එ වේලෙහි ඇමදෙනා වහන්සේ බුදුන්ගේ අදහස් දැන ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ බණවා “ඇවැත්නි! බුදුන් තොප කෙරෙහි අභිප්‍රාය ඇති සැටි ය. තෙපි බුදුන්ට අත් පා මෙහෙ කරව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ සකල ශරීරයෙහි ලොමු දැහැ ගන්වමින් පස්වනක් ප්‍රීතින් පිනා “මම් ම බුදුන්ට මෙහෙ කෙරෙමි”යි සිතා වදාරණ සේක් “බුදුහු මා කෙරේ ම අභිප්‍රාය ඇතිසේක් විනා මම ද බුදුන්ට මෙහෙ කරනු කැමැත්තෙම් ම ය. කරන්නා වූ අත් පා මෙහෙය සප්පාය කොට කරුණු කැමැත්තෙම් ම ය. මා ඉල්වන්නා වූ වර අටෙක් ඇත. ඒ වර අට බුදුහු මට දුන්සේක් වී නම් අද පටන් ම මෙහෙ කෙරෙමි”යි වදාළ සේක. එ බසට භික්‍ෂූන් වහන්සේ “ඇවැත්නි! ඒ වර අට නම් කිම් දැ”යි විචාළ සේක.
එ වේලෙහි අනඳ ස්වාමීන් වදාරණ සේක් “මම බුදුන්ට මෙහෙ කෙරෙම් නම්: බුදුන්ට උපන් චීවරයකුත් නො වළඳිම්මය. බුදුන්ට උපන් පිණ්ඩපාතයකුත් නො වළඳිම් ම ය. බුදුන් හා එක ගඳකිළියෙහිත් නො සැතපෙම් ම ය. බුදුන්ට කළා වූ ආරාධනාවෙක වැළඳී මටත් නො යෙම්මය. මෙසේ වූ ප්‍රතික්‍ෂෙප වර සතරෙක. තව ද: මාගේ පාත්‍රයට උපන් ආහාරය මා කෙරෙහි වෙනසක් නැතිව බුදුන් විසින් වළඳා මා උපාසක තනතුරෙහි තබා වදාළ මනා ම ය. යම් යම් දූරස්ථානයෙක සිට ත් කිසි කෙනෙක් අවුදින් දැන් ම මා බුදුන් දක්වාලුව මැනැවැයි මට අවුදින් කිවු නම් එ වේලෙහි බුදුන් සිටකු රජකු දෙවියකු බඹකු හා සමග කතා කරන සේක් වී නමුත් මම ඔහු භය නැති ව කැඳවාගෙන ගොස් බුදුන් දක්වාලා මාගේ වල්ලභකමත් පවිම් ම ය. යම් යම් ප්‍රස්ථාවෙක බුදුහු ධ්‍යානාදියෙන් වැඩ උන් සේක් වී නම් මම එ විගස ම බුදුන් අතින් විචාරම් ම ය. තව ද: මා නැති ව දෙව්ලෝ බඹලේ ආදියෙහි දී ත් බුදුහු යම් යම් බණක් වදාළසේක් වී නමුත් දෙවනුව අවුදින් ඒ බණ මටත් වදාළ මනා ම ය. මෙසේ වූ ආයාචනා වර සතරෙකැයි මෙ මා කී අට වරය ලදිම් නම් මෙහෙ කෙරෙමි යි ඒ ඉල්වා දුන මැනැවැ”යි වදාළ සේක.
එ වේලෙහි බුදුහු සාධු සාධු ආනන්‍දය! අනන්තපරියන්ත වූ බුදුන්ගේ ආයාචනයන්ගේ ඒ චාරිත්‍රෙයක් ම ය; ඒ උතුම් වූ වර අට තට නිෂ්ශේෂයෙක් ම දිනිමි. තෝ මට මෙහෙ කරව”යි කියා වදාළ සේක.
මෙසේ ඒ අනඳ මහ තෙරුන් වහන්සේ එ තැන් පටන් බුදුන්ට උපස්ථාන කරන්නවුන් කෙරෙහි ය. කෙළෙහි උපකාර දන්නවුන් කෙරෙහිය. සිවුපස ලාභීන් කෙරෙහිය. මිහිරි වූ කටහඬ ඇති ව බණ කියන්නවුන් කෙරෙහි ය. බහුශ්‍රැතයන් කෙරෙහි ය. යන මේ පඤ්චස්ථානයෙන් අග්‍ර ව එතදග්‍රපාළියෙහි තබන ලදුව. තව ද: ආගම සම්පදා ය, අධිගම සම්පදාය, පූර්වහේතු සම්පදාය, අර්ථානර්ථ ප්‍රතිපෘච්ඡා සම්පදාය, තීර්ථවාස සම්පදාය, යොනිසො මනසිකාර සම්පදාය, බුද්ධොපනිඃශ්‍රිත සම්පදායයි යන මේ සම්පතසම්පත්තින් සම්පූර්ණ සේක. එතැන් පටන් පස් විසි හවුරුද්දක් මුළුල්ලෙහි අප්‍රමාද ව බුදුන්ට උපස්ථාන කරන සේක් “ආනන්‍ද! ය යි බුදුන් ලවා දෙවාරයක් හඬගා පීම් නම් මාගේ කවර නම් පක්‍ෂපාත කමෙක් දැ”යි සිත සිතා දඬුවැට පහන් අතින් ගෙන තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි ගඳකිළිය සිසාරා ඇවිද පාන් කොට පියන සේක් ම ය.
ඒ අනඳ මහ තෙරුන් වහන්සේ කෙසේ වූ විශ්වාසයක් කියා මෙසේ වූ ප්‍රේමයකින් බුදුන්ට අත් පා මෙහෙ කළ සේක් ද? යත්;