ආරඤ්ඤක වත

ආරණ්‍යයෙහි වාසය කරන භික්ෂුව විසින් කාලය පැමිණි කල්හි බඩු තැන්පත් කොට ජනෙල් දොරවල් වසා පා සිවුරු ගෙන පාවහන් ඇති නම් එය පය ලා ගම බලා යුතුය. ගම සමීපයට පැමිණි කල්හි සේඛියාවෙහි දැක්වෙන පරිදි සිවුරු හැඳ පොරවා පාවහන් ථවිකයෙහි ලා ගෙන පිඬු සිඟා ගත යුතු ය. තමා වාසය කරන තැන බොන පැන් පරිභෝග පැන් නිතර තබා ගත යුතුය. පැන් තබා ගැනීමට භාජන දෙකක් නො මැති නම් එක් පැන් බඳුනක් හෝ තබා ගත යුතුය. බඳුන් නොමැති නම් හුණ පුරුක්වල හෝ පැන් තබා ගත යුතුය. එ සේත් නො හැකි නම් නුදුරු තැන ජලය රැඳී සිටීමට වළක් හෝ පිළියෙළ කර තබා ගත යුතුය. ගිනි අවුලවා තැබිය යුතුය. වුවමනා විටෙක ගිනි දල්වා ගැනීමට උපකරණ ළඟ ඇති නම් නිතර ගිනි අවුලා නො තැබුව ද වරද නැත. සැරයටියක් තබා ගත යුතු ය. දින මාස සෘතු දැන ගත යුතුය. දිශා දැන සිටිය යුතු ය.