කෝසල මල්ලිකාවෝ

star_outline

තව ද: එම රජහුගේ අගමෙහෙසින් වූ කෝසල මල්ලිකා දේවීන්ගේ උත්පත්ති කථාව නම් කවර? යත්;

එම සැවැත් නුවර පන්සියයක් මාලාකාරයන්ට නායක වූ මාලාකාර ජ්‍යෙෂ්ඨයකුගේ දුවක් දෙවඟනක බඳු වූ රූ ඇත්තී ය. රජක් හට අග බිසෝ වන රූ ඇත්තී ය. උතුම් වූ ස්ත්‍රීලක්‍ෂණ ඇත්තී ය. ඕතොමෝ සොළොස් හැවිරිදි අවස්ථාවෙහි පැසක් අතින් ගෙන මල්වත්තට මල් කඩා යන්නී කොමු පිඩු තුනක් හැරගෙන ඒ මල් කඩන පැසෙහි ලා ගෙන මල්වත්තෙහි දී කමි යි සිතාලා ඇතුළු නුවරින් පිටත් වලා කුඩා කෙල්ලන් ගණනක් හා සමග යමින් සිටියා ය.

එ කල කරුණානිධාන වූ මාගේ බුදුරජාණන් වහන්සේ අරුණෝද්ගමන වේලෙහි “අද කවර ස්ත්‍රී පුරුෂයක්හට ශක්‍රසම්පත් බ්‍රහ්මසම්පත් මාරසම්පත් සිටුසම්පත් රජසම්පත් දෙවාලම් දෝ හෝ”යි බලා වදාරා මේ කුමාරිකාවට එදා වන අභිවෘද්ධියක් දැක ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ ආදි වූ පන්සියයක් පමණ ශ්‍රාවක ගණයා පිරිවරා සවණක් රසින් දිලිහි දිලිහී වැඩ ඒ කුමාරිකාව අභිමුඛයෙහි පෙනී ගියහ. එ වේලෙහි ඕතොමෝ බුද්ධාලම්බන ප්‍රීතින් මත් ව “බුදුන්ට කුමක් පිළිගන්වාපියම් දේ හෝ”යි සිතා අනික් කිසි දෙයක් නො දැක තමාගේ පැස තුබූ කොමුපිඬු තුනට අතට හැරගෙන “බුදුහු මේ පිළිගන්නා සේක් දෝ හෝ යි නො පිළිගන්නා සේක් දෝ හෝ” යි සිත සිතා භය ඇති ව නැමි නැමී ළඟට ගියා ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඈ කෙරෙහි කළා වූ මහා කරුණාවෙන් මරම් රජුන් විසින් දෙන ලද ශෛලපාත්‍රධාතුව නමා පැලූ සේක. එ වේලෙහි ඒ කුමාරිකාව කොමුපිඬු තුන පිළිගන්වාලා මඬල බල බලා සතුටු සතුටු ව සඳරස් දුටු කෞමදයන් සේ පින පිනා සිටියා ය. එ වේලෙහි බුදුහු සිටියාවූ කුමාරිකාව දැක ඈට එම දා ම වන වැඩක් දැක “මාගේ ශාසනයෙහි මතු මෝතොමෝ ඉතා වල්ලභවෙයි” සිතා සිනාවක් පහළ කළ සේක.

