සුමන සාමණේරයන් නා රජු දමනය කිරීම

star_outline

මේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ එක් සමයෙක දනවු සැරිසරා ඇවිදනාසේක් මුණ්ඩ නම් නියම්ගමට සිඟා වැඩි සේක. එහි මහාමුණ් නම් සිටාණ කෙනෙක් වූහ. ඔහු තෙරුන් වහන්සේ පවරාගෙන වස් තුන්මසක් දන් දී වස්අන්තයෙහි පිළිතෙල් සහල් උක්සකුරු ආදිය ගෙනවුත් “ස්වාමීනි! මේ වස්වාසික ලාභය පිළිගත මැනැවැ”යි කීහ. තෙරුන් වහන්සේ උන්ගේ පුතණුවන් මහණ කරවා ගන්නා කැමති ව “උපාසකයෙනි! මා සමීපයෙහි කැප පිළිගන්වාලන සාමණේර කෙනෙක් නැත. එසේ හෙයින් තිලින් මට කම් නැතැ”යි නො පිළිගත් සේක. සිටාණන්ගේ මහා සුමන ය-කුඩා සුමන ය යි පුත් කුමරුවෝ දෙදෙනෙක් වූහ. එසේ හෙයින් සිටාණෝ “එසේ වී නම් ස්වාමීනි! මාගේ මේ මහා සුමන නම් පුතණුවන් මහණ කරවා ගත මැනැවැ”යි කියාලා පාවා දුන්හ. තෙරුන් වහන්සේ ඔහුගේ හේතුසම්පත් නැති සේ දැක “මහාසුමනයාගෙන් මට කම් නැතැ”යි වදාළ සේක.

සිටාණෝ “එසේ වී නම් ස්වාමීනි! මාගේ මේ සත් හැවිරිදි කුඩා සුමන නම් පුතණුවන් මහණ කරවා ගත මැනැවැ”යි කියාලා පාවා දුන්හ. තෙරුන් වහන්සේ තමන් වහන්සේ එ ගමට උන් උදෙසා ම වැඩි හෙයින් “යහපතැ”යි ගිවිස එම දා ම උන් මහණ කරවමි” යි සිතා කරයක් ගෙන්වා ගෙන කුමාරයන් ළඟට කැඳවා ඉසකේ කපන සේක් පළමුකොට කුඩිම්බිය කපා ඒ කෙස්වැටිය කුමාරයන් අතට දීලා “දරුව! තෙල බල බලා සිටුව”යි කියාලා තමන් වහන්සේ උන් ඉසකේ කපන සේක. සුමන කුමාරයෝ එ කෙස්වැටි සුග බල බලා “මේ මාගේ ආදි ඉස් මුදුනෙහි තුබූයේ ය. දැන් මෙ ම විගස ම කුණප භාවයට පැමිණියේය. මින් එක ලොමකුත් කන බොන භෝජනයෙක වැටී ගියේ නම් බඩ අඹරයි. පිළිකුල් කෙරෙයි. මිනිස් ආත්මය පිළිකුල් නියාය”යි අශුභ ලකුණු උපදවා භාවනා කරන්නාහු ඉසකේ කපා නිමවීම හා සමගම සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක.

