අභිධර්මාර්ථ ප්‍රදීපිකා

1. ශීල විශුද්‍ධිය

ප්‍රාතිමොක්‍ෂ සංවරාදි චතුර්විධ පාරිශුද්‍ධි ශීලයන්ගේ වශයෙන් පිරිසුදුවීම ශීලවිසුද්ධි නම්.

සීලය යනු ප්‍රාණඝාත, අදත්තාදානාදී වූ දුශ්ශීල්‍ය කර්‍මයන්ගෙන්, සමාදාන විරති වශයෙන් හෝ සම්පත්ති විරති වශයෙන් හෝ වැළකෙන්නහුගේ හෝ, උපාධ්‍යායවත් පිළිවෙත් ආදිය පුරන්නහුගේ හෝ චෙතනා, චෛතසික, සංවර, අව්‍යතික්‍රම යන ශීලයෝ ය.

චෙතනා සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ එවේලෙහි සිත්හි යෙදෙන සම්ප්‍රයුක්ත ධර්‍මයන් අතුරෙන් චෙතනා චෛතසිකය යි. දස අකුසල කර්‍ම පථයන් අතුරෙන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප යන සප්ත අකුසල කර්‍මපථයන්ගෙන් වළකින්නහුගේ එවේලෙහි සිත්හි යෙදෙන චෙතනා චෛතසිකය ද චෙතනා සීල නම් වේ.

චෛතසික සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ එවේලෙහි සිත්හි යෙදෙන සම්ප්‍රයුක්ත ධර්‍මයන් අතුරෙන් සම්මාවාචා, සම්මාකම්මත්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්‍රය යි. අකුසල කර්මපථයන් අතුරෙන් අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන අකුසල ධර්ම තුනට ප්‍රතිපක්‍ෂ වූ අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන කුසල ධර්මයෝ ද චෛතසික සීල නම් වෙත්.

සංවර සීලය නම් පාතිමොක්ඛසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, විරිය සංවරය යන පඤ්චවිධ සංවරයෝ ය.

පාතිමොක්ඛ සංවරය නම් චාරිත්‍ර, වාරිත්‍රාදී ප්‍රභේදගත විනය පරියාපන්න ශික්‍ෂාපද සීලයයි.

සති සංවරය නම් ඉන්‍ද්‍රිය සංරක්‍ෂණාදියෙහි පැවති සතියයි.

ඤාණ සංවරය නම් තණ්හා දිට්ඨි ආදිය නසන ඤාණයයි.

ඛන්ති සංවරය නම් ඉවසීම නොහොත් අද්වේෂයෙන් සංවර වීමය.

විරිය සංවරය නම් කාමවිතර්කාදීන් පහකිරීම් වශයෙන් පවත්නා වීර්‍ය්‍යයයි.

අව්‍යතික්‍රම සීලය නම් සමාදන්ව ගත් සීලය කයින් හෝ වචනයෙන් හෝ නොබිඳ රැකගැනීමයි.

මේ චේතනා, චෛතසික සීලාදීහු කුසල කාය කර්මාදීන්ට විසිර යන්නට ඉඩ නොදෙන අර්ථයෙන් ද කුසල ධර්මයන් ප්‍රතිෂ්ඨා වශයෙන් ධරණ අර්ථයෙන් ද සීල නම් වේ. එහෙයින් සීලයාගේ ලක්‍ෂණය හෙවත් සාමාන්‍ය ස්වභාවය නම් සීලනය නොහොත් කුසල කාය කර්මාදීන්ට විසිර යන්නට ඉඩනොදීම හා කුසල ධර්මයන් ප්‍රතිෂ්ඨා වශයෙන් දැරීමත් ය. සීලයාගේ කෘත්‍යය නම් දුශ්ශීලත්‍වය විනාශ කිරීමයි. එහි සම්පත්තිය නම් ධ්‍යානාදී ගුණ ඉපදීම ය. සීලයාගේ පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය නම් හිත, කය, වචන යන ත්‍රිවිධ ද්වාරයාගේ පිරිසුදු බව ය. එහි පදට්ඨානය හෙවත් ආසන්න කාරණය නම් හිරි-ඔතප් දෙක ය.

සීලයෙහි ආනිසංස බොහෝ ය. එනම්:-

  1. විපිළිසර නොවීම ය.
  2. මහත් වූ භෝගස්කන්‍ධ ලැබීම ය.
  3. කල්‍යාණ කීර්ති ශබ්ද නැගීම ය.
  4. ක්‍ෂත්‍රියාදි පිරිස් කරා විසාරදව එළඹීම ය.
  5. නොමුළා සිහි ඇතිව කාලක්‍රියා කිරීම ය.
  6. මරණින් මතු දෙව්ලොව ඉපදීම ය යනාදි යයි.