තව ද: මෙම සැවැත් නුවර දී අනඳ මහ තෙරුන් වහන්සේ ලද සාටක පූජා නම් කවර? යත්;
එක් සමයෙක කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරු දවස දවස වෙහෙරට ගොසින් බණ අසාගත නො හී රජ්ජුරුවන් කරා ගොස් “ස්වාමීනි! නුඹවහන්සේ දවසට තුන්වාරයෙක බුදුන් කරා ගොසින් බණ අසන සේක් ම ය. මේ නුවර විශාඛා ආදී වූ සෙසු ස්ත්‍රීහු ද සිත් සේ විහාරයට ගොස් බුදුන් දැක බණ අසා බොහෝ වූ පින් රැස්කරන්නාහු ම ය. අපි වනාහි නුඹවහන්සේගේ අන්තඃපුරයට සම්භ ව, සිත් සේ ගොස් බණ අසා පින් පුරා ගත නො හෙම්හ. මෙබඳු වූ නව වන බුද්ධෝත්පාද කාලයෙහි ඉපැද අසඞ්ඛ්‍යයක් කප් කාලයෙනුත් “බුදුහු ය” යන නාමමාත්‍රය ත් අසා පිය නොහැක්කා වූ ලොවුතුරා බුදුරජාණන් දිළිඳුන්ගේ දොර පෙනීගිය කප්රුකක් සේ මෙම නුවර සද්ධර්මශ්‍රීන් ශෝභමාන ව ලෝවැඩ කළ දී අපි දැන් මුහුදුමැදට වැද පිපාසායෙන් දුග් ගන්නාවුන් සේ, ආකාශයට නැඟී පවා ගැළවී යා නොහෙන ලිහිණියන් සේ, පොලොවට වැද පවා පිහිට නො ලබන්නවුන් සේ, ඉතා මහත් වූ අකුසල් ඇත්තම්හ. මැදිරියෙක වසන පක්‍ෂීන් සේ නිරන්තරයෙන් කිසිතෙනෙක ඇවිදගත නොහි කුසල්මග නොලදින් ඉතා මහත් වූ දුක් ගන්නවුන් වැන්නම්හ.
බුදුන් මධුරනාදයෙන් වදාරණ දහම් අසාගත නො හෙන හෙයින් කන් නැත්තවුන් වැන්නම්හ. තුණුරුවනින් එක රුවනක් දවස් පතා දැක්ක නො හෙන හෙයින් ඇස් නැත්තවුන් වැනියම්හ. බුදු ගුණයක් කියාගත නො හෙන හෙයින් දිව් නැත්තවුන් වැනියම්හ. සද්ධර්මප්‍රීතීන් මාර්ගඵලයක් නො ලබන හෙයින් සිත් නැත්තවුන් වැනියම්හ. බුදුන් කරා අප පයින් ගොස් බණ අසාගත නො හෙන හෙයින් පා නැත්තවුන් වැනියම්හ. දවස්පතා දැක වැඳගත නො හෙන හෙයින් පස්කඳ නැත්තවුන් වැනියම්හ. බණ අසා සිතු සිතූ දෑ පුදාගත නො හෙන හෙයින් ධන ඇතත් නැත්තවුන් වැනියම්හ. එසේ හෙයින් නුඹ වහන්සේ අපට මේ සා මහත් ශ්‍රී සම්පතක් දී වදාරතෝතිනුත් කොතෙක් ඓශ්වර්‍ය්‍ය ඇතත් පින් කොටගත නො හෙන හෙයින් අප විඳිනා දුක් නරක දුක් හා සමය යි සිතම්හ. ස්වාමිනි! නුඹ වහන්සේ අප කෙරෙහි විශේෂ වූ දයාවෙක් ඇත්තේ වී නම් දවස දවස වෙහෙරට යන කල අප හා සමග ගොස් බණ අසා හෝ වදාළ මැනැව. එසේ නො ගිවිස්නා සේක් වී නම් දවස් පතා අප බණ අසා ගන්නා ලෙසක් හෝ කොට වදාළ මැනැවැ”යි යාච්ඤා කළහ.
