ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලය
චිවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර යන සිව්පසය උපායයෙන්, නුවණින් දැන ප්රත්යවෙක්ෂා කොට පරිභෝග කිරීම පච්චය සන්නිස්සිත සීලය නම් වේ.
1. චීවර පරිභෝගය:-
පටිසංඞ්ඛායොනිසො චිවරං පටිසෙවාමි යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය යාවදෙව හිරිකොපින පටිච්ඡාදනත්ථං යනාදී වශයෙන් මහණ තෙම නුවණින් ප්රත්යවෙක්ෂා කොට චිවර පරිභෝගය කටයුතු. එහි අර්ථය නම්:- “මම නුවණින්, උපායයෙන් මාර්ගයෙන් දැන පරීක්ෂා කොට තුන් සිවුරු අතුරෙන් යම් සිවුරක් වැළඳ ගනිමි, හඳිමි, පෙරවමි. එය මතු දක්වන ප්‍රයෝජනය පිණිසම ය. ඉන් වැඩියක් පිණිස නොවෙයි. ඒ ප්‍රයෝජන නම් - ශීතයාගේ ද, ශීතජවරාදිය ඉපදීමට කාරණාවූ ඇතුළත ධාතු කැළඹිම්, පිටත්හි ධාතු පෙරළීම් වශයෙන් උපන් යම් කිසි ශීතයක්හුගේ ද නසනු පිණිස ය, ශීත පීඩා නූපදනු පිණිස ය. ලැව්ගිනි ආදියෙන් හටගත් ගිනි, උෂ්ණය නසනු පිණිසය, වැළකීම පිණිසය. ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, දූලි ඇති, දූලි නැති වාතයෝ ය, සූර්ය්ය තාපය නොහොත් සූර්ය්ය රශ්මිය ය, සර්පාදී දීර්ඝජාතිහුගේ දෂ්ට කිරීම්, ඇඟවැදගැනීම් යනාදි ස්පර්ශ වළක්වනු පිණිසය. තවද අඞ්ගජාතාදී සම්බාධස්ථාන විවෘත කළ කල්හි ලජ්ජාව නැතිවේ ද, කිපේ ද, විනාශවේ ද, ඒ ස්ථාන මුවහ කිරීම පිණිස මේ සිවුරු දරමි.” යනුයි.
2. පිණ්ඩපාත පරිභෝගය
පටිසංඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවාමි නෙවදවාය, න මදාය, න මණ්ඩනාය, න විභුසණාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා, යාපනාය, විහිංසු- පරතියා, බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණං ච වෙදනං පටිහංඛාමි. නවං ච වෙදනං නඋප්පාදෙස්සාමි යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරොචාති. යනාදි වශයෙන් මහණ තෙම නුවණින් ප්රත්යවේක්ෂා කොට පිණ්ඩපාත පරිභෝගය කටයුතු. එහි අර්ථය නම්:-
“මම නුවණින්, උපායෙන්, මාර්ගයෙන් දැක පරීක්ෂා කොට කන බොන දෑ ආදී වශයෙන් වැළඳිය යුතු යම්කිසි ආහාරයක් පිඬුසිහීමෙන්, පාත්‍රයෙහි පිඬු වශයෙන් පතිත කරණ ලද හෙවත් බහාලන ලද හෙයින් පිණ්ඩපාත නම් වූ ඒ ආහාරය හෙවත් පිඬු සමූහය වළඳමි. ඒ අහර වැළඳීම හෙවත් ඒ පිණ්ඩපාතය ගම්දරු ආදීන් මෙන් කෙලිසෙල්ලම් පිණිස නොවේ ය. බලමද, පුරුෂමද කාරණා කොට ගෙන ද නොවළඳමි. සැරසීම පිණිස හෝ අඞ්ග ප්රත්යඞ්ගයන්ගේ ස්ථූලභාවය පිණිස ද නොවෙයි. නෘත්යකාරාදීන් මෙන් ප්‍රසන්න වූ ඡවි වර්ණය පිණිස, අලඞ්කාරය පිණිස ද නොවළඳමි. යම්තාක් පඨවි, ආපො, තෙජො, වායෝ යන සතර මහා භූතයන් නිසා පවත්නා වූ මේ රූපසමූහය නම් වූ කායයාගේ නොහොත් රූපස්කන්ධ පරම්පරාවගේ සිටීම පිණිස ද, යැපීම පිණිස ද, නොහොත් ජීවිතින්ද්රියයාගේ පැවැත්ම, නොසිඳීම බොහෝ කල් සිටීම පිණිස ද, බඩගිනි ආදියෙන් වන වෙහෙස සංසිඳුවන පිණිස ද, බඹසරවසට අනුග්‍රහ පිණිස නොහොත් සියලු ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවට ද මාර්ග බ්රහ්මචර්යාසඞ්ඛ්යාත මාර්ග ඵලයන්ට අනුග්‍රහ පිණිස නොහොත් බ්‍රහ්මචර්යාව සම්පාදනය කරණු පිණිස ද තෘෂ්ණාවෙන් ආහාරයෙහි ගිජු නො ව, මුළා නො ව පිණ්ඩපාතය වළඳමි. මෙසේ ආහාර ගැනීමට පෙර පැවැති යම් ක්ෂුධා වේදනාවක් වේද ඒ පුරාණ වේදනාවන් ද නසමි. පමණ නොදැන බොහෝ කොට වැළඳීමෙන් ඇතිවන නොයෙක් අළුත් දුක්ඛ වේදනාවන් ද නො උපදවමි. බෙහෙතක් වළඳනා ගිලනකුමෙන් පිණ්ඩපාතය වළඳමි. මාගේ මේ පිණ්ඩපාත අනුභවය කරණකොටගෙන ජීවිතින්‍ද්‍රියය සිඳලන්නා වූ ද, ඉරියව් බිඳලන්නා වූ ද උවදුරු දුරුවන හෙයින් මේ කායයාගේ බොහෝ කල් පැවතීම සඞ්ඛ්‍යාත යාත්‍රාව ද වන්නේ ය. මිථ්‍යාආජීවයෙන් ප්‍රත්‍යය සෙවීම ය පමණ නොදැන බොහෝ කොට පිළිගැනීම ය, ප්රත්යවේක්ෂා නොකොට ප්‍රත්‍යය පරිභෝග කිරීමය යන මෙයින් වැළකී දැහැමින් ලබාගත් පිණ්ඩපාතය පමණ දැන පිළිගෙන, ප්රත්යවේක්ෂා කොට වැළඳීම නම් වූ නිරවද්‍ය භාවය හා පමණ දැන වැළඳීමෙන් වන්නාවූ සැප විහරණය ද වන්නේ ය” යනුයි.
නොසැපවූ ආහාර පමණ නොදැන වැළඳීම හේතුකොට ගෙන අරති නම් වූ අරණ්‍ය සේනාසනයෙහි හා, ධ්‍යාන භාවනායෙහි ද නො ඇලීම ය. තන්දි නම් වූ නිදිමත බව ය, විජම්භිකා නම් වූ ඇඟමැලි හැරීම ය, විඤ්ඤූ ගරහ නම් වූ නුවණැත්තන් විසින් ගර්හා කටයුතු බවට පැමිණීම ය යන මේ දෝෂ නැති කල්හි නිරවද්‍ය බව වෙයි.
තවද සතර පස් පිඩක් නොවළඳා ජලය පානය කිරීම යෝගාවචර භික්ෂුවගේ සැපවිහරණයට ප්‍රමාණ වේ.
මෙසේ නිවැරැදි බවෙහි පිහිටීම ද වන්නේ ය යි සිතා සිව්පසය අනුභව කළ යුතු.
තවද මෙහි නෙවදවාය කී තන්හි මෝහයට උපනිශ්‍රය කාරණා වළක්වනු, නසනු පිණිස ද, නමදාය යන්නෙන්
ද්වෙෂයට උපනිශ්‍රය කාරණා වළක්වනු පිණිස ද, නමණ්ඩණාය, නවිභූසණාය යන්නෙන් රාගයට උපනිශ්‍රය කාරණා වළක්වනු පිණිස ද, නදවාය නමදාය යන දෙකින් තම සතන්හි උපදනා කෙලෙස් සංයෝජනයන්ගේ ඉපදීම වැළැක්වීම පිණිස ද, නමණ්ඩණාය, නවිභූසණාය යන දෙකින් අන් සතන්හි උපදනා කෙලෙස් සංයෝජනයන්ගේ ඉපදීම වැළැක්වීම පිණිස ද, මේ සතරම නුවණින් පුරණ ප්රතිපත්තීන්ගේ ද, කම් සැපෙහි ඇලීමෙහි ද ප්රහාණය පිණිස ද වදාරණ ලද බව දත යුතු.
3. සේනාසන පරිභෝගය
පටිසඞ්ඛා යොනිසො සේනාසනං පටිසෙවාමි, යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකස වාතාතප සිරිංසප සප්ඵස්සානං පටිඝාතාය යාවදෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්ථං යනාදි වශයෙන් මහණ තෙම නුවණින් පරීක්ෂා කොට සේනාසන පරිභෝග කටයුතු. එහි අර්ථය නම්:-
“මම නුවණින්, උපායෙන්, මාර්ගයෙන් දැන පරීක්ෂා කොට යහන් හෙවත් විහාරයෙක හෝ ප්‍රාසාදයක හෝ මැසි ආදියක හෝ හෝනා තැන් ද, අසුන් හෙවත් පුටු ආදි හිඳින තැන් ද පරිභෝග කරමි. මේ සේනාසන පරිභෝගය හුදෙක් සීතයාගේ වැළකීම පිණිස ද උෂ්ණයාගේ වැළකීම පිණිස ද, ඩැහැ ලේබොන මැසිය, මදුරුවෝ ය, වාතයෝ ය, සූර්ය්ය සන්තාපය ය, දීඝීජාතීන්ගේ ස්පර්ශය යන මේ ආදීන්ගේ වැළකීම පිණිස ය. එසේම හුණු බව සිහිල් බව යනාදී විඩාවෝ සෙනසුන්වලින් වැළකෙන හෙයින් ද, උපන් පීඩා සංසිඳවීමත් නූපන් පීඩා නූපදවීමත් සිදුවන හෙයින් ද ඍතු පීඩා නසනු පිණිසය කර්මස්ථානාරම්මණයෙහි සිත ඇලීම පිණිසය” යනුයි.
ශීතෝෂ්ණාදි ඍතු විඩාවත්, සිංහ ව්යාඝ්රාදීන්ගෙන් වන උපද්‍රවත්, රාගද්වේෂාදි අප්‍රකට උපද්‍රවත්, නොසැප වූ රූප දැකීම් ආදියත් වළක්වනු පිණිස සෙනසුන් සේවනය කරන්නෙමියි ප්රත්යවේක්ෂා කොට සෙනසුන් සෙවීම් උතුම්.
4. ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝගය
පටිසඞ්ඛායෝනිසො ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං පටිසෙවාමි, යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය අබ්‍යාපජ්ජ පරමතාය යනාදී වශයෙන් මහණ තෙම නුවණින් පරීක්ෂා කොට ගිලන්පස බෙහෙත් පිරිකර වැළඳිය යුතු. එහි අර්ථය නම්:-
“මම නුවණින් උපායයෙන්, මාර්ගයෙන් දැන පරීක්ෂා කොට ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමි. මේ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝගය හුදෙක් හටගත්තාවූ ද, පහළ වූවාවූ ද, රෝගයන්ගේ ද, ව්යාබාධයන්ගේ ද, ධාතූන්ගේ කැළඹීම් හා එයින් හටගත්තාවූ කුෂ්ට, ගණ්ඩ, පිළිකාදීන්ගේ ද හේතුවෙන් වන අකුසල විපාක දුක්ඛ වේදනාව නසනු පිණිස ය. නිදුක පරම බව පිණිස ය. රෝගය සංසිඳවන තෙක් පමණ ය” යනුයි.
මෙහි ගිලන්පස යනු ධාතු කැළඹීම් ලක්ෂණ කොට ඇති, එම හේතුවෙන් උපදනා දුක් වේදනා ලක්ෂණ කොට ඇති, රෝගයට විපක්ෂ වූ, රෝගය සංසිඳ වන ගිතෙල් ආදි වූ යම්කිසි පථ්යයකි.
භෙසජ්ජ නම් භිෂජ් සඞ්ඛ්‍යාත වෙදහු විසින් අනුදන්නා ලද බැවින් වෙදෙකුගේ කර්මය භෙසජ්ජ හෙවත් බෙහෙද නම්. ගිලනුන්ගේ පසට බෙහෙත් වූ හෙයින් ගිලානපච්චය භෙසජ්ජ යයි කියනු ලැබේ.
පරික්ඛාර නම් පිරිවර යි. දිවිනසන්නා වූ රෝගාබාධයන්ගේ ඉපදීමට අවකාශ නොදී රක්ෂා කරණ හෙයින් දිවිපැවැත්මට පිරිවරද වේ. ජීවිතය බොහෝකල් පැවැත්මට කාරණා ද ප්‍රත්‍යය ද වෙයි. මේ ජීවිත සම්භාරයෝ නම් ගිලන් බව දුරු කිරීමට සප්පාය වන, වෙදුන් විසින් නියම කළ තෙල්, මීපැණි ආදි ජීවිත පරිවාරයෝ ය.
මෙසේ නුවණින් සලකා චීවරාදි සිව්පස පරිභෝගය ඇසුරු කළ සීලය පච්චයසන්නිසිත සීල නම්.
මේ සතර සංවර සීලය අතුරෙන්-
ප්රාතිමොක්ෂ සංවර සීලය, ශ්‍රද්ධායෙන් ද,
ඉන්ද්රිය සංවර සීලය, ස්මෘතියෙන් ද,
ආජීවපාරිසුද්ධි සීලය, වීර්‍ය්‍යයෙන් ද,
පච්චයසන්නිසිත සීලය, ප්‍රඥායෙන් ද සැපයිය යුතු වේ.
1. ප්රාතිමොක්ෂ සංවර සීලය.
ශික්ෂාපද පැණවීම ශ්‍රාවක විෂය ඉක්මවා සිටි බැවින් ප්රාතිමොක්ෂසංවර සීලය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද, ධර්මය කෙරෙහි ද, ශ්‍රද්ධාව කරණ කොට ගෙන ම සැපයිය යුතු.
එසේම ජීවිතයත්, එයට උපකරණත් ගැන ආශාව අත්හැර ප්රාතිමොක්ෂසංවර සීලය සැදැහැයෙන් ම රැකිය යුතු, එහෙයිත් කියන ලදී. “කිරළ බිජුවට රකින මෙන් ද, සෙමර වාලධිය රකින්නාක් මෙන් ද, මව්පියෝ එකම ප්‍රිය පුතකු රකින්නාක් මෙන් ද, එක් ඇස් ඇතියෙක් ඒ ඇස රකින්නාක් මෙන් ද ශීලය රක්නාහු හැම කල්හිම බුද්ධාදීන් කෙරෙහි ගෞරව ඇතිව මනාව ප්‍රියශීලී වව්.”
තවද මහමුහුද කිසිසේත් වෙරළ නොඉක්මවා ද, එසේම බුද්ධ ශ්‍රාවකයෝ ද, ජීවිත විනාශ වූව ද, එය නොසලකා, ශික්ෂාපද ස්වල්පයකුදු නොඉක්ම වන්නාහු ය.
පෙර දඹදිව වින්ධ්‍යා මහා අරණ්යයේදී එක්තරා ශ්‍රමණ කෙනෙක් සොරුන් විසින් තලා අමුවැලින් බැඳ තබා පියන ලදී. ඒ මහණතෙම ඇවතට පැමිණේ යයි බියෙන්, ප්‍රාණවත් වූ ඒ වැල නොකඩාම වැදහොත් සැටියෙන් ම හිඳ සත් දවසක් මුළුල්ලෙහි ම විදර්ශනා වඩා අනාගාමී ව, එයින් සැව බඹලොව උපන.
තවද, ලක්දිව එක් තෙරනමක් සොරුන් විසින් අමු රසකිඳ වැලින් බඳින ලදුව සිටි කල්හි ඇති වූ ලැව් ගින්නක් නැගී එන කල ද, ප්‍රාණවත් වූ ඒ රසකිඳ වැල සිඳ දැමී නම් භූතගාම පාතව්යතාපත්තියට පැමිණෙති යි බියෙන් වැල නොසිඳම භාවනා කොට, විදසුන් වඩා, ජීවිත සමසිසීව කෙලෙසුන්ට හිසක් වැනිවූ අවිද්‍යාව, මාර්ග පටිපාටියෙන් ගොස් රහත්මගින් ක්ෂය කළ ඉක්බිති, එකුන්විසි (19 වැනි) ප්රත්යවේක්ෂා ඤාණයෙහි පිහිටා භවාඞ්ගපාත වූ කල්හි, ආත්මයාගේ පැවැත්මට හිසක් වැනි වූ ජීවිතේන්ද්රියය චුතිචිත්තයා විසින් ක්ෂය කරනු ලැබ පිරිනිවන් පා වදාළ සේක. ක්ලේශ ශීර්ෂයක් වූ අවිද්‍යාවත්, ආත්මශීර්ෂයක් වූ ජීවිතේන්ද්රිය යත් එකවරම නිරුද්ධ වූවාහු ය. ඉක්බිති එම මග වඩනා පන්සියයක් පමණ පිරිවරකොට ඇති දීඝභාණක අභය මහ තෙරුන් එම දාගිය සිරුර දැක, ආදාහන කෘත්‍යය කරවා, අස්ථි ධාතු ගෙන දා ගැබක් කරවා වැඩියාහ.
මෙසේ ජීවිත හානිය වුවත් නුවණ ඇති තැනැත්තේ ශික්ෂාපද නොබිඳින්නේ ය.
2. ඉන්ද්රිය සංවර සීලය
සිහියෙන් ආරක්ෂ කරණ ලද චක්ෂුරාදි ඉන්ද්රියයන්ගේ පසුපස්සෙහි විෂම ලොභාදි පාප ධර්මයෝ ලුහුබැඳ නොයන හෙයින් ඉන්ද්රිය සංවර සීලය සතියෙන් හෙවත් සිහියෙන් ම සැපයිය යුතු වේ. ආදිත්තපරියාය සුත්‍රයෙහි, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, රත් වූ, හාත්පසින් දිලිහෙන, එකම ගිනිදැලින් යුක්ත වූ අයෝමය නාරාසනයකින් හෙවත් හුලකින් ඇස පිරිමදින ලද්දේ වී නම් එය උතුම් වන්නේ ය. ඇසින් දැක්ක යුතු වූ රූපාලම්බණයන් කෙරෙහි, කෙලෙසුන්ගේ ඉපදීමට සුදුසු ආකාරයෙන් අත් පා ආදි වූ අනුවියදුන් හෙවත් අනුබ්යඤ්ජනයන්ගේ වශයෙන් ස්ත්‍රී පුරුෂාදීන් කෙරෙහි සුභාදී නිමිත්තග්‍රහණය උතුම් නො වන්නේය”යි වදාළ සේක. මනාකොට නොසපයන ලද ඉන්ද්රියසංවර සීලය ඇති කල්හි ප්රාතිමොක්ෂසංවර සීලය ද කල්නොපැවැත් විය යුතු වෙයි.
