භත්තග්ග වත

මිනිසුන් භික්ෂූන්ට දන් දෙන ස්ථානවල පිළිපැදිය යුතු ආකාරය භත්තග්ග වතය. දන් දෙන තැනට යෑමට කාලය දැන්වූ කල්හි තෙමඬුලු වසා පරිමඬුලු කොට අඳනය හැඳ පටිය බැඳ ගුණ කොට සිවුරු පොරවා ගණ්ඨිය දමා පාත්‍ර‍ය සොයා ගෙන සේඛියාවෙහි එන සිකපද නො බිඳ වැඩිමහලු පිළිවෙළින් සන්සුන් ලෙස ගමෙහි යා යුතුය. වැඩිමහල්ලන් ඉදිරියෙන් නො යා යුතුය. දන් සැලේ හිඳ ගන්නා කල්හි ස්ථවිරභික්ෂූන්ට වඩා ළං නො වී නවක භික්ෂූන්ට බාධා නො වන පරිදි සේඛියා වත් නො බිඳ හිඳ ගත යුතු ය. දන් පිළිගන්නා කල්හි ද වළඳන කල්හි ද සේඛියා වත් නො බිඳිය යුතුය.

හිඳ ගැනීමේ දී සංඝස්ථවිරයන් වහන්සේ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. මහතෙරුන් වහන්සේට හා අන්‍යයන්ට ඇති ආසන සමාන නම් මහතෙරුන් වහන්සේ ළඟින් අසුනක් දෙකක් හැර සෙස්සන් වාඩිවිය යුතු ය. එසේ හැරීමට ඉඩ නැති කල්හි සංඝ ස්ථවිරයන්ගෙන් අවසර ගෙන වාඩිවිය යුතුය. මහ තෙරුන් වහන්සේ විසින් තැනේ සැටියට පිළිපැදිය යුතුය. සෑම දෙනාට ම දන් පිළිගන්වා අවසාන වන තුරු මහතෙරුන් වහන්සේ විසින් නො වැළඳිය යුතුය. දන්සැලෙන් පිටවන කල්හි මහතෙරුන් වහන්සේ දුර සිටිත් නම් නවකයන් පළමුවෙන් නික්මිය යුතුය. එහෙත් මඟට බැස යන කල්හි වැඩිමහලු පිළිවෙළින් යා යුතුය.