිත් ඇත්තේ ය යන අර්‍ථයෙන් ද, භවයෙහි අන්තයට ගියේ ය යන අර්‍ථයෙන් ද භගවත් යි කියනු ලැබේ යනු එහි අර්‍ථ යි. මේ එක් එක් පාදයාගේ අර්‍ථ නිර්‍දෙශයෙහි කී පරිදි දත යුතු.
තව ද භගවා (භගවත්) යනු මෙසේ ද වර්‍ණනා කරනු ලැබේ.
“භාග්‍යවා භග්ගවා යුත්තො - භගෙගි ච විහත්තවා,
භත්තවා වත්තගමනො - භවෙසු භගවා තතො.”
1. භාග්‍යවා 2. භග්ගවා 3. භගෙහි යුතේතා, 4. විභත්තවා 5. භූත්තවා 6. භවෙසු වන්ත ගමනො. තතො සො භගවා යනු සම්බන්‍ධ යි.
1. භාග්‍යවා ඉති භගවා - භාග්‍ය ඇත්තේ නු යි භගවා (භගවත්) නම් වේ. මෙහි භාග්‍ය නම් ලෞකික ලෝකෝත්තර සැප නිපදවන දාන ශීලාදි පාරමී භාවයට පැමිණි කුසල් ය. (මෙහි භාග්‍ය නම් කුශල ය. එහි මාර්‍ග කුශලය ලොකොත්තර සුඛ නිර්‍වර්‍තක ය. සෙසු කුශලය ලෞකික සුඛ නිර්‍වර්‍තක යි. නොහොත් සෙසු කුශලය ද විවර්‍තොපනිශ්‍රය වූයේ පර්‍ය්‍යායයෙන් ලෝකෝත්තර සුඛ නිවර්‍තක ද වේ” යනු සන්නයි) ‘භාග්‍යං අස්ස අත්‍ථි’ යන වාක්‍යයෙහි “භාග්‍යවා” යි විය යුතු තන්හි නිරුක්ත නයයෙන් හෝ ශබ්ද ශාස්ත්‍ර නයයෙන් “භගවා” යි විය.
නිරුක්ත නය නම් :-
“වර්‍ණගමො වර්‍ණ විපර්‍ය්‍යයශ්ච
ද්වෞ චාපරෞ වර්‍ණ විකාර නාශෞ,
ධාතොස්තදර්‍ථාශයෙන යොග-
ස්තදුච්‍යතෙ පඤ්චවිධං නිරුක්තම්” යි
දැක්වුණු පඤ්චවිධ නිරුක්ත ක්‍රමය යි.
ශබ්ද ශාස්ත්‍ර නය නම් “පෘෂොදරාදීනි යථොපදිෂ්ටම්” යන පාණිනීය සූත්‍රයෙන් කියන ලද පරිදි වන ව්‍යාකරණ නිපාතන ක්‍රමය යි. (පෘෂත් + උදර යනු යම් සේ නිරුක්ත නයයෙන් හෝ ව්‍යාකරණ නයයෙන් හෝ “පෘෂොදර”යි සිද්ධ ද එසේ ම “භාග්‍යවා” යනු “භගවා” යි සිද්ධය යි සේ යි.)
(2) භග්ගවා ඉති භගවා - බින්දේ නු යි භගවා නම් වේ. කුමක් බින්දේ නු යි ද ක්ලේශ ශතසහස්‍රයන් බින්දේ නු යි. ක්ලේශ වනාහි එකක - ද්විකාදි වශයෙන් නානාවිධ ය.
ඒකක වශයෙන් - රාග, දෝස, මෝහ, නිත්‍ය මනස්කාර, සුඛ මනස්කාර, ආත්ම මනස්කාර.
