ආජීවපාරිශුද්ධි ශීලය
ආජීවය කරණකොට ගෙන පනවා වදාළ ශික්ෂාපද සදෙනාගේ ඉක්මවීම් වශයෙන් ද කුහනා, ලපනා, නෙමිත්තකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතාදී පාපධර්මයන්ගේ වශයෙන් පවත්නාවූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීවපාරිශුද්ධි සීල නමි.
සවැදෑරුම් ශික්ෂාපදයෝ නම්:-
- පාරාජිකා නම් ආපත්තිය- යම් භික්ෂුවක් සිව්පසයෙන් කලාන්ත නොවී ජීවත්විය හැකි වෙමියි සිතා ජීවත්වීම හේතුකොටගෙන, තමා තුළ නැති ගුණ පහළ කරනු කැමැතිව, තෘෂ්ණායෙන් මඩනා ලදුව, තමා සතන්හි නැත්තාවූ, නූපන්නාවූ ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් හෝ ලද්දෙම් යි කියාද, ඒ භික්ෂුව හට එකෙණෙහිම දෙලොව පරදනා හෙයින් පාරාජිකා නම් වූ ආපත්තියක් වන්නේ ය.
- සංඝාදිසෙස ආපත්තිය- ජීවිකාව හේතුකොට ගෙන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුන් පිළිබඳ එකෙණෙහි වන සංගමය පිණිස හෝ ආවාහ විවාහ වනු කැමැති ස්ත්‍රී පුරුෂයන්ගේ කැමැත්ත හෝ ඔබ මොබ ගෙන ගොස් කියා ද, ඒ භික්ෂුහට ආදි-අන්තයෙහි සංඝයා විසින් කටයුතු විනය කර්මයෙන් පිරිසුදු විය යුතු හෙයින් ද සංඝාදිසෙස නම් වූ ආපත්තිය සිදුවන්නේ ය.
- ථුල්ලච්චය ආපත්තිය - යම් භික්ෂුවක් ජීවිකාව හේතුකොට ගෙන, වචනයාගේ අර්ථය දන්නා කෙනෙකුහට “තොපගේ විහාරයෙහි යම් භික්ෂු කෙනෙක් වෙසෙද් ද, හෙතෙම රහත් කෙනෙකැ” යි තමා උදෙසා අනියමයෙන් කියාද ඒ භික්ෂුවහට ථුල්ලච්චය නම් ඇවත සිදුවන්නේ ය.
- පාචිත්තිය ආපත්තිය - යම් භික්ෂුවක් ජීවිකාව හේතුකොට ගෙන, නොගිලන්වූයේ ම කිරි, ගිතෙල්, මාංසාදී භෝජනය තමා උදෙසා කයින් හෝ වචනයෙන් හෝ ඉල්වාගෙන වළඳා නම් ඒ භික්ෂුවහට පාචිත්තිය නම් ඇවත සිදුවන්නේ ය.
- පාටිදෙසනීය ආපත්තිය - යම් භික්ෂුණී කෙනෙක් එසේම නොගිලන්ව, ජීවිකාව හේතුකොට ගෙන තමා උදෙසා ප්‍රණීත වූ භෝජන ඉල්වා වළඳා නම් ඒ භික්ෂුණීහට පාටිදෙසනීය නම් ඇවත සිදු වන්නේ ය.
- දුක්කටාපත්තිය - යම් භික්ෂුවක් ජීවිකාව හේතු කොට ගෙන, නොගිලන්වූයේම සූපයක් හෝ බතක් හෝ තමා උදෙසා ඉල්වා වළඳා නම් ඒ භික්ෂුවහට දුක්කට නම් ඇවත සිදු වන්නේ ය.
මේ ෂඩ්විධ ශික්ෂාපද ඉක්මවන භික්ෂුවගේ ආජීවය අපිරිසිදු වේ.