එ වේලෙහි තෙරුන් වහන්සේ සත්හැවිරිදි ඒ සුමන කුමාරයන් රහත් වූ පසු මහණ කරවා ගෙන එදා පටන් දෙපෝයක් මුළුල්ලෙහි දෙමවුපියන් විසින් කරන ලද මහා පූජා විඳ පසුව දා බුදුන් දක්නට යම්හ යි කියා උන්වහන්සේගේ දෙමවුපියන්ට කියාලා සාමණේරයන් වහන්සේ කැඳවාගෙන සැවැත් නුවර දිසාවට ආකාශයෙන් වඩනා සේක් හිමාලය වනයෙහි රමණීය වූ එක් ගල්ගුහායෙක සැතපුනු සේක. එදා රාත්‍රීභාගයෙහි තෙරුන් වහන්සේ අවකාශයක් නැති ව සක්මන් කරන ලද උදරවාතයක් ඇති ව මහත් වූ වේදනා විය. සුමන සාමණේරයන් වහන්සේ ගුරුන් වහන්සේට දුක් මහත් සේ දැක කම්පිත වූ සිත් ඇති ව “ස්වාමීනි! පෙර මේ රුජාව ගත් කල කුමන බෙහෙත් වැළඳූ කල ගුණ වේදැ”යි විචාළහ. එ බසට තෙරුන් වහන්සේ “සාමණේරයෙනි! හිමාලය වනයෙහි අනවතප්ත නම් විලෙක ඇත. එයින් පැන් වැළඳූකල ගුණ වේ ම ය”යි වදාළ සේක. ඉන් පැන් ගෙනෙම් දැ යි සාමණේරයන් වහන්සේ කී සේක. ශක්ති ඇත්තෙහි ද සුමන ය යි ගුරුන් වහන්සේ වදාළ කල “ඒ මට බැරි නො වෙයි ස්වාමීනි”යි කියා සිටිසේක.

එ වේලෙහි ගුරුන් වහන්සේ “සුමනය! පැන් ගෙනෙන්නට පොහොසත් වී නම් අනවතප්තවිල පන්නක නම් දිව්‍යනාගරාජයෙක් අරක් ගෙන වෙසෙයි. එ මහත් වූ ආනුභාව ඇත්තේ ය. ඔහුගේ ආනුභාවයෙන් ඒ විල කල් නො වරදවා ම වැසි වස්නේ ය. එ මා හා පුරුදු ය. මා ලෙස බව ඕහට කියාලා මට බෙහෙත් පිණිස පැන් කළයක් වහා ගෙනෙව” යි වදාළ සේක. එ කෙණෙහි සුමන සාමණේරයන් වහන්සේ ‘යහපතැ’යි ගිවිස කළයක් එක අතකින් ගෙන ආකාශයට පැනනැගී පන්සියයක් යොදුන් පමණ තැන් වැඩ ඒ අනවතප්තවිලට පැමිණි සේක. එ දවස් වනාහි ඒ පන්තක නම් නාගරාජයා ලක්‍ෂගණන් දිවනසින් පිරිවරා ඒ අනවතප්තයෙහි ජලක්‍රීඩා කෙරෙමින් සිටියේ ය. සාමණේරයන් වහන්සේ ආකාශයෙන් වඩනා දැක කිපී “මෙ මුඩු මහණු තෙමේ ඉතා ලදරු ය. තෙමේ තමා බැව් නො දැන මා ඉස පියපස් වගුරුවන්නා සේ ආකාශයෙන් එයි. කළයකුත් අතින් එල්වාගෙන එයි. මාගේ විලින් පෑනක් සොයා එන සැටි ය. මෝහට පැන් අද නො දෙමි”යි දියකෙළි ඇපියා මහත් වූ නා වෙසක් මවාගෙන යෙළසියයක් යොදුන් වට ඇති අනවතප්තවිල සිසාරා දරණ ලාගෙන ඌරා ළිඳෙක මතු මතුයෙහි ඌරා කබල් සිටගත්තා සේ, වටා මහපවුරක් ලූවා සේ, නොයෙක් පටින් දරණ ලාගෙන කළයක් පැන් පියනකින් වැසුවා සේ, එණ ගබින් ඒ සා විල පැන් වසාගෙන අතක් පොවාලන අවකාශයක් නො පා කිපි කිපී රතැ‘ස් බමව බමවා කුඹුරු සම් මඩනා සේ සුස්ම සුස්මා වැද හොත්තේ ය. ඉක්බිති සුමන සාමණේරයන් වහන්සේ නාගරාජයාගේ ආකාරය දැක “මොහු මට කිපී අහංකාර කොට හොත් සැටි ය”යි දැන ආකාශයෙහි සිට:-

සුණොහි මෙ නාගරාජ! - උග්ග තෙජ මහබ්බල,

දෙහි මෙ පානීයඝටකං - භෙසජ්ජම්හි ආගතො-යි.