බුදුන්ගේත් සිනා ඇද්දැ යි යතහොත්; සෙසු සත්ත්‍වයන් සේ හඬගා වේව යි කට දල්වා වේව යි බුදුන්ගේ සිනා නැත. බුදුන්ගේ සිනාවක් උදෙසා ලෝවැඩකට කාරණයෙක් ඇත් නම් එ වේලෙහි සිනාවක් පහළ කෙරෙයි සිතා වදාළ කල එකෙණෙහි “කිරි මුහුදින් දිවු මහ රළ සතරක් සේ, ප්‍රවාල සාගරයෙන් ඉස් නගා නික්මුණා වූ හැළි වූ දිව්‍යනාගරාජයන් සතරදෙනකු සේ, බුදුන්ගේ සතර දන්ත ධාතුයෙන් තනයෙකින් දිවූ කිරිපිහිරි සතරක් සේ සුදු බුදුරස් කඳ සතරෙක් පිටත් ව ශ්‍රී මුඛය තුන් තුන් වාරයෙහි ආවර්තනය කොට දොළොස් මඬුල්ලක් දක්වාලා ‘අනවතප්තයෙන් දිවු සතරමහා ගංගාව තුන් තුන් වාරයෙහි විල පැදකුණු කොට ඒ ඒ දිගින් දිවුවා සේ’ මාගේ සර්වඥ නමැති මහා අනවතප්තයෙන් දිවූ බුදුරස්කඳ සතර සතරදිගින් ගොස් අහස්කුස පැන නැඟී සක්වළ ගබ පුරා අකනිටා බඹලොව ගැසී නැවත බුදුන් කරා ම දිව අවුදින් ‘රජුගේ නියෝගයෙන් ඒ ඒ දිග්හි දිව ගිය ගිය දෙස පරසතුරන් ජයගෙන නැවත අවුදින් රජුගේ ගෙට වදිනා සතර මහා යෝධයන් සේ, ඒ බුදුරස් කඳ සතර ද ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුඛයට ම වැද අන්තර්ධාන වෙයි. මේ ආකාරයෙන් භික්‍ෂූහු “බුදුහු සිනා පහළ කළ සේකැ”යි දනිති. එ වේලෙහිත් ස්වාමි දරුවෝ ඒ කුමාරිකාව මුහුණ බලා මෙසේ ම සිනා පහළකොට වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි! බුදුහු නම් අකාරණයෙක සිනා නො පහළ කරන සේක. කවර කාරණයෙකින් සිනා පහළ කළ සේක් දැ”යි විචාළ සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ “ආනන්‍දය! මේ කුමාරිකාව මට මේ දුන්නා වූ කොමුපිඬු දානයාගේ විපාකයෙන් අද සවස මෙම නුවර කොසොල් රජ හට අගමෙහෙසින් බිසෝ වෙයි. මේ කාරණය සිතා සිනා පහළ කෙළෙමි”යි වදාරා ඇතුළු නුවර සිඟා වන් සේක.

එ වේලෙහි කුමාරිකාවෝ බුදුන් වදාළ තෙපුල් අසා “බුදුහු නම් ඒකාන්ත තෙපුල් ඇති සේක. කිමෙක් දෝ හෝ රජ්ජුරුවන් අද වකට මෙනුවර ත් නැති වුව. කෙසේ වූ විස්මයක් දෝ හෝ”යි සිත සිතා මල්වත්තට පලා ගොස් “රජුට අගමෙහෙසින් වෙති”යි කී බසට මත් ව හඬගා ගී කිය කියා මල් කඩන්නී ය.

පසේනදි කොසොල් රජ්ජුරුවන් පියාණන් මහකොසොල් රජ්ජුරුවන් දියණියෝ රජගහා නුවර බිම්සර රජ්ජුරුවන් කෙරේ වැස අජාසත් කුමරු වැදූහ. අජාසත් කුමර දෙවිදතුන්ගේ අසත්පුරුෂ සමවායයෙන් පියරජහු මරා රජය ගත. මහකොසොල් රජ්ජුරුවෝ දියණියන්ට දායාද පිණිස දෙනුවරට අතුරෙහි සැවැත් නුවරට හිමි දනව්වක් දුන්හ. පසුව පසේනදි කොසොල් රජ්ජුරුවෝ “සුහුරබන්‍ධුනුවන් මැරූහ”යි බෑණනුවන් කෙරෙහි කළ කෝපයෙන් නැඟනියන් සතු දනව්ව නමා ගත්හ. අජාසත්කුමර එ පවත් අසා තමා ත් මහබල ඇති හෙයින් ඒ දනව්වෙහි අය බලාත්කාරයෙන් ගෙන්වයි. කොසොල් රජ්ජුරුවෝත් බල සෙනඟ යවා බලාත්කාරයෙන් ගෙන්වති. එ කල දෙමයිල් රජුන්ගේ මහා යුද්ධයෙක් විය. සමහර දවසෙක අජාසත් කුමර පැරද පලා යෙයි. සමහර දවසෙක කෝසල රජ්ජුරුවෝ පැරද පලා යෙති. එ දවස් ද කෝසල රජ්ජුරුවෝ මහසෙන් සමග ගොස් බෑනනුවන් හා යුද්ධ කළහ.