ද්වික වශයෙන් :- අහිරික - අනොත්තප්ප, ක්‍රෝධ-උපනාහ, මක්ඛ-පලාස, ඉස්සා, මච්ඡරිය, මායා-සාඨෙය්‍ය, ථම්භ-සාරම්භ මාන-අතිමාන, මද-පමාද, තණහා-අවිජ්ජා.
ත්‍රික වශයෙන් :- ලෝභකුශල මූල - දේවෂාකුශල මූල - මෝහා කුශලමූල; කාය දුශ්චරිත-වාග් දුශ්චරිත - මනො දුශ්චරිත; තෘෂ්ණා සංක්ලේශ - දෘෂ්ටි සංක්ලේශ - මානසංක්ලේශ; රාගමල-ද්වේෂමල - මෝහමල; රාග විෂම - ද්‍වෙෂවිෂම - මෝහවිෂම; කාම සංඥා - භව සංඥා - විභව සංඥා; කාම විතර්‍ක - ව්‍යාපාදවිතර්‍ක - විහිංසාවිතර්‍ක; තෘෂ්ණාප්‍රපඤ්ච - දෘෂ්ටිප්‍රපඤ්ච - මානප්‍රපඤ්ච.
චතුෂ්ක වශයෙන් :- නිත්‍ය සංඥා - සුඛ සංඥා - ආත්මසංඥා - ශුභ සංඥා යන චතුර්විධ විපරීත; කාම-භව-දිට්ඨි-අවිජ්ජා යන චතුරාශ්‍රව; අභිජ්ඣා-ව්‍යාපාද-සීලබ්බතපරාමාස-ඉදසච්චාභිනිවෙස යන චතුර් ග්‍රන්‍ථ; කාමාදි චතුරොඝ; කාමාදි චතුර්‍යොද; ඡන්‍දාදි සතර අගති; චීවරාදි සිව්පස පිළිබඳ වූ සතර තෘෂේණාත්පාද; කාම - දිට්ඨි-සීලබ්බත-අන්තවාද යන සතර උපාදාන.
පඤ්චක වශයෙන් :- බුද්ධ, ධර්‍ම, සංඝ ශික්‍ෂා පිළිබඳ සැක හා සබ්රම්සරුන් කෙරෙහි කිපීම් සංඛ්‍යාත පංච චෙතෝඛිල; කාමයෙහි අවීතරාග-කායයෙහි අවීතරාග-රූපයෙහි අවීතරාග - බඩපුරා කා නිදිසුව විඳීම්-දෙවි සිරි පතා බඹසර විසීම් සංඛ්‍යාත පංච විනිබන්‍ධ; කාමච්ඡන්‍දාදි පංච නීවරණ; රූපාභිනන්‍දනාදි පංච අබිනන්‍දන.
ෂට්ක වශයෙන් :- ක්‍රෝධ, මක්ඛ-ඉස්සා-සාඨෙය්‍ය පාපිච්ඡතා සන්‍දිට්ඨිපරාමාස යන ෂට් විවාද මූල; රූප තෘෂ්ණාදි ෂට් තෘෂ්ණා කාය.
සප්තක වශයෙන් :- කාමරාග - භවරාග - පටිඝ - මාන - දිට්ඨි-විචිකිච්ඡා - අවිජ්ජා යන සප්ත අනුසය
අෂ්ටක වශයෙන් මිත්‍ථාදෘෂ්ටි ආදි අට්ඨ මිච්ඡත්ත
නවක වශයෙන් :- තණ්හා - පරියේසන - ලාභ විනිච්ඡය - ඡන්‍දරාග - අජ්ඣොසාන - පරිග්ගහ - මච්ඡරිය - ආරක්ඛාධිකරණ යන නව තෘෂ්ණා මූලක
දශක වශයෙන් :- දශ අකුශල ; දශ කර්‍මපථ.