යන මේ ගාථාව වදාරා පැන් ඉල්වූ සේක. නාගරාජයා එ බසට සාමණේරයන්ට කිපී “බල මහණ පැටව! මෙ තෙනට නැගෙනහිර දිග්භාගයෙහි ගඞ්ගා නම් ගඞ්ගාවෙක් ඇත. එහි සියලු ජලය ගොස් මහමුහුද ම වැගිර යෙයි. උවමනා වී නම්, තට කාර්‍ය්‍ය වී නම්, එ ගඟින් පැන් ඇරගෙන යව. මාගේ විලින් තට පැන් බින්දුවකුත් නො දෙම්මය”යි කී ය. එ බසට සාමණේරයන් වහන්සේ “මේ නාගරාජයා අද මට ගුණයෙන් පැන් නො දේ ම ය. මොහු නො කැමති කරවා වී නමුත් බලයෙන් ම අද පැන් ගෙන යෙමි”යි සිතාලා නාගරාජ ය! ශාක්‍යසිංහ වූ අප මහා ගෞතම බුදුන්ගේ දෙබෑයන් දරු මල් දිවැස් ඇත්තන් කෙරෙහි අග්‍ර වූ, දෙව්ලොව මිනිස්ලොව ඉතා ප්‍රසිද්ධ වූ, තමන් වහන්සේට එකබත් කෙනෙස්සක් පමණ ලාලූ සිඟන්නන් පවා දෙව්ලොව උපදවා ශක්‍රයා හා සම වූ, සම්පත් දී ඉන්‍දක නම් දිව්‍යපුත්‍රයා ය යි ප්‍රසිද්ධ කරවා පියන තරම් මහත් වූ ආනුභාව ඇති, ඒ අනුරුද්ධ නම් මහතෙරුන් වහන්සේ මාගේ ගුරුන් වහන්සේ ය. මම උන් වහන්සේගෙන් කරුණා ලදින් ඔබ කෙරෙහි වසන එක්තරා එක් සත් හැවිරිදි සාමණේර ළදරුයෙකිමි. වැලිදු මා බාල තැනැ යි නො සිත. තා සේ වූ නයින් ලක්‍ෂයකුත් මාගේ මිට සඟවාගෙන පරසක්වළ ගසා පියන තරම් ආනුභාව ඇතියෙමි. හිරි මඬල-සඳ මඬල ම පාපිස්නා බිසිකඩ සේ මා පාවිටට ගෙන්වා ගනුත් පොහොසත්මි. මේ පොළොව පරඬලා පතක් සේ ඔසවාගෙන මෙරගල මත්තෙහි තබාලා වමතින් ඔසවාගෙන පත්කුඩයක් සේ අතින් ගෙන සක්මන් කරන භික්‍ෂු කෙනෙකුන් සේ සක්මන් කරත් පොහොසත්ම තාගේ මේ පණස් යොදුන් මහවිලෙහි පැන් මාගේ එක අල්ලෙක් උකාගෙන තට පැන්පෙතකුත් නො තබා හැර ගෙන යත් පොහොසත්මි. තට ත් නායක වූ තාගේ ශක්‍ර දේවේන්‍ද්‍රයා එවාලා මෙම විලින් පැන් ගෙන්වා ගනිතත් පොහොසත්මි.

අද තෝ මට අහංකාරයක් කෙළෙහි නම් බුදුසසුන් වන් සත් හැවිරිදි බාලදරුවන්ගේ පවා මෙසේ වූ මහිම ඇතැ’යි කියා මතු පස්වාදහසක් කල් මුළුල්ලෙහි ධර්මකථිකයන් ලවා ම තුඩ තුඩ ස්තුති කරවා බොහෝ දෙනා විස්මයපත් කරවම් ම ය. ගිනි මට ගිනි නොවෙයි. දිය මට දිය නො වෙයි. ගල් මට ගල් නො වෙයි. යක්කු මට යක්කු නො වෙති. දැඩියෝ මට දැඩියෝ නො වෙති. නයි මට නයි නොවෙති. තටත් දැඩියන් අඳුනෙම් ම ය. තටත් වඩා ආනුභාව ඇති තව ද සියදහස් ගනන් නයින් අඳුනෙම් ම ය. තෝ මට අහංකාර නො කර, මාගේ ගුරුන් වහන්සේ අද මා ලවා ම පැන් ගෙන්වන සේක් ම ය. මම ද පැන් කළයක් ගෙන යෙම්ම ය. පසු ව හිඳ ලජ්ජා නොව දැන් පැන් කළයක් දීපි ය” යි දෙවනුව වදාළ සේක. එ බසට නාගරාජයා දණ්ඩෙන් ගැසුවා සේ කිපී “මහණ! අද තාගේ බල බලම් ම ය. මම ද පැන් නොදෙම් ම ය. සූරයෙහි වී නම් පැන් ගෙනගොස් බලනැ”යි කී ය. “එසේ වී නම් තෙලෙ! බස තා සිත තබ”යි මෙසේ ම තුන්විටක් ප්‍රතිඥා හැරගෙන “මම එකලාව පැන් ඇරගෙන ගියෙම් නම් අඳුරු ගෙයි නැටුවා සේ අප්‍රසිද්ධ වෙයි. බුදුන් දරුවන්ගේ බල බොහෝ දෙනාට දක්වාලා, සියලු සතුන් තුණුරුවන් කෙරෙහි පහදවාලා, මොහුගේ මාන භඞ්ග කොට පැන් ගෙන යෙමි”යි සිතාලා එ කෙණෙහි ආකාශස්ථ දෙවියන් කරා ය, සතර වරම් දෙවිරජුන් කරා ය යි මකුළු හුයක් දා නො යන ඇසිල්ලෙහි වැඩ ඔවුන් හැම දෙනාට කියාලා.

එයින් අසුරුසනකින් ශක්‍රභවනයට මැඩ ශක්‍රයන් ආදි වූ දෙවියන්ට කියාලා, එයින් සුස්මක් එළා නො එන ඇසිල්ලෙහි වැඩ සුයම් වැසි දෙවියන්ට කියාලා. එයින් ඇසිපියක් එළා නොඑලවන ඇසිල්ලෙහි වැඩ සන්තුෂිතයෙහි දෙවියන්ට කියාලා. එයින් පැනක් බී නො පියන ඇසිල්ලෙහි වැඩ නිර්මාණ රතියෙහි දෙවියන්ට කියාලා. එයින් විදුලියක් ගසා අන්තර්ධාන නො වන ඇසිල්ලෙහි වැඩ පරනිර්මිතවශවර්තියෙහි දෙවියන්ට කියාලා එයින් දික් කළ අතක් වක් නොකරන තුරු බඹලොවට වැඩ අරූතල අසංඥතලයන් හැර පසළොස් බමලොව බඹුන් කරා වැඩ මේ සියලු දෙවියන් තමන් වහන්සේ දැක “ඇයි ස්වාමීනි! වැඩි සේක් නැ”යි කී කල “අනවතප්ත විල පන්නක නම් නාගරාජයා හා මා දැන් යුද්ධයෙක් වෙයි. තෙපි තෙපි එ තෙනට අවුදින් බුදුසසුන් වැද මහණ වූ සත් හැවිරිදි බාල දරුවෝ ජයගනිද් දෝ හෝ නොහොත් කර්කශ වූ විෂඝෝර නයි ජයගනිද් දෝ හෝ යි හෝ එ තෙන බලා සිටුව”යි කියාලා ඇසිල්ලෙකින් නැවත එම තෙනට වැඩ ආකාශයෙහි නිශ්චල ව වැඩ සිටිසේක.[1]

