සේනාසන වත‍

star_outline

යම් කිසි විහාරයෙක (පන්සලක - ආවාසයෙක) වාසය කරන්නා වූ භික්ෂුව විසින් ඒ විහාරයෙහි ඇති බඩු පිරිසිදු කර තැබිය යුතුය. ආවාස හැමද පිරිසිදු කර තැබිය යුතුය. පඩික්කම්වල පටන් සියලු භාජන පිරිසිදු කළ යුතු ය මිදුල් හැමද කසළ ඉවත් කළ යුතු ය. භෝජන ශාලා වැසිකිළි කෙසකිළි පිරිසිදු කළ යුතුය. සෑ මලු බෝමලු ප්‍ර‍තිමාගෘහ පිරිසිදු කර තැබිය යුතු ය. බොන පැන් පරිභෝග පැන් තැබිය යුතු ය. ධූලි සහිත වාතය එන දිශාවල ජනේල දොර වැසිය යුතු ය. ඒ ඒ වෙලාවට සුදුසු පරිදි කවුළු හැරීම හා වැසීම කළ යුතුය. විහාරය විනාශ වන පරිදි නිතර ම කවුළු හැර තැබීම නො කළ යුතු ය.

වැඩිමහල්ලන් හා එක් විහාරයෙක් හි වෙසෙන නවකයා විසින් වැඩිමහල්ලාගෙන් අවසර නො ගෙන ශබ්ද නඟා බණ පිරිත් නො කිය යුතුය. පොත පත නො කියවිය යුතු ය. පාඩම් නො කිය යුතුය. පාඩම් නොකළ යුතුය. පහන් නො දැල්විය යුතුය. නො නිවිය යුතුය. කවුළු ඇරීම වැසීම නො කළ යුතුය. මේවාට නිතර ම අවසර ගැනීම කරදර බැවින් වැඩි මහල්ලා විසින් නවකයාට රිසි සේ ඒවා කර ගැනීමට අවසර දී තැබීම මැනවි. වැඩිමහල්ලා විසින් එසේ අවසර දී ඇති කල්හි රිසි සේ ඒවා කර ගැනීමෙන් නවකයාට වරදක් නො වේ. එහෙත් වැඩිමහල්ලාට කරදරයක් නො වන පරිදි ඒ වැඩ කිරීම නවකයාගේ යුතුකම බව සැලකිය යුතුය. සක්මන් කරන කල්හි ද සිවුරු කොනකුදු වැඩිමහල්ලාගේ සිරුරෙහි නො සැපෙන පරිදි නවකයා පිළිපැදිය යුතු ය.