තව ද: එම සැවැත් නුවර උත්පලගන්‍ධ නම් සිටාණන් කළ ප්‍රතිපත්ති පූජා නම් කවර? යත්;
මෙයට කප් ලක්‍ෂයෙකින් යට පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් දිළිඳු වූ උපාසක කෙනෙක් තුණුරුවන් කෙරෙහි පැහැද ගොස් බණ අසන දවසෙක බණ අස අසා ධර්මාලම්බන ප්‍රීතින් මත්ව සාධුකාර දුන්හ. ඒ කුශල මූලයෙන් සතර අපාය ඇසින් නො දැක කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයෙහි ඇවිද නොයෙක් සියදහස් ගණන් වාරයෙහි ශක්‍ර සම්පත්, චක්‍රවර්ති සම්පත් ආදි වූ නොයෙක් දිව්‍ය මනුෂ්‍ය සම්පත් අනුභව කොට අප බුදුන් සමයෙහි මෙම කොසොල් රජහුගේ සැවැත් නුවර සතළිස් කෙළක් පමණ ඇති ඇති සිටු කුලයෙක උපන්හ. ඔවුන් බැන නැඟි කල මුඛයෙන් දිවු මහනෙල්මල් සුවඳ ගේ කුස පුරාගෙන ද්වාරාන්තරයෙන් පිටතට නික්මෙයි. එසේ හෙයින් ඔහු උත්පලගන්‍ධ නම් සිටානෝ ය යි මෙනමින් ප්‍රසිද්ධ වූහ.
කලෙකින් ඒ සිටාණෝ බුදුන් කරා ගොස් බණ අසනුයේ ගිහිගෙයි ආදීනව හා බුදුසසුන් වැද මහණවීමෙහි අට මහා විපාක අසා ගිහිගෙයි කලකිරුම් ඇතිව සතළිස් කෙළක් පමණෂන හා සිටු සැපත හැරපියා සසුන් වැද මහණ ව නොබෝ දවසෙකින් විදර්ශනා වඩා රහත් ව, එතැන් පටන් උත්පලගන්ධ මහ තෙරුන්වහන්සේ ය යි මෙ නමින් ප්‍රසිද්ධ ව බුදුසසුන් නමැති මහා සරසියෙහි පැන නැඟී ප්‍රබුද්ධ වූ උත්පල රාජ්‍යයක් සේ ඉතා ශෝභාවත් වූ සේක.
එ කල පසේනදි කොසොල් රජ්ජුරුවෝ සිටාණන් මහණ වූ බවු අසා “අස්වාමික භාණ්ඩු නම් රාජසන්තක ය” යි කියා සිටාණන්ගේ සිටු සැපතත් ගෙන්වාගෙන උන්ගේ අග්‍ර වූ සිටුදියණියන් අසාධාරණ වූ රූ ඇති හෙයින් තමන් ගේ අන්තඃපුරයට ගෙන්වා ගත්හ. එ කල පන්සියයක් පමණ මහනෙල් මල් කලබ් ගෙනවුත් මාලාකාරයෝ රජ්ජුරුවන්ට දුන්හ. රජ්ජුරුවෝ පිරිවරා සිටි ඒ සිටුදියණියන් ආදි වූ පන්සියයක් පුර ස්ත්‍රීන්ට දුන්හ. ඒ සිටුදියණියෝ තමන්ට දුන් මහනෙල්මල් කලබ අතින් ගෙන ආඝ්‍රාණය කොට මහනෙල්මල් සුවඳින් පූර්වයෙහි තමන්ගේ සිටාණන් සඳහන් කොට “මාගේ ප්‍රිය වල්ලභයාගේ මුඛ සුගන්‍ධය වනැ”යි සන්තුෂ්ට ව, ප්‍රීතීන් මත් ව, සිි එළවාගත නොහී ඉතා මහත් කොට සිනා සී දෙවනුව “එ වැනි මාගේ ස්වාමිහුගේ වියෝගයට පැමිණියෙමි” යි සිත සිතා ශෝක කරන්නී මහත් කොට හඬාපුව.
රජ්ජුරුවෝ මේ කාරණ දෙක ම දැක එ බිසොවුන් ළඟට කැඳවා “තී මා බල බලා හින්ද දී භය නැති ව සිනාසුනෙන් ඇයි ද, දෙවනු ව ඇඬුයෙත් ඇයි ද, මට නො සඟවා කිය”යි භය ගන්වා විචාළහ. එවේලෙහි බිසොවු “ස්වාමීනි! අනික් වරදක් නිසා සුනුයෙම්-ඇඬුයෙම් නො වෙමි. මාගේ පූර්වයෙහි රක්‍ෂා කළ ස්වාමිහුගේ මුඛයෙහි සුගන්‍ධ ය. මේ මහනෙල්මල් සුවඳ අසා සිහි කොට ඔබ කෙරේ ගත් ප්‍රේමයෙන් සිපීමි. ඔබගේ වියෝගයෙන් අඬාපීමි. අනික් සිතක් සිතුයෙම් නො වෙමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ ‘තී කියන්නේ අනිකෙක් ම ය. මිනිසුන් මුඛයෙහි ත් මහනෙල්මල් ගඳ ඇද්දැ’යි කියා නො ගිවිස නැවත කිපියහ. බිසොවු තව ද භය නැති ව කියන්නාහු “මා කී බස් නො ගිවිස්නා සේක් වී නම් ඔබ දැන් බුදුන් කෙරේ මහණ ව දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. බණ කීමෙහි ඉතා දක්‍ෂ සේක. ඔබ අතින් බණ අසන කල ඔබ මුඛයෙන් හමන මහනෙල්මල් සුවඳ නො ඇසූ සේක් වී නම් පසුව මට කැමැති වධයක් කළ මැනැව”යි කීහ.
