පෞරාණික දින චරියාව

star_outline

“සැදැහැයෙන් සසුන් වන් කුලදරුවන් විසින් අරුණට පළමු ව දැහැටි වළඳා මලුපෙත් මං හැමද නිමවා පැන් පෙරහා තබා විවේකස්ථානයක හිඳැ සිල් බැලීමෙන් විවේක වත් සැපයීමෙන් තුන් පැයක් යවා ගෙඩිය ගැසූ කලැ “සතං හත්ථි සතං අස්සා” යනාදීන් සිහි කරමින් දැගැප් මහබෝයට එළඹැ වත් සපයා පිදිය හැකි වතක් ඇත පුදා “ඉතිපිසෝ භගවා” යනාදීන් නව අරහාදි බුදු ගුණ සිහි කොටැ අන්‍යවිහිත නො වැ වැඳ එක විට මැ ආපුච්ඡා කොටැ ගෙනැ නැඟී සිටැ, පිළිවෙළින් පත්කඩ තබා වැඳ ගෙනැ ලිත බලා අවච්ඡායාව පොහෝ කළ දවස බුද්ධවර්ෂය කියාලූ කලැ

“තස්ස පාසාදිකං හෝති පත්තචීවර ධාරණං,

පබ්බජ්ජා සඵලා තස්ස යස්ස සීලං සුනිම්මලං”

යනාදීන් සිහි කොටැ පා සිවුරු ධර වැ කමටහන් ගෙනැ ගමට වදනා කලැ ආචාර්‍ය්‍ය උපාධ්‍යායනට නුදුරු වැ නො ළං වැ ගොස් සිවුරු හඳනා තැනැ හැමදැ පාත්‍ර‍ය මුදා දීලා කැටුවැ ගොස් ගමට වැදැ ස්ත්‍රී පුරුෂ ඇත් අස් රථ පාබල සෙනඟ නොයෙක් දික් නො බලා සේඛියාහි කී සෙයින් සිඟා ගෙනැ කැටුවැ නික්මැ පාත්‍ර‍ය හා සඟළ සිවුරු දෙ අතින් අල්වා ගෙනැ කමටහන් මෙනෙහි කරනුවන් විසින් වෙහෙරට අවුත් සිවුරු වස පිසැ තබා හිඳිනා අසුන් පනවා පත් සලා පා දෙවැ පැන් මලා දැහැටි දඬු එළවා දී තමාගේ පාත්‍ර‍ පර්‍ය්‍යාපන්නයෙන් අනුනට දන් දීලා කිසිවක් උන් නො ගත හොත් බත් සරලුවක් වත් දන් දීලා ඇසෙන සේ පස්විකා ගෙන සේඛියාහි කී සෙයින් අහර කිස නිමවා පිළිවෙළින් වැඩිමහලු තැන්ගේ පාත්‍ර‍ සෝධා වත් සපයා බොජුන්හල් හැමදැ ගුරුන්ට වත් දක්වා ඉක්බිති ගුරුන් හා බුදුන් වැඳැ ගෙනැ විවේක ස්ථානයක හිඳැ අතීත පස්විකුම් පස්විකා සිල් තබා මෙත් කොටැ ගෙනැ පැයක් විතරකින් අත ගසා ලූ කලැ පොත කියවා පත ලියවා අසන පිරුවහන දෙය වනපොත් කොටැ විදර්ශනා ධූරයෙහි යෙදෙන්නවුන් විසින් වෙන වෙන මැ හිඳැ තමහට නියම පෙළ වනපොත් දීලා අසා ගෙන වේලා ඇත හොත් වනපොත් කැටැ ලා රෑ වන්නට පැයකදී ගෙමලු හැමැන්ද යුතු.