එ වේලෙහි දිව්‍යබ්‍රහ්මසේනාව ඔවුනොවුන් පරයා දිවගෙන අවුදින් ඒ සා තුන්දහසක් යොදුන් අයම් විතර ඇති හිමාලය වනයෙහි අවකාශ මඳ හෙයින් සූක්‍ෂම වූ වෙස් මවාගෙන නළෙක පුරාලූ රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැති ව අහස්කුස පුරා සිට ගත්හ. මේ මහත් දිව්‍යසේනාව මධ්‍යයෙහි නාගරාජයා අතින් පෙර සේ ම පැන් ඉල්වා වදාළ සේක. පෙර කීවා සේ ම නාගරාජයාත්, “සුරු නම් පැන් හැරගනුව”යි කී ය. මෙසේ තුන්යලක් කියවාගෙන දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවාගෙන ඔහුගේ පනස් යොදුන් පණගබ පිටට බැසලාසත්ගවු සමාරක් දිග ඇති පතුල්දෙකින් ඉක්මන් නොව සක්මන් කරන සේක. සක්මන් කොට කොට දෙවිළුඹෙන් සැරහි සැරහි මැඩ මැඩ ලන සේක. එකෙණෙහි නයි සුස්මක හඬත්, මඩනා වේලෙහි පණ ය සුළං ගන්නා හඬත් අහස් ගිගුම් හා මුහුදු රළගිගුම් හා එක එල්ලයට පැමිණ ගියා සේ ඉතා මහත් ව ඝෝෂා විය. එකෙණෙයි නාග රාජයාගේ පෙණගබ මඩුත් මඩු ත් අස්අස්සෙන් ජලධාරාවෝ තල් කඳ සා ව ආකාශයට ගවු දෙගවු උස නැගෙන්නට පටන් ගත්තාහු ය. සක්මන් කරමින් සිට ම ජලධාරාවට කළය අත්ලෙහි තබාගෙන පැලෑ පැන්කළයක් පුරාගෙන “අප ආ කම් නිපන නාගරාජ ය! අපි යම්හ මොහුගෙන් දුන් පැන ම අප ගත් නියාවට තෙපි තෙපි ත් දෙස් වව”යි දෙවියන්ට ත් කියාලා බ්‍රහ්මාත්මභාවය අන්තර්ධාන කොට මහණ වෙසින් ම නික්මුණු සේක. එ කෙණෙහි දිව්‍යබ්‍රහ්මසේනාව මහත් වූ සාධුකාර පූජා කළාහු ය.

එ කෙණෙහි නාගරාජයා මහත් වූ ලජ්ජා ඇති ව දෙවියන් තමාට කරන වෙසෙසුම් ඉවසාගත නොහී “මෙ මුඬුමහණ තනි ව පැන් ඇරගෙන නො ගොසින් මේ සා වූ දිව්‍යසේනාව මධ්‍යයෙහි මට නින්දා කෙළේ ය”යි කිපී අද ඔහු කටට අත ලාලා හදවත හෝ කඩා දමමි. කෙකුල අල්වාගෙන පරගහට හෝ ගසමි”යි කිය කියා සැරයක් විදපුවා සේ සාමණේරයන් වහන්සේ පසු පස්සෙහි ලුහුබඳවා දිව, සන්හුන් ගමනින් නිශ්චල ව පසු නො බලා වඩනා ස්වාමීන් වහන්සේ හඹාගත නොහේ ම ය.

මෙසේ පැන් ගෙන ගොස් වැඩ ගුරුන් වහන්සේ අතට පැන් පිළිගන්වාලා “වළඳා වදාළ මැනව. ස්වාමීනි”යි ආරාධනා කළ සේක. එ කෙණෙහි ඒ නාගරාජයා දිව දිව අවුදින් “ස්වාමීනි! අනුරුද්ධ මහ තෙරුන් වහන්ස! තෙලෙ පැන් නො වැළඳුව මැනව. නො වැළඳුව මැනව. මහණුන් නම් නුදුන් දෙයක් ඉඳුරා ගත නො හැක්කේ වේ ද, මේ සාමණේරයෝ මාගෙන් නුදුන් පැන් උදුරා ගෙන ගෙනාවාහු ය”යි කී ය. තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ මුහුණ බලා “සබා ද සුමනය”යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ “මොහු මට දුන් පැන් ම ගෙනාමි, පැන් කැප ය, වළඳා වදාළ මැනැවැ”යි කී සේක. මහ තෙරුන් වහන්සේ “රහත් සාමණේරයෝ බොරු නො කියන්නාහු ම ය”යි දැන පැන් වළඳා වදාළ සේක. එ කෙණෙහි රුජාව අන්තර්ධාන වි ය.

