පෙර පියුමතුරා නම් බුදුන් සමයෙහි නොයෙක් පුණ්‍ය සම්භාරයන් රැස්කොට බුදු කෙනකුන්ට මෙසේ පක්‍ෂපාතවෙමියි ප්‍රාර්ථනා කොට ආ සේක්ම ය. සසර බුදුන්ගෙනුත් බොහෝ උපකාර ලැබ ආ සේක් ම ය. බුදුන්ටත් බොහෝ උපකාර කොට ආ සේක් ම ය.
සෙසු කල් හැර මෙම කප ජුණ්හජාතකයෙහි ස්වාමිදරුවන් ජුණ්හ නම් රජ කල උරයෙන් උරය ගැටී ගියා වූ විශ්වාසයෙන් හවුරුදු පතා ලක්‍ෂෂයක් නිමන ගම්වර පසක් හා, කෙල්ලන් සියයක් හා, ගවයින් සත්සියයක් හා, පසළොස් දහසක් ඝනරන් හා, ස්ත්‍රීන් දෙදෙනකු හා මේ ආදි නොයෙක් ධන රාශීන් එක දා ලද්දා වූ එ කල බමුණානෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: භද්දසාල ජාතකයෙහි ස්වාමිදරුවන් භද්දසාල නම් වෘක්‍ෂදේවතාවා වූ සමයෙහි බෝසතුන් අතින් අවවාද ලදින් එ තැන් පටන් හවුරුදු පතා ලක්‍ෂ වටනා බිලි පූජා කරැවූවාහු එ කල ඒ රජ්ජුරුවෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: කාලිඞ්ගබෝධි ජාතකයෙහි බෝධිමණ්ඩලය දැක බුදුන් බුදු වන තැන ය යි අසා බුදුන් කෙරෙහි ම ප්‍රේමයෙන් එ බීම අටළොස් රියන් උස මහා කනකස්තම්භයක් හිඳුවා, අවට සත්රුවන් වේදිකා කරවා, මැද රන් සන්නෙන් තවරා, රුවන් පවුරු රුවන් දොරටුයෙන් සේ ම කරවා, සැට දහසක් සුවඳ මල් වාහයෙන් පූජාකොට, දවස්පතා ම මෙ සෙයින් ම පූජා කරව යි නියෝග කොට ගියා වූ එ කල ඒ කාලිඞ්ග නම් චක්‍රවර්ති නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන්වහන්සේ ම ය.
තව ද: රූරුමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රූරු නම් මුව රජකුල මුවතුඩින් වදාළ බණ අසා පැහැද දියෙහි ගොඩෙහි සියලු සතුන්ට අභයදාන පූජා කළා වූ එ කල ඒ බරණැස් රජ්ජුරුවෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: සාලිකේදර ජාතකයෙහි ස්වාමිදරුවන් ගිරා රජ ව උපන් කල්හි ගිරා තුඩින් කී බණ අසා පැහැද පැසුණු පිටින් හැල් අටකිරියක් පූජා කළා වූ එකල ඒ සාලින්‍දිය නම් බමුණානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: චිත්තසම්භූත ජාතකයෙහි ස්වාමිදරුවන් චිත්ත නම් මහා තාපස කල පිට පිට සතර ජාතියෙක විශ්වාස ධර්මයෙන් ම ඉපැද කෙළවර ජාතියෙහි බෝසතුන් අතින් බණ අසා පැහැද ඒ සා බරණැස් රජය හැර එම දා මහණව ජීවිතාන්තය දක්වා පක්‍ෂපාත ව අත් පා මෙහෙ කළා වූ එ කල ඒ සම්භූත නම් රජ්ජුරුවෝ නමු දු මෙකල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: සිවි ජාතකයෙහි ස්වාමිදරුවන් සිවි නම් නරපති ව අන්‍ධ වූ බමුණාට ඇස් දන් දෙන දා බෝසතුන්ගේ නියෝගයෙන් ම ඖෂධ බලයෙන් ඇස් දෙක උපුටා දී ලු. බැරි වූ අඞ්ගපරිත්‍යාගයෙහි පවා අනුබල සහාය වූ, එකල ඒ සීවක නම් වෙදානෝ නමු දු මෙ කල මේ අනඳ මහතෙරුන් වහන්සේ ම ය.