ද්වාෂෂ්ටික වශයෙන් - ද්වාෂ්ටි දෘෂ්ටි
අෂ්ට ශත වශයෙන් - අෂ්ට ශත තෘෂ්ණා විචරිත
මේ ආදි දරථ පිරිඩාහ, ක්ලේශ ශත සහස්‍රයන් බින්දේ නු යි භගවා නම් වේ (“ඉතා බලවත් නු වූ හුණු බව දරථ නම. ඉතා බලවත් වූයේ පරිදාහ නමි” යනු සන්න යි.)
තවද සැකෙවින් කියත් හොත් ක්ලේශ මාර, ස්කන්‍ධමාර අභිසස්කාර මාර, දේවපුත්‍ර මාර, මෘත්‍යු මාර යන පස් මරුන් බින්දේ නු යි භගවා නම් වේ. භග්ගවා යි කිය යුතු තන්හි පෙර කී සේ ම භගවා යිවිය. (“සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් සර්‍වාකාරයෙන් අප්‍රවෘත්ත කරණයෙන් ක්ලේශ මාරයා ද, සමුදය ප්‍රහාණ පරිඥා වශයෙන් ස්කන්‍ධ මාරයා ද, සහාය වෛකල්‍ය කරණ වශයෙන් - සර්‍වථා අප්‍රවෘත්ත කරණ වශයෙන් අභිසස්කරණ මාරයා ද බල විධමන විෂයාතික්‍රමණ වශයෙන් දේවපුත්‍ර මෘත්‍යු මාරයන් ද භග්න කෙළේ ය යනු අර්‍ථ යි” යන්න සන්න යි.)
කීයේ මැ යි :-
“භග්ගරාගො භග්ගදොසො - භග්ගමොහො අනාසවො
භග්ගාස්ස පාපකා ධම්මා - භගවා තෙන, පවුච්චති”යි
‘යම් හෙයකින් ඒ ශාස්තෘන් වහන්සේ බුන් රාග-දෝස-මෝහ ඇති සේක් ද, ආශ්‍රව නැති සේක් ද, සියලු පව් බිඳැ පී සේක් ද එහෙයින් භගවා යි කියනු ලැබේ’ යනු අර්‍ථ යි.
මෙසේ භාග්‍ය ඇත්තේ භගවා භග්න ක්ලේශ ඇත්තේ භගවා යි අර්‍ථ දෙකෙන් දක්වන ලදි. එයින් “භාග්‍ය ඇත්තේ” භගවා යන්නෙන් ශතපුණ්‍යශ්‍රී ලක්‍ෂණ ධර වූ උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය ද, “භග්න ක්ලේශ ඇත්තේ” භගවා යන්නෙන් ධර්‍මකාය සම්පත්තිය ද දක්වන ලදැ යි දත යුතු. එසේම “භාග්‍ය ඇත්තේ භගවා”යි කීමෙන් සාමාන්‍ය ලෞකික මහජනයා විසින් බුහුමන් කරනු ලබන බව ද, “භග්න ක්ලේශ ඇත්තේ භගවා” යි කීමෙන් පරීක්‍ෂක ලෝකයා විසින් බුහුමන් කරනු ලබන බව ද දැක්වුණේ ය. තවද මුල පෙදෙන් ක්‍ෂත්‍රියාදි ගෘහස්ථයන් විසින් එළඹිය යුතු බව ද, දෙවෙනි පෙදෙන් තාපසාදි ප්‍රව්‍රජිතයන් විසින් එළඹිය යුතු බව ද, මුල පෙදෙන් එළඹි ගෘහස්ථයන්ගේ කාය පීඩා දුරු කිරීමෙහි පොහොසත් බව ද, දෙවෙනි පෙදෙන් එළඹි පැවිද්දන්ගේ චිත්තපීඩා දුරු කිරීමෙහි පොහොසත් බව ද, මුල පෙදෙන් තමන් කරා එළඹියනට ලෞකික සැප දීමෙහි සමර්‍ථ බව ද, දෙවෙනි පෙදෙන් තමන් කරා එළඹියනට ලෝකෝත්තර සැප දීමෙහි සමර්‍ථ බව ද දැක්වුණේ ය.
