සද්ධිවිහාරික අන්තේවාසික වත්

යම් කිසි ස්ථවිර කෙනකුගෙන් උපාධ්‍යාය ග්‍ර‍හණය කොට වෙසෙන සාමණේර හෝ උපසම්පන්න ශිෂ්‍යයා “සද්ධිවිහාරික” නම් වේ. යම්කිසි ස්ථවිර කෙනකු ගෙන් නිස ගෙන සිටින තැනැත්තා ද, යම්කිසි භික්ෂුවකගෙන් අවවාදානුශාසනා ලබා පැවිදි වූ තැනැත්තා ද, යම්කිසි භික්ෂුවක් විසින් කර්ම වාක්‍යය කියා උපසම්පදා කළ තැනැත්තා ද, යම්කිසි භික්ෂුවකගෙන් ධර්මය උගත් තැනැත්තා ද ‘අන්තේවාසික’ නම් වේ. ඔවුන් ගෙන් පළමුවැන්නා ‘නිශ්‍ර‍යාන්තේවාසික’ නමි. දෙවැන්නා ‘ප්‍ර‍ව්‍ර‍ජ්‍යාන්තේවාසික’ නමි. තුන්වැන්නා ‘උපසම්පදාන්තේවාසික’ නමි. සතර වැන්නා ‘ධර්මාන්තේවාසික’ නමි. උපාධ්‍යායයන් කෙරෙහි හා ආචාර්‍ය්‍යයන් කෙරෙහි සිදු කළයුතු වත් කොටසක් සද්ධිවිහාරිකාන්තේවාසිකයන් හට ඇතුවාක් මෙන් සද්ධිවිහාරිකයන් කෙරෙහි හා අන්තේවාසිකයන් කෙරෙහි සිදු කළ යුතු වත් කොටසක් උපාධ්‍යායයන්ට හා ආචාර්‍ය්‍යයන්ට ද ඇත්තේ ය. උපාධ්‍යායයා විසින් ශිෂ්‍යයාට කළ යුතු වත ‘සද්ධිවිහාරික වත්ත’ නම් වේ. ආචාර්යවරයා විසින් ශිෂ්‍යයාට කළ යුතු වත ‘අන්තේවාසික වත්ත’ නම් වේ. මේවාට ආචාර්ය්‍යෝපාධ්‍යායයන් අයත් යුතුකම් ය යි කිව ද වරද නැත. ඒවා ඉටු නොකිරීමෙන් ආචාර්ය්‍යෝපාධ්‍යයාන්ට ඇවැත් වේ.

ආචාර්ය්‍යෝපාධ්‍යාය වත් මෙසේ ය: ආචාර්ය්‍යෝපාධ්‍යයන් විසින් සද්ධිවිහාරිකාන්තේවාසිකයන්ට ධර්ම විනය පාඩම් කරවීමෙන් ද ඒවායේ අර්ථ - අදහස් කියා දීමෙන් ද වරද කළ කල්හි අවවාද කිරීමෙන් ද, වරදට නො පැමිණෙන ලෙස අනුශාසනා කිරීමෙන් ද අනුග්‍ර‍හ කළ යුතුය. ශිෂ්‍යයා හට පාත්‍ර‍චීවරාදි පරිෂ්කාරයන් ගෙන් යමක් නැති නම් ආචාර්ය්‍යවරයා වෙත ඇති නම් ඒවා ශිෂ්‍යයාට දිය යුතුය. තමන් වෙත නැති නම් ලබා දීමට උත්සාහ කළ යුතුය. අතවැසියාට බුදුසස්න ගැන හෝ පැවිද්ද ගැන හෝ කලකිරීමක් ඇති වුව හොත් කරුණු පහදා දීමෙන් එය දුරු කළ යුතු ය. තමා එයට නොසමත් නම් අනිකකු ලවා හෝ එය දුරු කරවිය යුතුය. යම්කිසි කරුණක් ගැන සැකයක් ඇති වුව හොත් එය දුරු කළ යුතු ය. ඉදින් අතවැසියාට යම් කිසි දෘෂ්ටියක් ඇති වුව හොත් එය දුරු කළ යුතු ය. අතවැසියාට දහම් දෙසිය යුතු ය. සිවුරු කැපීම - මැසීම - පඬු පෙවීම - සේදීම යනාදිය කරන සැටි අතවැසියන්ට උගැන්විය යුතු ය. අතවැසියා ගිලන් වුව හොත් උපස්ථාන කළ යුතු ය. ගිලන් බවින් අතවැසියා නැගිටුවා ගැනීමට සෑම උත්සාහයක් ම කළ යුතු ය. ගිලන් වූ අතවැසියාට දැහැටි දීම් මුවදෝනා පැන් දීම් ආදි සියල්ල ආචාර්යෝපාධ්‍යායන් විසින් කළ යුතු ය.

ආගන්තුක වත

‘ආගන්තුක වතය’ යනු ආගන්තුකයකු වශයෙන් අන් අරමකට ගිය කල්හි පිළිපැදිය යුතු ආකාරය ය. අන් අරමකට යන ආගන්තුකයා විසින් අරමට පිවිසීමට කලින් වහන් පය ලා ඇති නම් ඒවා ඉවත් කර ගෙන, කුඩ ඉසලා ඇති නම් එය අකුලා ගෙන හිස වසා පොරවා ඇති නම් එය ඉවත් කරගෙන සන්සුන්ව අරමට ඇතුළු විය යුතුය. අරමෙහි ආවාසික භික්ෂූන් රැස්වන තැනට ගොස් සුදුසු තැන්වල පා සිවුරු තැබිය යුතුය. බොන පැන් පරිභෝග පැන් ඇති තැන් විචාළ යුතුය. වැසිකිළි කැසිකිළි ඇති තැන් විචාරා දත යුතුය. පිඬු පිණිස යා යුතු තැනක් නම් යා යුතු නො යා යුතු තැන් විචාරා දත යුතු ය. වැඩිමහළු ආවාසික භික්ෂූන්ට අභිවාදනය කළ යුතුය. ආවාසිකයන් ගේ අභිවාදන පිළිගත යුතු ය. සෙනසුනක් ලද කල්හි එය කලින් අනිකකු විසූ තැනක් ද නො විසූ තැනක් ද යන වග විමසිය යුතුය. අනිකකු නො විසූ තැනක් නම් පරීක්‍ෂා කොට එහි ඇතුළු විය යුතු ය. ඉදින් ලද තැන අපවිත්‍ර‍ වී ඇති නම් හැමද පිරිසිදු කළ යුතු ය. මිදුල්වල කසළ ඇති නම් හැමද පිරිසිදු කළ යුතු ය. වැසිකිළිය අපවිත්‍ර‍ නම් හැමද පිරිසිදු කළ යුතු ය. එහි වතුර නැති නම් තැබිය යුතු ය.