ඒ භාග්‍යවතුන් වහන්සේ අවිපරීත කොටැ සියලු ධර්‍මයන් පරෝපදේශ රහිත වැ තමන් වහන්සේ ම අවබෝධ කළ සේක. එහෙයින් උන්වහන්සේ සම්මාසම්බුද්ධ ය. (“සම්මා” යන්නෙන් අවිපරීත කොටැ යන අර්‍ථය ද, “සා” යන්නෙන් තම්න වහන්සේ ම යන අර්‍ථය ද දැක්විණි. “සියලු ධර්‍මයන්” යි කර්‍මය ගත්තේ එක දේශයක් නො දක්වන ලද බැවිනි. එක දේශයක් නො දැක්වූ තැන නිෂ්ප්‍රදේශය ගත යුතු ය.
ඒ එසේ මැ යි :- උන්වහන්සේ සියලු ධර්‍මයන් අවබෝධ කළ සේක්ම ය උන්වහන්සේ අභිඥෙය ධර්‍ම අභිඥෙය වශයෙන් අවබෝධ කළ සේක. පරිඥේය ධර්‍ම පරිඥේය වශයෙන් ද, ප්‍රහාතව්‍ය ධර්‍ම ප්‍රහාතව්‍ය වශයෙන් ද, සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම සාත්ක්‍ෂාත් කරණිය වශයෙන් ද, භාවිතව්‍ය ධර්‍ම භාවිතව්‍ය වශයෙන් ද අවබෝධ කළ සේක. (අභිඥෙය ධර්‍ම නම් විශිෂ්ට ඥානයෙන් දත යුතු චතුස්සත්‍ය ධර්‍ම යි. ලක්ඛණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන වශයෙන් දත යුතු ධර්‍ම හෝ පරිඥෙය ධර්‍ම නම් හාත්පසින් දත යුතු දුඃඛ සත්‍යයි. අනිත්‍යාදි ලක්‍ෂණ වශයෙන් පිරිසිඳැ දත යුතු ධර්‍ම හේ ප්‍රහාතව්‍ය ධර්‍ම නම් බැහැර කටයුතු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සමුදය සත්‍ය යි. සාත්ක්‍ෂාත් කරණිය ධර්‍ම නම් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක්ක යුතු නිර්‍වාණ සංඛ්‍යාත නිරොධ සත්‍ය යි. ඵල- නිර්‍වාණ හෝ භාවිතව්‍ය ධර්‍ම නම් වැඩිය යුතු මාර්‍ග ධර්‍ම යි. වදාළේ මැ යි :-
“අහිඤ්ඤෙයං අභිඤ්ඤාතං - භාවෙතබ්බංච භාවිතං;
පහාතබ්බං පහීනං මෙ - තස්මා බුද්ධො‘ස්මි බ්‍රාහ්මණ”[1] යි.
‘බමුණ! මා විසින්, ‘අභිඥේය ධර්‍ම අභිඥාත ය. ප්‍රහාතව්‍ය ධර්‍ම ප්‍රහීණ ය. භාවිතව්‍ය ධර්‍ම භාවිත ය. එහෙයින් මම බුද්ධ වෙමි.’ යනු අර්‍ථ යි.
තව ද භාග්‍යවතුන් වහන්සේ ඒ චතුස්සත්‍යය ආයතන විඤ්ඤාණා දි වශයෙන් අවබෝධ කළ හෙයින් සම්මාසම්බුද්ධ වන සේකැ යි දක්වති.
උන්වහන්සේ චක්‍ෂුරායතනය දුඃඛ සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතනය උපදවීමට මූලකාරණ වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යි ද, ඒ චක්‍ෂුරායතන - තෘෂ්ණා යන දෙක්හි ම නො පැවැත්ම නිරෝධ සත්‍යය යි ද, නිරෝධ ප්‍රතිවේධ කරන ප්‍රතිපදාව මාර්‍ග සත්‍යය යි ද, මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් සියලු ධර්‍මයන් මනා කොටැ තමන්වහන්සේ ම අවබෝධ කළ සේක. සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායායතන, මනායතන මෙසේ යොදා දත යුතු. මෙසේ ම රූපාදි වූ බාහිරායතන සයද, චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ කාය සය ද, චක්ඛු සම්ඵස්සාදි ඵස්ස සය ද, චක්ඛු සම්ඵස්සජ වේදනාදි වේදනා සය ද, රූපසඤ්ඤාදි සඤ්ඤා සය ද, රූප සඤ්චේතනාදි චේතනා සය ද, රූප තණ්හාදි තෘෂ්ණා සය ද, රූප චිතක්කාදි චිතක්ක සය ද, රූප විචාරාදි විචාර සය ද, රූපක්ඛන්‍ධාදි පඤ්චස්කන්‍ධ ද, දස කසිණ ද, දස අනුස්සති ද, උද්ධුමාතකාදි දස සංඥා ද, කේසාදි දෙතිස් කුණප ද, ද්වාදස ආයතන ද, චක්ඛුධාතු ආදි අටළොස් ධාතු ද, කාම භවාදි නව භව ද, ප්‍රථමධ්‍යානාදි ධ්‍යාන සතර ද, මෙත්තාදි සතර අප්පමඤ්ඤා ද, ආකාසානඤ්චායතනාදි අරූපසමාපත්ති සතර ද, ප්‍රතිලෝම වශයෙන් ජරා - මරණාදි වූද, අනුලෝම වශයෙන් අවිද්‍යාදි වූ ද, පටිච්චසමුප්පාදාඞ්ග ද යොදා ගත යුතු යි. එයින් අවසන්හි දැක්වුණු ජරා-මරණ යොදන සැටි මෙසේ ය. ජරා-මරණ දුඃඛ සත්‍යය, ජරා - මරණයට ප්‍රත්‍යය වන ජාතිය සමුදය සත්‍යය, ඒ ජරා-මරණ ජාති දෙක්හිම නිස්සරණය නිරෝධ සත්‍යය, නිරෝධය ප්‍රතිවේධ කරන ප්‍රතිපදාව මාර්‍ග සත්‍ය යි.
මෙසේ එක් එක් ධර්‍මය උද්ධරණය කිරීම් වශයෙන් ද උන්වහන්සේ සියලු ධර්‍මයන් මනා කොටැ තමන් වහන්සේ ම අවබෝධ කළ සේක. එ හෙයින් උන්වහන්සේ “සම්මාසම්බුද්ධ” වන සේක.
-
සු:නි: සෙලසු 79 ↑