භගෙහි යුත්තො ඉති භගවා - භග ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ භගවා (භගවත්) නම් වන්නේ ය. භග ධර්‍ම නම් භග ශබ්දයෙන් වාච්‍ය වන (අ) ඓශ්චර්‍ය්‍ය, (ආ) ධර්‍ම, (ඉ) යශස්, (ඊ) ශ්‍රී, (උ) කාම, (ඌ) ප්‍රයත්න යන ෂට් අර්‍ථ යි. එහෙයින් කීහ.
“ඓශ්චර්‍ය්‍යස්‍ය සමග්‍රස්‍ය - ධර්‍මස්‍ය යශස: ශ්‍රිය:
කාමස්‍යාථ ප්‍රයත්නස්‍ය - ෂණ්ණාං භග ඉති ස්මෘතා”යි
(අ) උන්වහන්සේට ස්වකීය චිත්තයෙහි පරම ඊශ්වරත්‍වය ඇත්තේ ය; (“තමා සිත්හු වශීභාවයට පැමිණවීමෙන් ප්‍රතිකූල අරමුණෙහි අප්‍රතිකුල සංඥි වැ විහරණ සිද්ධිය ද අධිෂ්ඨානාදි සෘද්ධි විධිය ද චිත්ත භාවනාව ගේ වශීභාව ප්‍රාප්තීන් සිද්‍ධ වන බැවින් චිතෛතශ්වර්‍ය්‍ය නම් හඟනේ” යනු සන්නයි) ලෞකික සම්මත අණිම - ලඝිම ආදි ඓශ්චර්‍ය්‍ය හෝ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වැ ඇත්තේ ය. (“ආදි ශබ්දයෙන් මහිම, පත්ති, පාකම්ම, ඊසතා, වසිතා, යත්‍ථකාමාවසාසිතා යන මේ සදෙන සංගෘහීතයෝ යි. (ඉහි කායයාගේ ආනුභාව කිරීම අණිම නම් වේ. (අණු නම් කුඩා) ලඝු බව - සැහැල්ලු බව ලඝිම නම් වේ. ආකාශයෙහි පදසාගමනාදීන් මහත්ත්‍වය මහිම නම් වේ. ඒ මහිමයෙන් ඉෂ්ට දේශයට ප්‍රාප්තිය පත්ති නමි. අධිෂ්ඨානාදි වශයෙන් ඊප්සිත නිෂ්පාදනය පාකම්ම නමි. වසඟ බව - ඊශ්වරභාවය ඊප්සිත නමි. සෘද්ධිභාවය වශීභාවය වසිතා නමි. අහසින් යන්නහුගේ හෝ අනෙක් කිසිවක් කරන්නහුගේ හෝ යම්කිසි තැනෙක නිමාවට පැමිණීම යථාකාමාවසාසිත නමි. කුමාර රූපාදි දර්‍ශනයයිදු කියත්. මේ අෂ්ටවිධ වූ ලෞකික සම්මත ඓශ්චර්‍ය්‍ය භගවත්හු සෘද්‍ධිවිධ ඥානයෙහි ඇතුළත් වූයේ අනන්‍ය සාධාරණ නු යි. සබ්බ කාරපරිපූරං’ අර්‍ථ කීහු” යනු සන්නයි.) ශාසනික වූ හෝ බාහිරක වූ හෝ භග සංඛ්‍යාත ඓශ්චර්‍ය්‍ය ඇත්තේ භගවා යි කී නියා යි.
(ආ) ධර්‍ම නම් ලෝකෝත්තර ධර්‍ම ය.
(ඉ) යශස් නම් විද්‍යාමාන වූ ම ගුණය කරණ කොටැ ලැබුණු තුන් ලෝ පතළ - ඉතා පිරිසිදු කීර්‍තති ය.