කුහනා - චීවරාදී සිව්පස සඞ්ඛ්‍යාත ලාභය ද, සත්කාර සඞ්ඛ්‍යාත වූ ගෞරවයෙන් දෙනු ලබන ප්‍රත්‍යය ද, පතළාවූ කීර්ති ඝොෂාවය ද, යන මොවුන්ගේ වශයෙන් ලාභ, සත්කාර, කීර්ති නිශ්රිත වූ ද තමා කෙරෙහි නැති ශ්‍රද්ධා ශීලාදී ගුණ ප්‍රකාශ කරනු කැමති වූ ළාමක අදහස් ඇත්තා වූ ද, ළාමක තෘෂ්ණාව නිසා යහපත් වූ ජීවිකාව කෙරෙන් පහ කරන ලද්දා වූ නොහොත් තෘෂ්ණායෙන් මඩනා ලද්දා වූ ශ්රමණයෙකුගේ පච්චය පටිසෙවන හෙවත් ප්‍රත්‍යය නො ඉවසා වැළකීම් සඞ්ඛ්‍යාත කුහක වස්තුවෙන් හෝ, සාමන්තජප්පන හෙවත් ප්‍රත්‍යය දායකයාගේ කණට කෙඳිරීම නම් වූ කුහක වස්තුවෙන් හෝ ඉරියාපථනිස්සිත කුහක වස්තුවෙන් හෝ අට්ඨපන නම් වූ පළමු කොට තැබීම හෝ ආදරයෙන් තැබීමක් හෝ වේ ද, ඨපනා නම් වූ යම් තබනාකාරයක් වේ ද, සණ්ඨපනා නම් වූ පිළියෙල කිරීම හෝ ප්‍රසාද එළවන බව කිරීම හෝ වේ ද, භාකුටිතා නම් වූ මහණදම් පිරීමෙන් මිරිකුණු බව හැඟවීමෙන් මුහුණ හකුළුවන බවක් හෝ වේද, කුහනා නම් වූ මහජනයා විශ්මයපත් කරවීමක් හෝ වේද, කුහායනා නම් වූ විශ්මයපත් කරවන්නවුන්ගේ පැවැත්මක් හෝ වේද, කුහිතත්තා නම් වූ කුහිතයාගේ පැවැත්මක් හෝ වේද, මෙය කුහන යයි කියනු ලැබේ. එහෙයින් මේ කුහන වස්තු තුනෙකි. එනම්:-
- පච්චය පටිසෙධන හෙවත් ප්‍රත්‍යය වැළකීම ය,
- සාමන්තජප්පන හෙවත් රහස් බිණීම ය,
- ඉරියාපථ හෙවත් ඊර්‍ය්‍යාපථ නිශ්රිත බව ය.
1. පච්චය පටිසෙධන කුහන වස්තුව - මේ ශාසන යෙහි ගෘහපතියෝ භික්ෂුවකට චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර යන සිව්පසයෙන් නිමන්ත්‍රණය කෙරෙති, ළාමක වූ අදහස් ඇති, ප්‍රත්‍යය කැමති සුළු වූ භික්ෂුව ඒ සිව්පසයෙන් ප්‍රයෝජන ඇත්තේ වී නමුදු වැඩියක් ලබන අදහසින් එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියයි, ශ්‍රමණයන්ට මහාර්ඝ වූ සිවුරු කුමට ද, ඔවුනට හොබනේ සොහොනින් හෝ කසලගොඩෙන් හෝ රෙදි කැබැලි අවුලා මසා ගෙන පොරවන්නට ය. මහණුන්ට ප්‍රණීත පිණ්ඩපාත කුමට ද, ඔවුනට හොබනේ සිඟා ගෙන වළඳන්නට ය. මහණුන්ට මාහැඟි සෙනසුන් කුමට ද, ඔවුනට හොබනේ රුක්ඛමූලික ව අභ්‍යවකාශයෙහි හෝ වසන්නට ය. මහණුන්ට අනගි ගිලන්පස බෙහෙත් පිරිකර කුමට ද, ඔවුනට හොබනේ පූතිමූත්රයෙන් හෝ 15 අරළුයෙන් හෝ බෙහෙත් කරන්නට ය, මෙසේ කියමින් එයම පෙන්වනු කැමැතිව රූක්ෂ වූ චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. එය දක්නා දායකයෝ “මුන්වහන්සේ ඉතා අල්පෙච්ඡය, සන්තුට්ඨ ය, පවිවිත්ත ය, අසංසට්ඨ ය, ආරද්ධවිරිය ය, ධුතවාදී ය, යි වඩවඩා සතුටුව සිව්පසයෙන් පුදත්. එවිට ඒ භික්ෂුව “ශ්‍රද්ධා, දෙයධර්ම, ප්‍රතිග්‍රාහක යන තුන් වස්තූන් ගේ එක්වීමෙන් සැදැහැවත් කුලපුත්‍රයෝ පින් රැස්කර ගනිති. තොපට ශ්‍රද්ධාව හා දෙය ධර්ම ද ඇත්තේ ය. මම ප්රතිග්රාහකයෙක්මි. ඉදින් මම නො පිළිගත්තේ නම් තොපි පිනින් බැහැර වන්නාහු ය. මට මේ පසයෙන් ප්‍රයෝජන නැතත් තොපට අනුකම්පා පිණිස පිළිගනිමි”යි දහම් දෙසා බොහෝ වූ සිවුරු පිරිකර ආදිය පිළිගනියි. එතැන්පටන් ගැල්පුරා වුවත් සිව්පසය එළවීමට කාරණා වූ විස්මයපත් කරවීම ප්‍රත්‍යය වැළකීම යයි කියන ලද පච්චය පටිසෙධන කුහන වස්තුව නම් වේ.