තව ද, රෝහන්තමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රෝහන්ත නම් මුව රජ ව මල බැඳී ගිය දා අසූදහසක් මුවන් පැන පලායාදී තමන් එම මලෙහි බැඳී ගියා සේ ප්‍රේම නමැති මල බැඳි “මා මැරූ කල මුත් නුඹ මරා පිය නො දෙමි”යි කියා බෝසතුන් ඇඟ එල්බවා ගෙන සිට ඒ පෙළහරෙහි වැද්දහු විස්මයපත් කරවා බෝසතුන්ගේ ජීවිතය ගළවා දීලුවා වූ, එ කල ඒ චිත්ත නම් මල් මුවානෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: මහාබෝධි ජාතකයෙහි ස්වාමිදරුවන් මහ තවුස්ව රජුගේ ගෙට සිඟාවඩනා දා ඇතුළෙහි දී ජීවිතන්තරායට කාරණයක් දැක පටිකඳ පිට හිස තබාගෙන බුරණ පසාරයෙන් මහත් කොට කට දල්වා “ස්වාමීනි! මේ ගෙට නො එව. රජ්ජුරුවෝ තොප මරන්ට නියෝග කළෝ ය. අනික් අතෙක සිඟා වැඩපියව”යි ශුනක භාෂාවෙන් හඬගා කියා බෝසතුන් ඉවත යවා ජීවිතය රක්‍ෂා කොට දීලුවා වූ, එ කල ඒ කොලෙය්‍ය නම් ශුනකායාණෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: සොනන්‍ද ජාතකයෙහි ස්වාමිදරුවන් සොනන්‍ද නම් මහා තාපස කල ඔබ අතින් උරණ අසා භය ගෙන මෙවුලා සූවිසි අක්‍ෂෞහිණී මහ සෙනඟ හා එ තෙක් රජ පිරිස් කැඳවාගෙන ගොස් මෙ තෙක් දෙනා ලවා පැරැත්ත කියවා බෑණන් වහන්සේ වැඳ ක්‍ෂමා කරවා ගෙන බොහෝ දවසක් ආදරයෙන් විසුවා වූ, එ කල ඒ නන්‍ද නම් තාපසයෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: චුල්ලහංස ජාතකයෙහි ස්වාමිදරුවන් ධ්‍රැතරාෂ්ට්‍ර නම් හංසරාජ ව පියුම් විලෙහි බැඳී ගිය දා අනූදහසක් හංසයන් ඒ ඒ අත පලාගිය වේලෙහි තුමූ නො ගොසින් සිට බෝසතුන් ජීවිතය රක්‍ෂා කොට එ තැන් පටන් ඔවුනොවුන් අත් නො හැර ආවා වූ, එ කල ඒ සුමුඛ නම් හංස සේනාපති නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: ගුණ ජාතකයෙහි ස්වාමිදරුවන් සිංහරාජයන් කල මඩ වළෙහි වැටී මරණ ප්‍රාප්ත වූ දා ජීවිත රක්‍සා කොට එ තැන් පටන් සත් පරම්පරායෙක විශ්වාස ධර්මය නො නසා කළා වූ එ කල ඒ කැණහිලානෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: චුල්ලපදුම ජාතකයෙහි ස්ත්‍රියක බෝසතුන් පර්වත මුදුනෙන් හෙළාපු දා පිට හිඳුවා ගෙන ජීවිතය රැක දීලුවා වූ එ කල ඒ ගොයානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: තිරිටවච්ච ජාතකයෙහි ස්වාමිදරුවන් තිරීටවච්ච නම් මහා තාපස කල යුද්ධයෙහි දී පැරද ලිඳ හී බෝසතුන් නිසා දිවි ලදින් එ තැන් පටන් ජීවිතාන්තය දක්වා අග්‍ර භෝජනාදියෙන් බොහෝ උපස්ථාන කළා වූ එ කල ඒ බරණැස් රජ්ජුරුවෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: සිවි ජාතකයෙහි ස්වාමිදරුවන් තාපස ධර්මය ම පූරණය කරන සමයෙහි ඔබගේ ම උපදෙසින් කුක්කුමමාංසානුභවය කොට බරණැස් නුවර රාජ්‍යය ලදින් බොහෝ දවසක් ඔබට ම උපස්ථාන කලා වූ එ කල ඒ හස්ත්‍යාචාරි නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: මහා අශ්වාරෝහක ජාතකයෙහි ස්වාමිදරුවන් බරණැස් රජ කල තුමූ ගොවිකුලෙහි ඉපැද එක්ව ම බොහෝ කලක් රජසුව වින්‍දා වූ ඒ කල ඒ ප්‍රත්‍යන්තවාසී වූ පුරුෂයාණෝ නමු දු මම කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: පීඨ ජාතකයෙහි ස්වාමිදරුවන් මහණදම් පුරණ කල බොහෝ දවසක් ආදරයෙන් ම උපස්ථාන කළා වූ, එ කල ඒ ධන සිටානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: ස්වර්ණ කර්‍කටක ජාතකයෙහි ස්වාමිදරුවන් බ්‍රාහ්මණ මහාසාර කල නයකු විසින් දෂ්ට කරන ලදු ව විෂෂමූර්ඡාවෙන් මරණප්‍රාප්ත වූ දා දිවි රැක දීපුවා වූ, එ කල ඒ රන්වන් කකුළුවානෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.
තව ද: නානාච්ඡන්‍ද ජාතකයෙහි ස්වාමිදරුවන් බරණැස් රජ ව එක් දවසෙක රාත්‍රිභාගයෙහි “මෙනුවර මාගේ අධර්මයක් මා ඇසිය දී කියන ලකුණෙක් නැත. ඉදින් මාගේ මැදහත් කමක් පිටත කියන කෙනෙක් ඇත් නමුත් වෙස් වළා ඇවිද අසා ඒ නුගුණයත් හරිම”යි සිතාලා එකලා ව ම නුවර ඇවිදිමින් සිටි දෑ ය. එ වේලෙහි නුවර සොරු ගණනෙක් රා තිබෙන ගෙට වැද රා කළයක් සොරා හැරගෙන පලා යන්නාහු බෝසතුන් දැක “කොල! මේ සොරෙකැ”යි අල්වාගෙන එම උතුරු සළුවෙන් අත්කර බැඳගෙන රා කළය හිසට නගාලා මර මරා ගෙන යෙති. එ වේලෙහි බෝසතාණෝ තම රජ බව නො හඟවා “දුඃඛිතයෙක්මි මේ හැරගෙන මා හැරපියව”යි උතුරුසළු දී ගැළවී රජගෙට ම යෙමින් සිටියහ. එ වේලෙහි එනුවර දනුමැති දිළිඳු බමුණාන කෙනෙක් ගෙන් මිදුලට බැස ආකාශය බලා රාජබන්‍ධන නම් ග්‍රහයෝගයක් දැක ගෙට හඬ ගා පැමිණියට කියන්නාහු “පින්වත් වූ බැමිණිය! අපගේ මෙ නුවර රජ දැන් ම බන්‍ධනයකට පැමිණ දැන් ම මිදී ගියේ වේ දැ”යි කීහ.
රජ්ජුරුවෝ එ බස අසා සතුටු ව එ ගෙයි අත්තක් ගන්වා රජ ගෙට ගොස් දෙවන දා උදාසන හැම නුවර බමුණන් රැස්කොට “ගිය දා රෑ තොප තොපු දුටු අමුතු ග්‍රහ යෝගයක් මට කියව”යි විචාරා සියලු බමුණන් වෙන වෙන ගැණ බලා “අමුත්තෙක් නැතැ”යි කී කල නැවත එ බමුණා ගෙන්වා “තොප දුටු අමුත්තක් මට කියව”යි විචාරා එ බසට “මා විචාරන්නේ කිම් ද? නුඹ මරු බැම්මක් ලදින් ගැළවුනේ වේ ද, රාජබන්‍ධන නම් යෝගයෙක් වී ය”යි බමුණන් කී කල බෝධිසත්ත්‍වයෝ උන් කෙරේ පැහැද “තොප කැමැති වරයක් ගනුව”යි කීහ. එ වේලෙහි බමුණානෝ “මැනැවැ යි ගෙට ගොස් ආ කල වර ගනිමි”යි කියා ගෙට දිවගොස් අඹුදරුවන් බණවා “පින්වත්නි! අද රජ මා කෙරේ ඉතා පැහැද ගිය මා කැමති වරයක් දෙයි. කුමක් ඉල්වා ගනිම් දැ”යි විචාළහ. එ බසට බැමිණි සිනා කටක් සී පියා “ස්වාමිනි! ඇඹුල් කා පීඩාව ගියෙමි. අනික් සැපතකින් කම් නැත කිරිදෙනුන් සියයක් මට ඉල්වා දී පියව”යි කිව. පුතණුවෝ කියන්නාහු “ස්වාමීනි, අනික් සැපතකින් මට කම් නැත. සිත් සේ මා කෙළ ඇවිදපියන පරිද්දෙන් අසුන් යෙදූ රථ ඉල්වා දි පියව”යි කීහ.
යෙහෙලනියෝ “රථ තබා මට සොඳ රුවන්තෝඩු දෙකක් ඉල්වා දී පියව”යි කීහ. කෙලී කියන්නී “ස්වාමීනි! සෙසු දෙයක් නො ඉල්ලුව මැනැවැ, පෑර ගන්නා වේලෙහි ගෙන් ගෙට ඇවිද ඉතා විඩා ව ගියෙමි. වනක්-මෝලක්-කුල්ලක් ඉල්වා දීපුයේ නම් සියලු සම්පත් දුන්නා හා සම ය”යි කීව. එ වේලෙහි බමුණානෝ රජ්ජුරුවන් කරා පලා ගොස් “ස්වාමිනි! වර ගැනීම් බැරි ය. අපි හැම නානාච්ඡන්‍දයම්හ. මම ලක්‍ෂයක් නිමන ගම්වරක් කැමැතියෙමි. මා බැමිණි කිරි දෙනුන් සියයක් කැමැත්තී ය. ම පින් සිත් සේ කෙළ ඇවිද පියන අසසුන් යෙදූ රථයක් කැමැත්තේ ය. මායේලී මිණි කොඬොල් සඟළක් කැමැත්තී ය. කෙලී වනක්-මෝලක්-කුල්ලක් කැමැත්තී ය. එසේ හෙයින් එක්කෙනකුන් කැමැති වරයක් ඉල්වීම් නම් සෙස්සෝ නො කැමැති වෙති. එසේ හෙයින් වර ගැනීම් බැරිව ය”යි කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ සිනාසී “තොප කැමැති කැමැති වරම දෙමි, ගනුව”යි කියාලා මේ සියලු සැපත් දී, අග්‍රපුරෝහිත තනතුරු ද දී, බොහෝ දවසක් ඔවුනොවුන් කෙරෙහි කරුණාවෙන් වාසය කළ දෑ ය. එකල ඒ පුරෝහිත බමුණානෝ නමුදු මෙ කල මේ අනඳ මහතෙරුන් වහන්සේ ම ය.
මෙසේ සසර ද ඔවුනො‘වුන්ට උපකාර ව ආ හෙයිනුත්, ප්‍රේම ව ආ හෙයිනුත්, කප්ලක්‍ෂයක් පිරූ පාරමිතා ඇති හෙයිනුත්, බුදුහු මේ අනඳ මහතෙරුන් වහන්සේ ම අග්‍රඋපස්ථායක කළ සේක් ම ය. උන්වහන්සේ ද බුදුන්ට සුවච ව, අත් පා මෙහෙ කළ සේක්ම ය. එසේ හෙයින් පූර්වසන්නිවාසය ව සියලු සතුන්ලාට ම උතුම් ම ය. ප්‍රේමනීය ම ය. වදාළේ මැනෝ:-
පුබ්බෙ ච සන්නිවාසෙන - පච්චුප්පන්න හිතෙන වා,
එවං තං ජායතෙ පෙමං - උප්පලං‘ව යථොදකෙ- යි.
මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ විසින් නොයෙක් ජාති භේදයෙහි ද, වර්තමාන කාලයෙහි ද කරන ලද නොයෙක් සත්කාර ලත් හෙයිනුත් එසේ එසේ වූ උපස්ථාන විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.