(ඊ) ශ්‍රී නම් රූපකාය දර්‍ශනයෙහි ව්‍යාපෘත වූවන්ගේ මනනුවන් පිණවීමෙහි සමර්‍ථ වූ සර්‍වාකාර පරිපූර්‍ණ සියලු අඞ්ග ප්‍රත්‍යඞ්ග ගත ශොභා ය.
(උ) කාම නම් සිතු පැතු ආත්ම හිත හෝ පරහිත හෝ සියල්ල සිදුවන බැවින් එසේ අභීෂ්ට සිඩි සංඛ්‍යාත කාම ය.
(ඌ) ප්‍රයත්න නම් සියලු ලෝකයාගේ ගෞරව ලැබීමට හේතු වූ සම්‍යක් ව්‍යායාම සංඛ්‍යාත උත්සාහය.
මෙ කී භග ධර්‍ම ඇත්තේ හෝ භගවා යි.
විහත්තවා ඉති භගවා - බෙදූ සේක් නුයි භගවා නම් වේ. කුමක් කෙසේ බෙදූසේක් නු යි ද සියලු ධර්‍මයන් කුශල ත්‍රිකාදි - දුකාදි භේදයෙන් බෙදූසේක් නු යි, කුශලාදි ධර්‍මයන් ස්කන්‍ධ-ආයතන-ධාතු-සත්‍ය-ඉන්‍ද්‍රිය-පටිච්චසමුප්පාදාදි භේදයෙන් බෙදූ සේක් නු යි; දුඃඛාර්‍ය්‍ය සත්‍යය පීඩන-සංඛත-සන්තාප-විපරිනාම යන අර්‍ථ වශයෙන්; සමුදයාර්‍ය්‍ය සත්‍යය ආයුහන-නිදාන-සංයෝග පළිබෝධ යන අර්‍ථ වශයෙන් ද, නිරොධාර්‍ය්‍ය සත්‍යය නිස්සරණ-විවේක-අසංඛත-අමත යන අර්‍ථ වශයෙන් ද; මාර්‍ගාර්‍ය්‍යසත්‍යය නීය්‍යාණික-හේතු-දස්සන-ආධිපතෙය්‍ය යන අර්‍ථ වශයෙන් ද බෙදූසේක් නුයි - බෙදා විවෘත කොට වදාළසේක් නු යි භගවා නම් වේ. විභත්තවා යි කිය යුතු තන්හි පෙර සේ භගවා යි විය. (පීඩනාදි අර්‍ථයන්ගේ විස්තර මතු ඉන්‍ද්‍රිය සත්‍ය නිර්‍දෙශයෙහි ප්‍රකාශ වේ.)
5. භත්තවා ඉති භගවා - භජනය කළ සේක් නු යි භගවා නම් වේ. කුමක් භජනය කළ සේක් නු යි දිව්‍ය විහරණ-බ්‍රහ්මවිහරණ ආර්‍ය්‍යවිහරණ යන ත්‍රිවිධ විහරණයන් භජනය කළ සේක් නු යි; (දිව්‍ය විහරණ නම් ධ්‍යාන; බ්‍රහ්මවිහරණ නම් මෛත්‍රී-කරුණා-මුදිතා-උපේක්‍ෂා; ආර්‍ය්‍ය විහරණ නම් ඵල-සමාපත්ති) කාය විවේක-චිත්තවිවේක-උපධිවිවේක යන ත්‍රිවිධ විවේකයෙන් භජනය කළ සේක් නු යි; (කාමයන් කෙරෙන් වෙන් වූ කාය ඇති බව විසින් ඒකී භාවය කාය විවේක නමි; ප්‍රථම ධ්‍යානාදි වශයෙන් නීවරණාදීන් කෙරෙන් විවික්තචිත්ත ඇති බව චිත්ත විවේක නමි; ස්කන්‍ධොපධි ආදි උපධින් කෙරෙන් වෙන් වූ හෙයින් උපධි විවේක නම් නිවන සුඤ්ඤත - අප්පණිහිත-අනිමිත්ත යන ත්‍රිවිධ විමොක්‍ෂයන් භජනය කළසේක් නු යි අන්‍ය වූ ද ලෞකික - ලෝකෝත්තර උත්තරි මනුෂ්‍ය ධර්‍ම හෝ භජනය කළ සේක් නු යි. බහුල කළ සේක් නු යි භගවා නම් වේ. “හත්තවා”යි වියයුතු තන්හි පෙරප සේ භගවා යි විය.
6. භවෙසු වන්තගමනො ති භගවා - භවත්‍රයෙහි වමාළ තෘෂ්ණා මෙන් ඇත්තේ නු යි භගවා නම් වේ. “මෙහනස්ස ඛස්ස මාලා” යනු “මෙඛලා” වූ සේ මෙ ද භගවා යි වූයේ ය.
අරහං යනාදි පදයන්ගේ අර්‍ථ විභාගය යි.
මෙසේ මේ මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ද අර්‍හත් ය. සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තරපුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි බුද්ධ ගුණ සිහිකරත් ම ඒ යෝගීහුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නො පෙළෙන්නේ ය. බුදුගුණ අරමුණු කොටැ ගත් ඔහුගේ සිත එ කල්හි සෘජු වැ ම පවත්නේ ය. රාගාදීන් පෙළුමක් නැති බැවින් ඔහුගේ සිතෙහි කාමච්ඡන්‍දාදි නීවරණයෝ විෂ්කම්භිත වෙති. කර්‍මස්ථානය අභිමුඛ වීමෙන් සිත සෘජු වූ බැවින් විතර්‍ක-විචාරයෝ බුදු ගුණයට ම නැඹුරු වැ සිටිති. එසේ බුදු ගුණ විතර්‍කනය කරත් ම විචාරණය කරත් ම උපචාර ධ්‍යානය ගෙනැ දෙනැ බලවත් ප්‍රීතිය උපදනේ ය. සිත ප්‍රීතිමත් බැවින් ප්‍රීතිය ආසන්න කොටැ ඇති පස්සද්ධියෙන් කාය චිත්ත දරථ සන්සිඳෙන්නේ ය. දරථ සන්සිඳීමෙන් කායික වූ ද, චෛතසික වූ ද සුවය උපදනේ ය. සුඛිත වීමෙන් සිත බුද්ධ ගුණ අරමුණු කොටැ මැ සමාධිමත් වන්නේ ය. මෙසේ පිළිවෙළින් පැවැතැ එක් ඇසිල්ලෙහි ධ්‍යානාඞ්ග පහළ වන්නේ ය. (මේ අර්‍ථය සන්නයෙහි මෙසේ දැක්වේ) “යම් සමයෙක බුදු ගුණ අරමුණු කොට ඇති භාවනා තොමෝ මතු මතුයෙහි වෙසෙස් එළවමින් පවතී ද එසමයෙහි නීවරණයෝ වික්ඛම්භිත වෙති. කිලෙස්හු සන්සිඳෙත්. සද්ධාදි ඉඳුරෝ සුවිසද වෙති. භාවනා ප්‍රගුණ වීමෙන් විතක්කවිචාරයෝ සාතිසය වැ පටු වූ කෘත්‍ය ඇතිවැ පවත්නාහු බලවත් ප්‍රීති උපද්දි. ප්‍රීති ආසන්න කාරණ කොට ඇති පස්සද්ධි තොමෝ සවිශේෂ වැ පවත්ති. පස්සද්ධකාය ඇත්තාහට සමාධිය ආසන්න කාරණකොට ඇති සුඛය තර වැ පවත්ති. සුඛයෙන් අනුබ්‍රෑහිත චිත්ත්‍ය කමටහන පිහිටව යි. (මෙසේ අනුක්‍රමයෙන් සුඛභාගයෙහි විතර්‍කාදීහු මතුයෙහි පටු - පටුතර භාවයෙන් පැවැත භාවනාවගේ මධ්‍යම ශමථ ප්‍රතිපත්තීන් ඉඳුරන්ගේ රකරස භාවයෙන් ද පටුතම වැ එක කෙණෙහි ධ්‍යානාඞ්ගයෝ උපදිති දත යුතුයි.)