ඉක්බිත්තෙන් නාගරාජයා “මේ සාමණේරයෝ බොහෝ දෙවියන් මධ්‍යයෙහි මට බොහෝ නින්‍දා කළාහු ය. මුන්ගේ හදවත හෝ කඩා දමමි. දෙකකුල ගෙන පරගඟට හෝ ගසමි”යි කීය. මහ තෙරුන් වහන්සේ “නාගරාජය! තා සේ වූ නයි ලක්‍ෂයකුත් කෝටියකුත් සාමණේරයන්ට හානියක් කළ නො හෙති. ඔහු මහත් වූ ආනුභාව ඇතියාහ. තෝ නො දොඩා උන් වැඳ ක්‍ෂමා කරවා ගනැ”යි වදාළ සේක. දෙවියන් වෙහෙසන ලජ්ජාවෙන් සිට ගත නොහී ආ බව මුත් නාගරාජයෝත් සාමණේරයන් වහන්සේගේ බල දනිත් ම ය. එසේ හෙයින් වැඳ ක්‍ෂමා කරවා ගෙන “මෙයින් මතු පැනක් උවමනා විට ගැත්තවුට කියා එවා වදාළ මැනැව. ගැති ම ගොස් පැන් පිළිගන්වාලා එයි” කියා සාමණේරයන් වහන්සේට ආරාධනා කොට ලා නාගරාජයා පලා ගි ය. ඉක්බිත්තෙන් මහ තෙරුන් වහන්සේ බුදුන් වැඩහුන් ඒ පූර්වාරාමයට වැඩි සේක.

තෙරුන් වහන්සේ වඩනා බල බලා බුදුහු විශාඛාවන් කැරවූ ඒ මිගාරමාතු නම් මහ පායෙහි මතු මාල්තෙලෙහි වැඩහුන් සේක. එ වේලෙහි සමහර භික්‍ෂූන් වහන්සේ පෙරමගට ගොස් මහතෙරුන් වහන්සේ අතින් පාසිවුරු ගෙන වඩා හිඳුවා පය සෝදවා ඇඟට පවන් සලා ආගන්තුක සත්කාර කරන සේක. පෘථග්ජන සමහර වහන්දෑ සුමන සාමණේරයන් වහන්සේ කරා ගොස් කන්රොඹුව ඇද ඇද හිසකේ අල්වාගෙන සල සලා “කිමෙක් ද? සඟ පැටවාණෙනි, කවර දා මහණ වූ ද?” රෑ රෑ සයින් වැදහොත හෙවු ද? ගමට බඩ නො කකියා ද? තොපගේ ගම දී මෑණියන් තනතුරට වැදලා වක ගසාගෙන නිදන කල සුව ද? දැන් උදකලා ව වැදහෝනා කල සුව ද? යනාදීන් කෙළියට නිසි වෙහෙසුම් බස් කිය කියා රහත් බව නො දැන භය නැති ව ම කෙළිනා සේක. බුදුහු මේ කාරණය දැක “මේ භික්‍ෂූහු නයකුගේ ග්‍රීවය අල්වාගෙන කෙළිනා සත්ත්‍වයන් සේ, මතැ‘තකුගේ දළ අල්වාගෙන කෙළින්නන් සේ, මේ සාමණේරයන් බල නො දැන ප්‍රාතිහාර්‍ය්‍ය නො දැන උන් හා කෙළිනාහු ය. අද ඔහුගේ බල දෙවියෝ ඇම දුටහ. භික්‍ෂුගණයාහට ද ඔහුගේ ආනුභාව අද දක්වමි”යි සිතා වදාළ සේක.

එ කල මහතෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් දැක වැඳ එකත්පස් ව හුන් සේක. බුදුහු උන්වහන්සේ හා කැටි ව පිළිසඳර කථා කොට ලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දය! අද අනවතප්ත විල ජලයෙන් දැන් පාද ධෝවනය කරනු කැමැත්තෙමි. සාමණේරයකු යවා පැන් ගෙන්වව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් සාමණේරයන් රැස්කොට පාලියෙන් සිටුවාලා “ඇවැත්නි! බුදුහු අනවතප්ත දියෙන් පාදධෝවනය කරන සේක. පැන් ගෙනෙන්ට පොහොසත් කෙනෙක් කවුරු දැ”යි විචාරා හැමදෙනාම “අපට බැරි ය, අපට බැරි ය”යි කී කල කෙළවර සිටි සුමන සාමණේරයන් ළඟට ගොස් “අනවතප්ත විලින් පැන් ගෙන ඉස හෙවු දැ?”යි විචාළ සේක. සාමණේරයන් වහන්සේ “බුදුහු මා ලවා පැන් ගෙන්වන සේක් වී නම් ගෙනෙමි”යි කියාලා බුදුන් කරා ගොස් “ස්වාමීනි! අනවතප්ත විලින් මා හා පැන් ගෙන්වන සේක්දැ?”යි විචාර “බල ඇත්තෙහි නම් සුමන ය, පැන් ගෙනෙව”යි බුදුන් වදාළ කල බුදුන් වැඳ සමු ඉල්වාගෙන දෙවනුව ගුරුන් වහන්සේ වැඳලා එ වෙහෙර විශාඛාවන් සාංඝිකකොට කරවා ලැවු සැට සැට කළය පැන් ගන්නා මහදිය කළ සැටින් එක් කළයක් මුව විටින් අල්වා වියළී ගිය ලබුවක් එල්වා ගත්තා සේ එක් අතකින් එල්වාගෙන පක්‍ෂප්‍රහාර කොට ගුවන්කුසට පැන නැඟී හංසපෝතකයකු සේ සියලු භික්‍ෂුඝණයා බල බලා සිටිය දී ආකාශයට පැන නැඟී අනවතප්ත විල දිශාවට නික්මුණු සේක.

නාගරාජයා සාමණේරයන් වහන්සේ දුරදී ම වඩනා දැක චක්‍රවර්තියක්හු දුටු චණ්ඩාලයකු සේ භය ඇති ව පෙර මගට දිව දිව අවුදින් ඔබ අතින් කළ ය දෑතින් ඇරගෙන පැන් කළයක් පුරා තමා කරපිට තබාගෙන “ස්වාමීනි! වැඩවදාළ මැනැව. ගැති ම කැටි ව ගොස් පැන් හැර දීලා එයි” කියාලා නික්මිණ. සාමණේරයන් වහන්සේ “නාගරාජය! මාගේ බුදුහු මා ලවා ම පැන් ගෙන්වනු කැමැති සේක. තෝ සිටැ”යි ඔහු රඳවා පියා පැන්කළය අත්ලෙහි තබාගෙන ආකාශයෙන් වඩනා සේක. බුදුහු දුර එන සාමණේරයන් දැක පෙර කෙළි හැම භික්‍ෂූන් ළඟට කැඳවා “මහණෙනි! රාජහංස ලීලාවෙන් සුමන සාමණේරයා එන ලීලාවක් බලව”යි කිය කියා වැඩඋන් සේක.

ඉක්බිත්තෙන් සාමණේරයන් වහන්සේ වැඩ පැන් කළය එකත්පස් කොට තබාලා බුදුන් වැඳ සිටිසේක. එ වේලෙහි බුදුහු ඔබ ගෙනා පැනින් පය සෝදා සාමණේරයන් වහන්සේ මුහුණ බලා “සුමන ය! දැන් තෝ කී හැවිරිද්දෙහි දැ”යි විචාරා “ස්වාමීනි! සත් හැවිරිදියෙමි”යි කී කල රජකුට දස්කම් කළා වූ ළදරුවකුටත් ගරු තනතුරු ලැබේ ම ය. මා වැනි සද්ධර්ම වර චක්‍රවර්තියක්හුගේ ශාසනයෙහි බාල ව සිට දිව්‍ය බ්‍රහ්මයන් මධ්‍යයෙහි මේ සා වික්‍රමයෙකින් සසුන් බල පෑ ලොව විස්මයපත් කළා වූ තට ගරු වූ තනතුරක් දෙමි. මාගේ සස්නෙහි විසිහැවිරිදි වූ කල උපසම්පදා කෝටියක් සංවර ශීලය ලැබෙයි. තෝ දැන් සත් හැවිරිද්දෙහි ම උපසම්පදා ව” යි වදාරා එම විට ම ඔබ උපසම්පදා කොට වදාළ සේක.