වත් පැමිණියන් විසින් ගිනි එළවා පහන් පුදා බණ සලසා ආරාධනා කොටැ පයට පැන් එළවා පිළිවෙළින් හිඳැ බණ අසා පිරිත් බැණැ ගෙන ගුරුන්ට වත් දක්වා විචාළ මනා සැක ඇත විචාරා ගෙනැ පුහුණුවන් ඇත පිරිවහා සේඛියා චතුපාරිසුඬිසීලය පිරිවහා ගෙනැ තමන් සැතපෙන ගෙහි වැඩිමහල්ලන් ඇත වත් සපයා වැඳැ අවකාශ ගෙනැ සැතපෙන අස්නේ හිඳැ පස්විකා ගෙනැ සතර කමටහන් මෙනෙහි කොටැ අලුයම නඟෙමි යන සිතින් නිද්‍රෝපගත වැ අලුයම නැඟී පස්විකා ගෙනැ සතර කමටහන් මෙනෙහි කොටැ රතන සූත්‍රයෙන් පිරිත් බැණැ මෙත් කොටැ ගෙනැ අරුණට පළමු වත් සැපයීමෙන් පළමු කී සෙයින් ම කරනුවන් විසින් දෙවේලෙහි මෙත් පිරිත් සංවේගවස්තු අට අශුභ මරණ සති සිහිකරනුවන් විසින් එක්වන් දසධම්ම සූත්‍ර‍ය මෙනෙහි කිරීමෙන් ඡන්දාදීන් අපායෙහි ගෙනැ හැරැ සිටවූවාක් මෙන් නො කොටැ ඔවුනොවුන්ගේ දුටු වරද කීමෙන් මෙත්තාවචීකර්මය පුරා “යෝ පන භික්ඛු ධම්මානු ධම්මපටිපන්නෝ විහරති සමීචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේ ති පරමාය පූජාය පටිපත්ති පූජාය” යි වදාළ අවවාද සිත තබා ගෙනැ බුදුන් මෙසේ ප්‍ර‍තිපත්ති පූජායෙන් පුදනු වන් විසින් මෙකී දින චරියාව කෙළේ ඇද්දැ යි විචාළ කලැ කළවුන් විසින් මුවෙන් නොබිණීමෙන් හා වුවමනා කිසි කටයුත්තකට කාරණා කියාලීමෙන් හා වැරැද්දකට වැලිලාස්සක් ගෙනැ හැර මලුයෙහි ලා එක්වන් දිනචරියාව පසස්නන් විසින් සබ්‍ර‍ම්සරුන්ගේ සිවුරු ගෙත්තම් කිරීම් පාත්‍ර‍ පිසීම් ආදී වූ කුදු මහත් කටයුත්තෙහි සමර්ථ වැ ඉදිසිත් ඇති වැ වැඩිමහල්ලන්ට සුවච වැ මොළොක් වැ පාපිස්නා බිස්සක් සෙයින් මන් නැති වැ සතර පසයෙහි ලද දෙයකින් සතුටු වැ අල්පකෘත්‍යය ඇති වැ පරිෂ්කාර දොළොසකින් වඩා නො ගැන්මෙන් ස්වකීය පැවතුම් ඇති වැ සන්හුන් ඉඳුරන් ඇති වැ මුහු කළ නුවණින් යුක්ත ව කායගර්ව වචීගර්ව නැති වැ කුලයා කෙරෙහි ද ගණයා ද කෙරෙහි ද නො ඇලී කුඩා වුවත් පාපයකුදු නො කොටැ මෙසේ ප්‍ර‍තිපත්තිපූජායෙන් පුදනුවන් විසින් ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතුයි.”

මේ දිනචරියාව මේ පොතට ඇතුළු කරන ලද්දේ එයට අනුව සෑම දෙනාට ම හැසිරිය හැකි නිසා නොව එයින් ගත යුතු උපදෙස් ගැනීමට ය. එය මේ බුදුසස්නේ සැමට ම සාධාරණ දිනචරියාවක් නොව බොහෝ පැවිද්දන් විසූ විහාරයක දිනචරියාවෙකි. එක්නම දෙනම වශයෙන් ඇති තැන්වල ඒ දින චරියාව අනුව කටයුතු නො කළ හැකිය. දිනචරියාවට දැන් ව්‍යවහාර කරන්නේ කාල සටහනය කියා ය. නියමිත කාල සටහනක් තිබීම කාල සටහනකට අනුව වැඩ කරන්නට පුරුදු කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් ය. එයින් වැඩ අත පසු නො වේ. එබැවින් සියලුම භික්ෂූන් විසින් තමන් වාසය කරන පළාතට - විහාරයට - කාලයට - පරිසරයට ගැලපෙන පරිදි තම තමන්ට කාලසටහනක් සාදා ගෙන එය අනුව වැඩ කිරීම පුරුදු කර ගත යුතු ය. පැවිදි සෑම දෙනා ගේ ම දිනචරියාවට අරුණට පළමු නැගිටීම, දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම, ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම, වත් කිරීම, භාවනා කිරීම යන මේවා ඇතුලත් විය යුතු ය.

දැනට බුදුන් වහන්සේ ජීවමාන ව අප හමුවෙහි නැති නිසා මේ සූත්‍රයේ සැටියට පිළිපැදීමට ඉඩක් නැතය යි සමහර විට සිතෙන්නට පිළිවෙන. දැනුදු ශාස්තෘන් වහන්සේ නැතය කියා නො සැලකිය යුතු ය. තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළ සේක.

“තුම්හාකං පනානන්ද, ඒවමස්ස : අතීතසත්ථුකං පාවචනං නත්ථි නෝ සත්ථාති. න ඛෝ පනානන්ද, එවං දට්ඨබ්බං, යෝ වෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ, සෝ මමච්චයේන වෝ සත්ථා.”

(මහාපරිනිබ්බාන සුත්ත)

මේ දේශනයෙන් තථාගතයන් වහන්සේ විසින් ම උන්වහන්සේ විසින් දේශිත ධර්මය හා ප්‍ර‍ඥප්ත විනය ශාස්තෘස්ථානයෙහි තබා ඇති බැවින් ධර්ම විනය ලෝකයෙහි ඇති තාක්, ශාස්තෘන් වහන්සේ ද ඇති සැටියට සැලකිය යුතුය.