බුද්ධ ගුණ අරමුණු කොටැ ගත් මේ ධ්‍යානය උපචාර ප්‍රාප්ත ම වේ. අර්‍පනාප්‍රාප්ත නො වේ. බුද්ධ ගුණයන්ගේ ගැඹුරු බව ද, නානාවිධ වූ බුද්ධගුණ සිහි කිරීමේ අදහස් පහළ වන බව ද එයට හේතු වශයෙන් සැලකිය යුතු.
(“ගැඹුරු දියෙහි හුණු නැවක් මෙන් ගැඹුරු බුදු ගුණෙහි අර්පණා විසින් පිහිට නො ලැබෙන බැවිනුදු නොයෙක් බුදුගුණ සිහිකරනුවහු එක් ගුණයක් සිහි කොටැ අනෙක් ගුණයක් සිහි කිරීමෙහි අභිලාෂ ඇති වැ සිටි හෙයිනුදු අර්පණාවට නො පැමිණැ උපචාර ප්‍රාප්ත ධ්‍යාන වේ” යනු සන්න යි.)
බුදු ගුණ සිහි කිරීම නිසා උපදනා බැවින් මේ ධ්‍යානය බුද්ධානුස්මෘතිය යි ව්‍යවහාර කරනු ලැබේ.
බුද්ධානුස්මෘතියෙහි ආනිසංස
මේ බුද්ධානුස්මෘතියෙහි යෙදුණු යෝගාවචර යා බුදුන්වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේ. යටත් පැවතුම් ඇත්තේ වේ. ශ්‍රද්ධායෙන් ද, ස්මෘතියෙන් ද, ප්‍රඥායෙන් ද, පුණ්‍යයෙන් ද මහත් බවට පැමිණියේ වේ. නිතර ප්‍රමොද්‍යයෙන් ද, පුණ්‍යයෙන් ද මහත් බවට පැමිණියේ වේ. නිතර - ප්‍රමෝද්‍යයෙන් වසන්නේ වේ. කුඩා-මහත් බිය ඉවසන්නේ වේ. දුක් ඉවසීමට සමර්‍ථ වේ. “බුදුන් හා එක් වැ වසමි” යන අදහස් ඇතියේ වේ. බුද්ධානුස්මෘතිය රඳා සිටින ඔහුගේ ශරීරය පවා චෛත්‍යයක් මෙන් පිදිය යුතු වේ. ඔහුගේ සිත භූමියට නැමුණේ වේ. පාපයක් කරමි යි සිතෙන්නා හා ම බුදුන් අභිමුඛයෙහි සිටිනා සේ පෙනී යන බැවින් පව් කිරීමෙහි ලජ්ජා-භය ඇත්තේ වේ. ඉදින් මාර්‍ග-ඵල නො ලද්දේ නම් එකාන්තයෙන් මරණින් මතු සුගතිගාමී වේ.
“තස්මා භවෙ අප්පමාදං - කයිරාථ සුමෙධසො
එවං මහානුභාවාය - බුද්ධානුස්සතියා සදා.”
‘එසේ හෙයින් මෙසේ මහානුභාව ඇති බුද්ධානුස්මෘතිය සඳහා නුවණැත්තේ නිතර අප්‍රමාදය වඩන්නේ ය.’
බුද්ධානුස්මෘති භාවනා විධිය යි.
-
මහා: නි: තිස්සමෙත්තෙය්‍ය සුත්ත 108 ↑