සත්‍ථා දෙවමනුස්සාන

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්ට ශාස්තෘ වන සේක. කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන සේක් ද දිට්ඨධම්මික, සම්පරායික පරමත්‍ථ යන මේ ත්‍රිවිධ අර්‍ථයෙන් සුදුසු පරිදි අනුශාසනා කරන්නාහ යන අර්‍ථයෙන් දිට්ඨධම්මික නම් මෙ ලොවින් වන අර්‍ථ ය. සම්පරායික නම් පරලොවින් වන අර්‍ථ ය. පරමත්‍ථ නම් නිර්‍වාණය. උන්වහන්සේ මේ ත්‍රිවිධ අර්‍ථයෙන් යෝග්‍ය පරිදි දෙවිමිනිසුන්ට අනුශාසනා කරන සේක. එහෙයිනි උන්වහන්සේ (සත්‍ථා ය) ශාස්තෘය.

තවද සත්‍ථා යන මේ පදයෙන් සාර්‍ථවාහ කියනු ලැබේ. (“සත්‍ථාවාහො යනු සත්‍ථා යනුයෙහි ම අර්‍ථ පහළ කරනු පිණිස කීහ ‘අත්‍ථෙන සහවත්තතී ති සත්‍ථො’ අර්‍ථය හා සමග පවත්නේ සත්‍ථ නමි. හේ කවරයත්? බඩු මිළ ගෙනැ වෙණ දහම් පිණිස දෙශාන්තරයට යන ජනසමූහ යි. ‘හිතූපදෙසාදි වසෙන පරිපාලෙතබ්බො සාසිත බ්බා එතස්ස අත්‍ථි ති සත්‍ථා සත්‍ථවාහො’ ති හිතොපදේශ වශයෙන් රක්‍ෂා කටයුතු අනුශාසනා කටයුතු වෙළඳ මිල මෝහට ඇත්නු යි සත්‍ථා නම් වේ. හේ කවර යත්? සාර්‍ථවාහය යන අර්‍ථ යි. භගවතුදු එබඳු ය යි දක්වනු පිණිස “සත්‍ථා භගවා සත්‍ථවාහො” යි කීහු යනු සන්න යි.)

‘යම් සේ සාර්‍ථවාහ සාර්ථයන් චෞරකාන්තාරයෙන්, ව්‍යාල කාන්තාරයෙන්, දුර්භික්‍ෂකාන්තාරයෙන්, නිරුදක කාන්තාරයෙන් එතෙර කරන්නේ ද, එමෙන් භාග්‍යවතුන් වහන්සේ සත්ත්‍වයන් ජාතිකාන්තාරාදියෙන් එතෙර කරන සේක. ක්‍ෂේම භූමි සංඛ්‍යාත නිර්‍වාණයට පමුණුවන සේක. එහෙයින් උන්වහන්සේ සත්‍ථා ය, මෙය නිර්‍දෙශයෙහි[1] ආ පරිදි දක්වන ලදැයි දත යුතු.

දෙවිමිනිසුන්ට යයි කීයේ උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙනි. භව්‍ය පුද්ගල වශයෙනි. උන්වහන්සේ තිරිසන් ගිය සත්ත්‍වයන්ට ද අනුශාසනා කරනසේක් ම ය. තිරිසන් ගිය සත්ත්‍වයෝ ද උන්වහන්සේගේ ධර්‍මය අසා උපනිස්සය සමපත් ලැබැ එයින් දෙවන තෙවන අත්බැව්හි මාර්‍ගඵල ප්‍ර‍තිලාභය කරති. මණ්ඩුක දෙවපුත්‍රාදීහු එයට නිදර්‍ශන යි.

භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර චම්පා නගරවාසීන්ට ධර්‍ම දේශනා කරන කල්හි එක් මැඩියෙක් උන්වහන්සේගේ ස්වරයෙහි නිමිත්ත ග්‍ර‍හණය කැරැ සිටියේය. එක් වසුපල්ලෙක් නො දැනැ දඬු කෙළවර උගේ හිස මත තබා එහි එල්බැ සිටියේ ය. එයින් මැඩියා කලුරිය කෙළේ ධර්‍ම ස්වරයෙහි ගත් ප්‍ර‍සාදයෙන් තව්තිසා දෙව්ලොව දොලොස් යොදුන් රන් විමනෙක උපන්නේ ය. දෙවඟනන් දහසෙක් පිරිවර විය. හේ තමා සිරි සම්පත් දැකැ “කොල, මමත් මෙහි උපන්මි. කවර කර්‍මයක් කෙළෙම් දැ”යි බලන්නේ ඒ කාරණය දැනැ සතුටු වැ එකෙණෙහි ම විමානය හා සමඟ එහි අවුත් බුදුන් පා වැන්දේ ය. බුදුහු මෙසේ විචාළෝ ය.

“කො මෙ වන්‍දති පාදානි - ඉද්‍ධියා යසසයා ජලං

අභික්කන්තෙන වණ්ණෙන - සබ්බා ඔහාසයං දිසා”[2]

‘සෘද්ධියෙන් යසසින් සියලු දිගුන් බබුළුවමින් විශිෂ්ට වර්‍ණයෙන් යුක්තවැ කවරෙක් මේ මාගේ පා වඳින්නේ ද’

එවිට මණ්ඩුක දේවපුත්‍ර‍ මෙසේ කිය යි.

“මණ්ඩුකොහං පුරෙ ආසිං - උදෙකෙ වාරි ගොචරො

තව ධම්මං සුණත්තස්ස - අවධි වච්ඡපාලකො”[3]

‘මම පෙර ජලය ගොදුරු කොටැ ඇති දිය මැඩියෙක් වැ සිටියෙමි ඔබගේ බණ අසත් ම පසුපල්ලෙක් මා මැරුයේ ය.’

උන්වහන්සේ ඔහුට බණ වදාළ සේක. සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මභිසමය විය. ඒ දෙව්පුත් ද සෝවාන් වැ සිනාසිසී ගියේ ය.

  1. මහා: නි: සාරිපුත්ත සු: 335

  2. වි: ව: මහාරථ ව: 61

  3. වි: ව: මහාරථ ව: 61