ශබ්දය නිසාත් දරුගබ සිටී දැයි යත හොත් ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයෙක් ඇත. ඒ කෙසේද? යත්; ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නා ලෝකාස්වාදය රතිය නිසාත් දරු ගබ සිටි මය. පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරු ගබ සිටී ම ය. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලූ පමණ අනුරාගයෙනුත් දරුගබ සිටී මය. පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙනුත් දරුගබ සිටී ම ය. පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළා වූ පමණකිනුත් දරුගබ සිටීමය. පුරුෂයන්ගේ ඉස්වක් භෝජනාදියෙහි අන්තර්ගත වූ අනුභවානුරාගය නිසාත් දරුගබ සිටීම ය, පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැළඳීමෙන් උපදනා වූ වස්ත්‍රානුරාගයෙනුත් දරුගබ සිටීම ය. මේඝ සෘතුවෙහි බලාකාවන් ගබ්ගන්නා හෙයින් වන සෘතුභේදානු රාගයෙනුත් දරුගබ සිටීම ය. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළා වූ ශබ්දානුරාගයෙනුත් දරුගබ සිටීම ය. කීයේ මැයි මැනෝ
මෙථූනං තනුසංසග්ගො - නාභ්‍යාමනෙ දස්සනං,
ඝායනං සවණං පානං - පටිග්ගාහං තථා උතුඃ
නවහෙ‘තෙහි ඨානෙහි - ගබ්භං ගණ්හන්ති ඉත්‍ථියො-යි.
යනු හෙයින් බිසෝවරු ද එ කල අනඳ මහතෙරුන් වහන්සේගේ ශබ්දයෙහි අනුරාග කොට උන්වහන්සේ සේම එක් වැනි පන්සියයක් පුතුන් වැදුවාහු ය. එ කල බොහෝදෙන රජ්ජුරුවන් කරා ගොස් “නුඹවහන්සේගේ බිසෝවරුන් වැදූ දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති. අනඳ මහ තෙරුන් වහන්සේ හා එක්වැනිය”යි කියා, මිථ්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගතුවෝ එකාවනු රජ්ජුරුවන් ලජ්ජා කරවති. රජ්ජුරුවෝ ද එහි සැක කොට බුදුන් කරා ගොස් එ පවත් කීහ. ආදිම තාගේ තරම තට ම කීයෙම් වේ දැ යි වදාරා විනයෙහි කියාලූ ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ ශංකාව දුරුකොට වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා “නුඹවහන්සේ කෙරෙහි මා ශඞ්කා ඉපද වූ වරදට මෙම දඬුවමැ”යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේට ම පාවාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියක් දෙන ම වැඩී අනඳ මහ තෙරුන් වහන්සේ කෙරේ ම මහණ ව රහත් වූහ.
තව ද: එක් දවසෙක කසී රටින් දහස් දහස් අගනා දහසක් පමණ කසීසළු රජ්ජුරුවන්ට ගෙනාහ. රජ්ජුරුවෝ ඒ දහසක් සළු බලා සතුටු ව ඉන් පන්සියයක් සළු පන්සියයක් බිසෝවරුන්ට දුන්හ. ඔහු තමන් ලද ඒ සළු පන්සියය එදා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් බණ අසා සතුටු ව එකවිටම පුදා පරණ සළු හැඳ රජ්ජුරුවන් මේ නිමවන තැනට ගොසින් සිටියහ. රජ්ජුරුවෝ “තොපට මා ඊයේ දුන් සළු නො හැඳ පරණ සළු හැඳගෙන හවුනැ”යි විචාළහ. බිසෝවරු “ස්වාමීනි! අපගේ අනඳ මහ තෙරුන් වහන්සේ අතින ්බණ අසා ඔබට ධර්මපූජා කොට පිළිගන්වා පූම්හ”යි කීහ. රජ්ජුරුවෝ විස්මය ව “ඒ පන්සියයක් සළු අනඳ මහතෙරුන් වහන්සේ ම ඇරගත් සේක් දැ”යි විචාරා “හැරගත් සේ කැ”යි කී කල “ඒකාන්තයෙන් මෙ තෙක් සළු ලදින් අනඳ මහතෙරුන් වහන්සේ පිළි වෙළඳාම් කරන සේක් දෝ හෝ යි සිතමි. බොහෝ ලාභ පිළිගැන්ම තපස්වීවරුන්ට සුදුසු නො වෙ”යි කියා තෙරුන් වහන්සේට කිපී මේ නිමවා අන්තයෙහි අත දිය නොසිඳෙන තුරු විහාරයට දිවගෙන ගොස් බුදුන් කරා නො ගොස් තෙරුන් වහන්සේගේ පිරිවෙනට වැද තෙරුන් වහන්සේ වැඳලා එකත්පස්ව හිඳ “ස්වාමීනි! අපගේ බිසෝවරු නුඹවහන්සේගෙන් බණ උගනිත් ද් දැ”යි විචාළහ. තෙරුන් වහන්සේ “මහරජ උගත යුත්තක් උගණිති. ඇසිය යුත්තක් අසති”යි වදාළ සේක.
තව ද: රජ්ජුරුවෝ මායමින් විචාරන්නාහු “කිමෙක්ද? ස්වාමීනි! ඒ ස්ත්‍රීහු නුඹවහන්සේගේ ඵාසු අඵාසු විචාරද් ද? හඳනා පොරෝනා චීවර සාටක දෙද් ද? නො දෙද් දැ”යි විචාළහ. එ වේලෙහි තෙරුන්වහන්සේ “දෙති මහරජ! ඊයේ සවස අප අතින් බණ අසා පන්සියයක් සළු දන් දුන්නාහුය”යි වදාළ සේක. හැම ම නුඹ වහන්සේ ම පිළිගත් සේක් දැ යි විචාළහ. “මහරජ! පිළිගතිමි”යි වදාළ සේක. බුදුන් විසින් එක් භික්‍ෂු කෙනකුන්ට තුන් සිවුරෙක්ම අනුදන්නා ලද්දේ වේ ද, අතිරේක ලාභය ඉවසූයේ ඇයි දැ”යි විචාළහ. “මහරජ! බුදුන් විසින් අනුභෝග වසයෙන් තුන් සිවුරක් ම අනුදන්නා ලද ම ය. කෙතෙක් ලාභ ත් පිළිගැනීම වසයෙන් නො වළකන ලද ය. යම් යම් භික්‍ෂු කෙනකුන්ගේ උත්තරීතර වූ භාග වසයෙන් දෙන්නවුන්ගේ සිත් පමණ හා ලාභීන්ගේ සිත් පමණ ලාභ ලැබේ මය. වනවාසී තිස්ස මහ තෙරුන් වහන්සේ සත් ඇවිරිදි බිලිඳී ව එක දා කිරිබත් පාත්‍ර දහසක් පමණ ලත් සේක් ම ය. උන්වහන්සේ එ බත් පාත්‍ර දහස දහසක් දෙනා වහන්සේට දුන් සේක් ම ය. එසේ හෙයින් මම ද මේ සළු පන්සියය පිළිගෙන මාලුව ගියා වූ සඟල ඇති පන්සියයක් භික්‍ෂූන්ට මහරජ දන් දුනිමි”යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ අලුත් සිවුරු ලදින් මහලුව ගිය සඟළ සිවුරු ඒ භික්‍ෂූහු කමක් කෙරෙද්දැ යි විචාළහ.
මහරජ! පරණ සඟළ නැවත කටු කොහොල් ගෙත්තම් කොට රඳා පොරෝනා සිවුරු කෙරෙති යි වදාළ සේක. “පරණ පොරෝනා සිවුරු කුමක් කෙරෙද් දැ”යි විචාළහ. “මහරජ! ඒ නො තර තැන් කපා තර තැන් ගෙන අඳනා සිවුරු කොට ගනිති”යි වදාළ සේක. “පරණ අඳනා සිවුරු කුමක් කෙරෙද්දැ”යි විචාළහ. මහරජ! ඒ පසතුරුණු කොට ඇඳ ඇතිරිලි කොට අතුට ගනිති”යි වදාළ සේක. “පරණ ඇඳ ඇතිරිලි කුමක් කෙරෙද්දැ”යි විචාළහ. මහරජ! ඒ බුමුතුරුණු කොට සාංඝික ගල්ගෑ හොප් නැගූ ගෙවල බිම අතුට ගණිති යි වදාළ සේක. පරණ බුමුතුරුණු කුමක් කෙරෙද්දැයි විචාළහ. මහරජ ඒ පා පිස්නා බිසි කෙරෙති යි වදාළ සේක. පරණ පාපිස්නා බිසි කුමක් කෙරෙද් දැයි විචාළහ. මහරජ ශ්‍රද්ධාවන්තයන් දීලූ දෙය අනාථයේ වල දමා පිම සුදුසු නො වේ ම ය. එසේ හෙයින් ඔවුන්ට ම කුසල් වඩනු සඳහා ඒ දිරාගිය පාබිසි සිහින්කොට කපා සුණු විසුණු කොට මැටියෙහි ලා අනා සඟසතු ගෙවල බිත්ති කර්මාන්ත කරන්නේ වේ දැයි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද බුදු සස්නෙහි අති ප්‍රසන්න ව “ස්වාමීනි! නුඹවහන්සේගේ බුදුසස්නට පැමිණියාවූ දාන වස්තුව පාපිස්නා බිස්සෙනුත් වල නො යන නියාවත් දන් දුන්නවුන්ට පින් බොහෝ වන නියාවත් විශේෂයෙන් දනිම් ම ය”යි තෙරුන් වහන්සේගේ ගුණ කියා නුඹවහන්සේ වැනි උත්තමයක්හු කෙරෙහි මා ශංකා ඉපැදවූ වරදට දඬුවම් කෙරෙමි”යි එම තෙන හිඳ රජගෙට යවා ගෙයි තුබූ පන්සියයක් සළු ත් ගෙන්වා ගෙන මහ තෙරුන් වහන්සේට පුදා ගියහ.
මෙසේ ඒ අනඳ මහ තෙරුන් වහන්සේ බුදුසස්නෙහි චීවරලාභීන් කෙරෙහි අග්‍ර සේක. මෙසේ එකි එකී දා පන්සියයක් පන්සියයක් බැගින් පන්සියක් වාරයෙහි ම පන්සියක් සළු පූජා ලත් සේක. සෙසු ලාභ මෙ තෙකැ යි ගණන් නැත. රජහුගේ සේනාව රජහු නැති ව ගොස් රටක් ජය ගතත් අසුවල් රජහු ජය ගතැ යි කියා සේනාව කළා වූ යුද්ධ කීර්තිය රජහට කියවූවා සේ, වෙල හස්වන් කල අසුවල් වැව හස්වනැ යි වැව ගුණ කියවූවා සේ, බුදුන් ශ්‍රාවකයන් ලද්දා වූ පූජා ද බුදුන් ම ලද්දා ම වන හෙයින් මෙසේ මෙසේ වූ සත්කාර ලත් හෙයිනුත්, මෙසේ මෙසේ වූ සත්කාර ලැබීමට සුදුසු හෙයිනුත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක.