වැසිකිළි වත‍

නිතර ම වැඩිමහල්ලාට මුල් තැන දීම බුදුසස්නේ චාරිත්‍රයෙකි. එහෙත් වැසිකිළියට පිවිසීම කළ යුත්තේ වැඩිමහලු පිළිවෙළින් නොව පැමිණි පිළිවෙළිනි. කෙස කිළියට හා නාන තොටට පිවිසිය යුත්තේ ද පැමිණි පිළිවෙළිනි.

වැසිකිළියට පිවිසෙන්නහු විසින් ඇතුළෙහි අනිකකු ඇති නැති බව දැන ගැනීම සඳහා පිටත සිට කෑරීම කළ යුතුය. ඇතුළෙහි කෙනකු ඇති නම් ඒ බව පිටත ඉන්න හුට දැන ගැනීම සඳහා එසේ කළ යුතුය. සිවුරු දැමීමට ඇති වැලෙහි හෝ දඬුවෙහි සිවුර තබා වැසිකිළියට පිවිසය යුතු ය. පාදුකාව උඩට පැමිණෙන තුරු අඳනය නො එසවිය යුතුය. ශබ්ද නැඟෙන සේ තතනමින් වර්චස් නො කළ යුතුය. දැහැටි සපමින් වර්චස් නො කළ යුතු ය. වර්චස් කරන තැනින් බැහැර වර්චස් නො කළ යුතුය. බැහැර මුත්‍ර‍ නො කළ යුතුය. මුත්‍ර‍ කරන තැන කෙළ නො ගැසිය යුතුය. ශබ්ද නැඟෙන සේ සේදීම නො කළ යුතුය. පාදුකාව මත සිට ගෙන ම අඳනය පහත දමා එයින් බැහැර විය යුතුය. සේදීමට ගත් වතුර බඳුනෙහි ඉතිරි කර නො තැබිය යුතුය. වැසිකිළියෙහි වතුර අවසන් වී ඇති නම් තැබිය යුතුය. වැසිකිළිය අපවිත්‍ර‍ වී ඇති නම් එය සෝදා පිරිසිදු කළ යුතුය. ජලය නැති නම් අන් ක්‍ර‍මයකින් පවිත්‍ර‍ කළ යුතුය. තමා නිසා වැසිකිළිය අපවිත්‍ර‍ වුවහොත් එය අනිකකුට ශුද්ධ කරන්නට නො තබා තමා විසින් ම පිරිසිදු කර තැබීම පැවිද්දකුගේ යුතු කමකි. ඒ යුතුකම පැහැර නො හැරිය යුතුය. වැසිකිළියෙහි හා ඉන් පිටත ද කසළ ඇති නම් හැමඳ පිරිසිදු කළ යුතුය. මේ වැසිකිළි වතය.

ජන්තාඝරවතය කියාත් වතක් විනයෙහි ඇතත් මෙකල ජන්තාඝර නැති බැවින් ඒ වත නො දක්වන ලදි.