එ බසට රජ්ජුරුවෝ “ස්ත්‍රීන් හා සමග හැමවිට ම වෙහෙරට යෑම ඉතා පළිරෝධ ය. තොප ඇමට බණ අස්වන ලෙසක් කෙරෙමි”යි කියා බිසෝවරුන් සන්හිඳුවාලා එ නුවර මුළුල්ලෙහි දක්‍ෂ ව බණ කියන්නවුන් පරීක්‍ෂා කොට “ආගමධර වූ අනාගාමි වූ ඡත්තපාණි නම් උපාසක කෙනකුන් ඉතා බලවතැයි” එක් දවසක උයන දී බුදුන් අතින් ම අසා දැන උන් රජගෙට කැඳවාලා “ඡත්තපාණීනි! බුදුහු එක් දවසක් තොපගේ බොහෝ ගුණ මට වදාළ සේක. තොප ‘ආගමධරයක්හු’යි කියා ත් වදාළ සේක. ධර්ම කථිකයහ යි කියාත් වදාළ සේක. ආර්‍ය්‍ය පුද්ගලයහ යි කියාත් වදාළ සේක. මාගේ අන්තඃපුරයට අද පටන් දවස් පතා තෙපි ම බණ කියව”යි කීහ. ඡත්තපාණී එ බස් අසා කියන්නාහු “ස්වාමීනි! රජදරුවන්ගේ අන්තඃපුරයට බණ කීම් නම් අප සේ සුදුපිළී අඳිනා ගිහි පුද්ගලයන්ට සුදුසු නො වෙයි. තපස්චීවරයන්ට ම සුදුසු ය. ස්ත්‍රීහු නම් ගිහින් කෙරෙහි ආදර නො කෙරෙති, සිල්වතුන් කෙරෙහි භය ඇතියහ. එසේ හෙයින් බුදුන්ගෙන් එක්තරා එක් මහතෙර කෙනකුන් වහන්සේ ඉල්වා ගෙන දවස් පතා අන්තඃපුරයට බණ අස්වා වදාළ මැනැව. එසේකල බණ අසන්නවුන්ට ත් කියන්න වුන්ටත් වැඩ සෑදේ ම ය. තව ද: ශීලයෙහි පිහිටියවුන් අතින් බණ අසන්නාවූ විපාකත් බෙහෙවැ”යි කියා රජ්ජුරුවන් ගිවිස්වා තමන් ඇගින් ගළවා රජගෙන් ගියහ.
එ වේලෙහි රජ්ජුරුවෝ කාරණ ය යි ගිවිස පන්සියයක් බිසෝවරුන් කැඳවා “තොප හැමදෙනාට බණ වදාරණ පරිද්දෙන් එක් මහ තෙරකෙනකුන් වහන්සේ ඉල්වා බුදුන් කරා යෙම්. කවර මහතෙර කෙනකුන් වහන්සේ අතින් බණ අසනු කැමැතියා දැ”යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත් වූ භාග්‍ය ඇතියාහු ම ය. තව ද: මධුර වූ කටහඬ ඇතිසේක. එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලෝභ ය ඇතිවූවන් හෙයින් අනික් බසක් නො කියා එසේ වී නම් අපගේ ආයුෂ්මත් වූ අනඳ මහතෙරුන් වහන්සේ අතින් ම බණ අසනු කැමැත්තම්හ” යි කීහ.
එ වේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ “ස්වාමීනි! මාගේ අන්තඃපුරවාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින් ම බණ අසනු කැමැතියහ. උන්වහන්සේ අන්තඃපුරයට බණ කියන පරිද්දෙන් අනුදැන වදාළ මැනැවැ”යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වන සේ දැක “මහරජ! තෝ නම් වට තැටියක් සේ, මඩෙහි ඉඳුවාලූ කීලයක් සේ, කැමැති පිටකට නමාගත හැකියෙහි ය. ආනන්‍දයෝ නම් සෝවාන්හ. එ බවු දැන උන් කෙරෙහි පරීක්‍ෂා ඇති වව. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්ට සුදුස්සහ. තෝම සිහිපත් ඇති වව”යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්දය! මේ කෝසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව” වදාළ සේක. එ තැන් පටන් අනඳ මහතෙරුන් වහන්සේ පන්සියයක් බිසෝවරුන්ට දවස්පතා බණ වදාරා බොහෝ පින් රැස්කරවන සේක. උන්වහන්සේගේ මධුර වූ ශබ්දයෙහි හස්තීකාන්ත වීණාවෙහි ඇලුනා වූ ඇතින්නන් සේ, චිත්‍රලතා වෙනෙහි ලෝභි වූ දෙවඟනන් සේ, සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ ම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදූහ.