වත්

වත් පිරීමත් පැවිද්දන්ගේ ශීලයේ කොටසකි. ආචාර්යෝපාධ්‍යාය සද්ධිවිහාරික අන්තේවාසික සෑම දෙනා විසින් ම පිරිය යුතු වත් ඇත්තේ ය. මහ තෙරුන් වහන්සේගේ පටන් එදින ම පැවිද්ද ලත් සාමණේර නම දක්වා ඇති සෑම දෙනා විසින් තම තමන් අයත් වත් සම්පූර්ණ කළයුතු ය.

“වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති,

අසුද්ධසීලෝ දුප්පඤ්ඤෝ චිත්තේකග්ගං න වින්දති.

-

වික්ඛිත්තචිත්තෝ නේකග්ගෝ සද්ධම්මං න ච පස්සති

අපස්සමානෝ සද්ධම්මං දුක්ඛා න පරිමුඤ්චති.”

(විනය විනිච්ඡය වත්තක්ඛන්ධක)

“වත් සම්පූර්ණ නො කරන තැනැත්තේ ශීලය සම්පූර්ණ නො කෙරේ. ශීල ශුද්ධිය නැති නුවණ නැති තැනැත්තේ සිතේ එකඟ බවක් නො ලබයි. වික්ෂිප්ත වූ එකඟ නො වූ සිත් ඇත්තේ ධර්මය නො දකී. ධර්මය නො දක්නේ දුකෙන් නො මිදේ” වත් නො කිරීමෙන් සාමණේරයෝ දඬුවම් ලැබිය යුත්තෝ වෙති. භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ. චූලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ වත් තුදුසක් වදාරා තිබේ. ඒවා විනය විනිශ්චයෙහි ගාථා දෙකකින් මෙසේ දක්වා තිබේ.

“ආගන්තුකාවාසික පිණ්ඩචාරී - සෙනාසනාරඤ්ඤනුමෝදනාසු

වත්තානි භත්තේ ගමිකස්ස ජන්තා - ඝරේ තථා වච්චකුටිප්පවේසේ

-

ආචරියුපජ්ඣායක සිස්ස සද්ධි - විහාරි වත්තානි පි සබ්බසෝව,

වත්තානි වුත්තානි චතුද්දසේව - විසුද්ධචිත්තේන විනායකේන.”

වත් තුදුස අමතක නොවීම පිණිස මේ ගාථා පාඩම් කර ගත යුතුය.

ආගන්තුක වතය, ආවාසික වතය, පිණ්ඩචාරික වතය, සේනාසන වතය, ආරඤ්ඤක වතය, අනුමෝදනා වතය, භත්තග්ග වතය, ගමික වතය, ජන්තාඝර වතය, වච්චකුටි වතය, ආචරිය වතය, උපජ්ඣාය වතය, සද්ධිවිහාරික වතය, අන්තේවාසික වතය කියා මෙසේ වත් තුදුසක් ඇත්තේ ය.

අනු මාතෘකා
keyboard_arrow_rightඋපාධ්‍යාය වත
keyboard_arrow_rightආචාර්‍ය්‍ය වත
keyboard_arrow_rightආවාසික වත
keyboard_arrow_rightගමික වත
keyboard_arrow_rightභත්තග්ග වත
keyboard_arrow_rightඅනුමෝදනා වත
keyboard_arrow_rightආරඤ්ඤක වත
keyboard_arrow_rightසේනාසන වත‍
keyboard_arrow_rightවැසිකිළි වත‍