2. සාමන්තජප්පන කුහන වස්තුව - මේ ශාසනයෙහි ළාමක අදහස් ඇති, ඉච්ඡායෙන් මඩනා ලද, බුහුමන් ලබනු කැමැති භික්ෂුව, මෙසේ කථා කළ කල්හි මට මහජනයා බුහුමන් කරති යි සිතා ආර්‍ය්‍ය ධර්ම සන්නිශ්‍රිත බස් කියයි. “යමෙක් මේ සිවුරු ධරා නම්, ඒ මහණ තෙම මහෙශාක්‍ය ය. මෙබඳු පාත්‍රා, ලොහොතලි ධබරා පෙරහන්කඩ යතුරුමුදු, කාබහන්, වහන් ධරා නම් ඒ මහණ තෙම මහෙශාක්‍ය ය. යමෙකුට මෙබඳු වූ උපාධ්‍යා ය, ආචාර්ය්යය, සමානොපාධ්යා ය, සමානාචාර්ය්යවරයෝ ඇත්තාහු නම් යමෙකුට මෙබඳු සන්දෘෂ්ට සම්භක්ත මිත්‍රයෝ ඇත්නම්, ඒ මහණ තෙම මහෙශාක්‍ය ය, යමෙක් මෙබඳු විහාරයක, අඩ්ඪයෝග ප්‍රාසාද, භම්මිය, ගුහාලෙණ, කූටි, කූටාගාර, අට්ටමාල, උද්ධණ්ඩ, උපට්ඨාන ශාලා, මණ්ඩප, රුක්ඛමූලයෙක වෙසේ නම් ඒ මහණ මහෙශාක්යය”යි මේ ආදී වශයෙන් කියයි. තව ද, හැකිළ හැකිළ, මුහුණ හකුළ හකුළා කුහකව, ප්‍රලාප දොඩ දොඩා වචනයෙන් ද උත්තරිමනුස්ස ධර්මාධිගමය හඟවමින්, මේ ධ්‍යානලාභියා ය, මේ මාර්ග - ඵලලාභියා ය යනාදී වශයෙන් ඒ ඒ ආකාරයෙන් යම් විස්මයපත් කිරීමක් ඇත්තේ වේද එය සාමන්තජප්පන කුහන වස්තුව නමි. මේ තැනැත්තේ සිව්පසය දැරීමෙන්, මේ මේ පිළිවෙලට ක්‍රියා කරන තැනැත්තේ උත්තරී මනුස්ස ධර්ම ඇති කෙනෙකැයි හඟවා ලාභ සත්කාර ලබා ගනිති.
3. ඉරියාපථ සන්නිසිත කුහන වස්තුව - මේ ශාසනයෙහි ළාමක අදහස් ඇති, ඉච්ඡායෙන් මඩනා ලද, බුහුමන් ලබනු කැමැති භික්ෂුව “මෙසේ කළ කල්හි මහාජනයා මට බුහුමන් කරත්”යි සිතා ගමන් කරයි, තමා රහත් කෙනෙකැයි හෝ ධ්යානලාභියෙක කියා හෝ මහජනයාට දැනෙනසේ, දුටුවන්ට වැටහෙනසේ යයි සිටියි, හිඳියි, හොවියි, පැනෙන තැන සමවතට සමවන්නාමෙන් හිඳියි. මෙසේ ඉරියව් පැවැත්වීම් වශයෙන් දක්වන කුහක බවෙක් වෙයි ද එය ඉරියාපථ සඞ්ඛ්‍යාත කුහන බව යයි කියනු ලැබේ.