රජ්ජුරුවෝ එ වේලෙහි “ඈ කීයේ කාරණම ය”යි ගිවිස දෙවනදා උදාසන බුදුන් හා, ඒ උත්පලගන්‍ධ මහතෙරුන්වහන්සේ හා ඇතුළුව පන්සියයක් දෙනා වහන්සේ පවරාගෙන රජගෙට වඩාගෙන අවුත් වළඳා අන්තයෙහි රජගෙය කසායෙන් පිරිබඩ ගෙන සුවඳ බඩු පිටත් කරවා “සුවඳ මලක් නො ගෙන, නො පැළඳ, සුවඳ ඇඟ නොගල්වා, ඉස් ශෝධා නා හැම දෙන ම පිරුවට හැඳ බණ අසන්නට එව”යි සියලු නුවර වැසියන්ට නියෝග කොට, තුමූ ද එසේ ම සුවඳ ඇඟ නොගල්වා, සුවඳ මල් නො පැළඳ ශුද්ධසාටකයක් හැඳ යටිමාලෙහි ධර්මාසනයක් පනවා සිටියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ රජුගේ අදහස් දැන “රජ්ජුරුවන්ගේ ශඞ්කාව දුරු කෙරෙමි”යි සිතා සිතා උන්වහන්සේ කැඳවාලා “උත්පලගන්‍ධ ය! තාගේ පුරාණ දුතියිකාවගේ භය හරවා තෝ ම අද බණ කියව. මම තා අතින් බණ අසමි”යි වදාළ සේක.
එ වේලෙහි මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ අවසර ඉල්වාගෙන සිංහරාජයක්හුගෙන් ප්‍රසාද ලත් අත්පොව්වකු සේ නිර්භීත ව ධර්මාසනයට පැන නැඟී තුන්යලක් නමස්කාරය කියා ධර්ම දේශනාවට පටන් ගත් සේක. එ කෙනෙහි මහ තෙරුන් වහන්සේ බැණ නැඟී බස හා සමග ම මුඛයෙන් නික්මුණා වූ මහනෙල්මල් සුවඳ හැම රජගෙයි යටිමාල පුරාගෙන මහදොරින් පවත් ව හමා බස්නට පටන්ගත. එවේලෙහි රජ්ජුරුවෝ ඉතා සන්තුෂ්ට ව බණ අසා අන්තයෙහි බුදුන් කරා ගොස් “ස්වාමිනි! මේ කෙසේ වූ විස්මයෙක් ද? මනුෂ්‍යයන්ගේ මුඛයෙන් මහනෙල්මල් සුවඳ හමා බස්නට කාරණ කිම් දැ”යි විචාළහ.
සද්ධම්මදෙසනා කාලෙ - සාධු සාධූ‘හි භාසතො
මුඛතො වායති ගන්‍ධො - උප්පලං‘ව යථොදකෙ-යි.
යන මේ ගාථාව වදාරා “මහරජ! මේ ස්ථවිරතෙම මෙතෙනට කප් ලක්‍ෂයකින් යට උපන් පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් දිළිඳු කුලයෙක ඉපැද බොහෝ සේ ධර්මමණ්ඩලයට ගොස් සැදෑ ඇති ව බණ අසයි. බණ අස අසා ඉඳ ධර්මාලම්බන ප්‍රීතින් බොහෝ සේ හැමදෙනාට පළමු පළමු ව සාධුකාර දිදි බණ ඇසී ය. ඒ කුසල මූලයෙන් කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි නරකාදි දුක් නො විඳ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයෙහි අප්‍රමාණ වූ ශ්‍රී සම්පත් ලදහ. මෙතුවක් කල් මුළුල්ලෙහි ම මහනෙල්මල් සුවඳ ගඳ මුව ලද, දැන් මාගේ මේ බුද්ධෝත්පාදයෙහි මේ සැවැත් නුවර ඉපැද, මාගේ සසුන් වැද මහණව, එම කුශල මූලයෙන් ම අමා මහ නිවන් දැක සංසාර සාගරයෙන් ගොඩට නැංගේ වේ ද”යි වදාරා රජ්ජුරුවන් ආදි වූ බොහෝ රජපිරිස සාධුකාර දෙවා බුද්ධාසනයෙන් පැනනැඟී ආර්‍ය්‍යගණයා පිරිවරා ජේතවනාරාමයට ම වැඩිසේක.
එ වේලෙහි රජ්ජුරුවෝ ඒ සිටුදේවීන් කැඳවා “තොප නිසා මට බොහෝ වවූ සද්ධර්මප්‍රීති වී ය”යි කියා එදා උන්ට ද බොහෝ සැපත් දී එතැන් පටන් තමන් කෙරෙහි වල්ලභ ස්ත්‍රී කළහ.
මෙසේ තමන් වහන්සේගේ සද්ධර්මප්‍රීතින් සාධුකාර දුන්නා වූ සත්‍වයන්ට පවා මේ සා නිවන් සැපතක් දී විශේෂ වූ සම්‍යක් ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත්, එසේ වූ ප්‍රතිපත්ති පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.