තව ද, මේ බුදු සස්නෙහි අනික් සෝපාක නම් සාමණේර කෙනකුන් වහන්සේ හා මේ සුමන සාමණේරයන් වහන්සේ විනා සත් හැවිරිදි වයස උපසම්පදා වූ අනික් එක ද භික්‍ෂු කෙනෙක් නැත්තාහු ම ය. මෙසේ මේ සුමන සාමණේරයන් වහන්සේ එ තැන් පටන් සසසුන් නමැති ආකාශයෙහි දිලියෙන අභිනව පූර්ණ චන්‍ද්‍රයා සේ ප්‍රසිද්ධ ව අසාධාරණ වූ උත්තම ප්‍රතිපත්තින් ජීවිතාන්තය දක්වා බුදුන්ට පූජා කළ සේක.

මෙසේ රාහු අසුරේන්‍ද්‍රයා විසින් කරන ලද මහා නමස්කාර පූජා ය. සුමන සාමණේරයන් විසින් කරන ලද ප්‍රාතිහාර්‍ය්‍ය ප්‍රතිපත්ති පූජා ය ආදි ශබ්දයෙන් දක්වන ලද සෝපාක නම් සාමණේරයන් වහන්සේ ය, පණ්ඩිත නම් සාමණේරයන් වහන්සේ ය, රේවත නම් සාමණේරයන් වහන්සේ ය, සංකිච්ච නම් සාමණේරයන් වහන්සේ ය, සුඛ නම් සාමණේරයන් වහන්සේ ය යි යනාදි වූ ක්‍ෂීණාශ්‍රව වූ සත් හැවිරිදි-දොළොස් හැවිරිදි හෙරණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මහ පොළොව සේ විශාරද වූ ගුණ ඇති, මහ මුහුද සේ ගැඹුරු වූ ගුණ ඇති, මහමෙර සේ ස්ථිරසාර වූ ගුණ ඇති, ආකාශය සේ අනන්ත වූ ගුණ ඇති, අකනිටා බඹලොව සේ ඉතා උස් වූ ගුණ ඇති, සක්වළ අනන්ත වූවා සේ අපර්‍ය්‍යන්ත වූ ගුණ ඇති, සත්ත්‍වලෝකය සේ අචින්ත්‍ය වූ ගුණ ඇති, සංස්කාර ලෝකය සේ කල්පනාවට අවිෂය වූ ගුණ ඇති, සෘද්ධිවිෂය සේ සූක්‍ෂ්ම වූ ගුණ ඇති, බුද්ධවිෂය සේ අනුන් විසින් නො සිතිය හැක්කා වූ ගුණ ඇති, යුගන්‍ධර සාගරය සේ වන්නවුන් ගුණ මුහුද ම ගලා ගන්නා වූ, සියුම් වූ ගුණ ඇති, හිරුට වඩා තේජෝ ගුණ ඇති, සඳුට වඩා සෞම්‍ය ගුණ ඇති, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම කල්‍යාණ මිත්‍ර වූ, මට ම ශරණ වූ, මට ම පිහිට වූ, මා ම නිසා බුදු වූ, මා ම නිසා මේ සද්ධර්ම දේශනා කොට තබා ලූ, මාගේ ම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සුමන සාමණේරාදි හෙරණුන්ගෙන් ලද

දහරභික්‍ෂු ප්‍රතිපත්ති පූජා කථා නම් වූ එකුන්විසි වන පරිච්ඡේදය නිමි.

  1. පැයක් ඇසිල්ලකින්.