20. අසදෘශ මහාදාන පූජා කථා

star_outline

තව ද: අප බුදුන් සැවැත් නුවර දී කොසොල් මහ රජුගෙන් ලද අසදෘශ මහා දාන පූජා නම් කවර? යත්;

ඒ දානයට පූර්වභාගයෙහි පිළිවෙල කථාව මෙසේ දතයුතු. ත්‍රීභුවනචූඩාමාණික්‍ය වූ, මාගේ ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කරුණා නමැති ජලතලාවෙහි පිහිටුවන ලද අභිනිහාර නමැති ජලයෙන් හා, බෝධිසම්භාර නමැති මහානාළයෙන් හා ශීල නමැති විශාල පත්‍ර සමූහයෙන් හා විදර්ශනා නමැති පෙති සමූහයෙන් හා නුවණ නමැති අනන්ත වූ කෙසරු පෙළින් හා, වජ්‍රඥාන නමැති මහ කෙමයෙන් හා, සදහම් නමැති පුෂ්කර මධුබින්‍දු සමූහයෙන් හා, ගුණ නමැති සුවඳ ගඳින් හා, වෛනෙය ජන නමැති බමර කැලන් විසින් හා, ශ්‍රාවක ගණ නමැති හංස සමූහයා විසින් හා, බුද්ධඥාන නමැති සූර්‍ය්‍යා ලෝකයෙන් හා, තුන්ලෝ නමැති මහා සරසියෙහි පැන නැගි සර්වඥතාඥාන නමැති මහා පද්මය ප්‍රබුද්ධ කරවා, ප්‍රථම බෝධියෙහි පටන් ලෝවැඩ කරන කල බුදුවූ විසි හවුරුද්දක් මුළුල්ලෙහි ම නිරන්තරයෙන් අත් පා මෙහෙකළා වූ එක් කෙනකුන් වහන්සේ ම ය යි නැත. නාගසමාලය, නාගිතය, උපවෘණය, සුනක්ඛත්තය, චුන්‍දය, සාගත ය, රාධ ය, මෙඝීය ය යන මේ අටදෙනා වහන්සේ බුදුන්ට මුරලාගෙන වතාවත් කරන සේක.

එ කල මාගේ ස්වාමිදරුවෝ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේගේ නුවණ පිරී හුන් සේ දැක දෙවුරම් වෙහෙර දි අසූ මහ සව්වන් වහන්සේ ම රැස්කොට ලා ආමන්ත්‍රණය කොට මහණෙනි! දැන් මාගේ වයස් පස් පනස් හවුරුද්දෙක් පලාගිය. එසේ හෙයින් වට සොබ්බන කාල ය ඉක්ම ගියේ ය. ලොවුතුරා බුදුන්ට ජරා විලිපිලියෙක් නො වේ ම ය. එසේ ද වුවත් දැන් මම මහලුවන වයස් ඇති යෙමි. එසේ හෙයින් මහලු නම් වෙමි. සමහර මහණ කෙනෙක් මා හා එක මඟ යමින් සිට මා යන මඟ හැර අනික් මගෙක යම්හයි යෙති. සමහර මහණ කෙනෙක් මාගේ පාත්‍රය බිම තබා පියාත් පලා යන්නාහු ම ය. සමහර කෙනෙක් මා පස්සෙහි යමින් සිට අළු ගොඩක් පිට වැදහෙව බලු තපස් කරන්නා වූ මිථ්‍යාදෘෂ්ටිගතුවන් දැක රහතුනැ යි කියා උන් කරා ත් ගොස් කථාකරන්නාහු ම ය. එසේ හෙයින් නිරන්තරයෙන් මට අත් පා මෙහෙ කරන එක් මහණ කෙනකුන් නිල වන්නා කැමැතියෙමි”යි වදාළ සේක.

එ බසට සැරියුත්-මුගලන් ආදි වූ අසූ මහ සව්වන් වහන්සේම ඉතා මහත් වූ සංවේගයට පැමිණ වෙන වෙන නැඟී සිට “ස්වාමීනි! මම නුඹවහන්සේට මෙහෙ කෙරෙමි. මා හැරගෙන මෙහෙ ගෙන වදාළ මැනැව මටම කරුණා කොට වදාළ මැනව. ඒ සැපත මට ම දී වදාළ මැනැවැයි”යි යනාදීන් ආරාධනා කළසේක.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ රහතන් අතින් මෙහෙ නො ගන්නා හෙයිනුත්, ඒ සෙසු බුදුන්ගේ චාරිත්‍ර හෙයිනුත්, කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආ කෙනකුන් අතින්ම මෙහෙ ගන්නා හෙයිනුත් “මෝහට මතු ආනන්‍ද තම ස්ථවිර කෙනෙක් උපස්ථායක වෙති”යි සූවිසි වාරයෙක සූවිසි බුදුන් ම වදාරණ ලද හෙයිනුත්, බුදුහු “මහණෙනි! තෙපි තෙපි වෙන වෙන ම ප්‍රාර්ථනා කොට මාගේ ශාසනයෙහි වෙන වෙන ම තනතුරු ලදුව. එසේ හෙයින් තෙපි සිටුව-තෙපි සිටුව”යි කියා නො ඉවසා වදාළ සේක.