ඒ අජාසත් කුමර උක්කුටිකයෙන් හිඳ අටළොස් රියන් පැන පියන බල ඇතියේ ය. කඩුව හා සමඟ මහ අඩනයක්[1] අතින් හැරගෙන කෙළින් සිට අසූරියනක් පැනපියන බල ඇතියේ ය. එසේ හෙයින් මයිල් රජහට තමාගේ බල පවිමි යි සිතාලා කඩුව හා අඩනය ගෙන කොසොල් සෙනඟ මැදට පැන කෙහෙල්කඳ පොලුගන්නා සේ මයිල් රජහුගේ බලයෝධයන් සිය දහස් ගණන් පොලු ගෙන පී ය. එ වේලෙහි සත්කෙළක් පමණ ඇති මහ කොසොල් සෙනඟ රජ්ජුරුවන් නො බලා ම ගිය ගිය අත බිඳී දිවපීහ. කොසොල් රජ්ජුරුවෝ ද අසකු පිටට පැන නැඟීලා සැවැත්නුවරට ම දිව එන්නාහු ඒ මල්වත්තෙහි අඬගා ගී කිය කියා මල් කඩන ඒ කුමාරිකාවගේ ශබ්දය අසා ඇගේ පින්බලයෙන් ම ඈ කෙරෙහි ලෝභ උපදවා අසුපිටින් ම ඒ මල්වත්තට දිව ඈ සිටි තෙනට ම ගොස් වැද ගියහ.

එ වේලෙහි කුමාරිකාවෝ රජ්ජුරුවනුත් හැඳිනලා බුදුන් වදාළ වචනයත් සඳහන් කොටලා “ඒකාන්තයෙන් අද මේ රජහුට අග මෙහෙසින් වෙම් ම ය”යි සිත සිතා රජහු කෙරෙහි භය නො කොට පැන පලා නො ගොසින් සිනා සිසී වැඳ සිට අසුගේ කඩියාලම අත ගසාලා අසු අල්වාගත. එවේලෙහි රජ්ජුරුවෝ “තෝ කවරෙක්හි දැ”යි විචාරා “මම මාලාකාර දුවකිමි”යි කීකල “අස්වාමිකයෙහි ද, සස්වාමිකයෙහි දැ”යි විචාරා “අස්වාමිකයෙමි”යි කී කල අසුපිටින් බැස “අස්පිටින් දිව විඩායෙමි. මඳක් නිදාපියනු කැමැත්තෙමි. මඳක් තෝ මෙසේ වැදහිඳැ”යි කියාලා ඇගේ ඇකයේ හිස තබාගෙන සැකයක් නැතිව ම මඳකලක් සැතපී විඩා සන්හිඳුවා ගෙන නැගී සිට එම අසුපිට ඒ කුමාරිකාවන් හිඳුවා ගෙන රජගෙට පලාගොස් නැවත ඈ දෙමවුපියන්ගේ ගෙට ම යවා එ වේලෙහි ම මඟුල් රථය යවා මවුපියන්ට බොහෝ සත්කාර කොට ඇය රජ පෙළහරින් ගෙන්වාගෙන බොහෝදෙනා මධ්‍යයෙහි රුවන්ගොඩක් පිට සිටුවා අභිෂේක කොට අගමෙහෙසින් කළහ.

ඒ කුමාරිකාවෝ මල්කඩන තෙන දී දුටු හෙයින් මල්ලිකා නම් ලදහ. කොසොල් රජහට අගමෙහෙසින් වූ හෙයින් කෝසල මල්ලිකා දේවි යයි මේ නමින් ප්‍රසිද්ධව පන්සියයක් පුර ස්ත්‍රීන්ට නායක වූ රජ්ජුරුවන්ට ප්‍රිය ව මන වඩා වසන්නාහු බුදුන් නිසා තමන් අගමෙහෙසින් වූ බව තමන් ම දන්නා හෙයින් තුණුරුවන් කෙරෙහි මහත් වූ සැදෑ ඇතියහ. දවස් පතා දහස්ගණන් පරිත්‍යාග කොට ආනන්‍දබෝධි ආදියෙහි මහත් වූ පූජා කරවා බොහෝ වූ පින් රැස් කළාහු ම ය.

මෙසේ තමන් වහන්සේ දැක සිත පහදවා කොමුපිඩක් පමණ දන් දීලු මාලාකාර දූන්ට පවා එම දා මෙසේ අගමෙහෙසින් තනතුරු දෙවා බුදුබල පෑ ඔවුන් විසින් කරන ලද මහත් වූ පූජා සත්කාර ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වනසේක.

  1. මහ අඩයක්-ඇතෑම.