වැට නොබැඳි, නොරැකි ගොයම ගවාදීන් විසින් නසනු ලබන්නේ වේ ද, හරණ ලද දොර ඇති ගම සොරුන් විසින් පැහැරගනු ලබන්නේ වේ ද, එමෙන් ම ඉන්ද්රියසංවරය නමැති දොර නොවසන ලද කල්හි මේ ප්රාතිමොක්ෂසංවර සීල නමැති ධනය, රාග, ද්වේෂ, මොහාදී කෙලෙස් නමැති සොරුන් විසින් පැහැර ගනු ලබන්නේ ය. නපුරු කොට සෙවිලි කරණ ලද ගෙයක් හාත්පසින් තෙමන්නා වූ වර්ෂාවක් මෙන්, රාග නමැති වර්ෂාව මොහුගේ සිත තෙමන්නේ ය. මැඩ ලන්නේ ය.
අළුත මහණ වූ වඞ්ගීස නම් මහණ කෙනෙක්, අනඳ මහ තෙරුන් සමග පිඬුසිගා වඩනා කල්හි, එක් ස්ත්‍රියක් දැක පිළිබඳ සිත් ඇතිවිය. එවිට ඒ හික්ෂුව අනඳ මහ තෙරුන්ට මෙසේ කීය.
“කාමරාගෙන ඩය්හාමි - චිත්තං මේ පරිඩය්හති
සාධු නිබ්බාපනං බ්‍රෑහි - අනුකම්පාය ගොතම.”
කාමරාග නම් ගින්නෙන් මා දවනු ලැබේ. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතම පුත්‍රයාණෙනි, ඒ රාගගින්න නිවීමට උපායක් වදාරණු මැනව” කියායි. එවිට අනඳ තෙරණුවෝ වදාරණ සේක්-
“අයහපත් අරමුණෙහි යහපතැයි පැවති තොපගේ විපරීත සංඥාව හේතුකොට ගෙන, තොපගේ සිත රාග නමැති ගින්නෙන් දැවෙයි. එහෙයින් රාගය ඉපදීමට කාරණා වූ, යහපතැයි සිතා ගන්නා ලද ඒ අරමුණ මෙනෙහි නොකිරීමෙන් දුරුකරව. ඒ ස්ත්‍රී රූපය අශුභ වශයෙන් සළකා, අශුභාරම්මණයෙහි එකඟ වූ සිත මනා කොට පිහිටුවා තොපගේ සිත භාවනාවෙන් වඩව, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය වශයෙන් ද, ඉපදීමෙන් හා බිඳීමෙන් ද පෙළෙන හෙයින් දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද බලව. තුන්ලොවම මැඩපවත්වා සිටියා වූ මහත් වූ තෘෂ්ණා නමැති ගින්න සතර මග සතර ඵල නමැති ජලයෙන් පිළිවෙළින් ගොස් නිවව. දැන් තෝ රාග ගින්නෙන් දෑවාක් මෙන් නැවත නැවතත් නොදව”යි වදාළාහ. වඞ්ගීසස තෙරුන් ආනන්ද මහ තෙරුන්ගෙන් මේ දහම අසා රාගය දුරුකොට ගෙන පිඬු පිණිස හැසුරුණු සේක.
චිත්තගුත්ත නම් මහතෙර නමක් ලක්දිව කරඬු මහලෙන්හි වාසය කළ සේක. ඒ ලෙන තුළ, විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසඳ, කොනාගම, කාශ්‍යප, ගෞතම යන සත් බුදුවරයන් වහන්සේලා මහබිනික්මන් අයූරු විසිතුරු කොට අඳින ලද්දේ විය. එක් කාලයෙක්හි බොහෝ භික්ෂුහු විහාර බලමින් යන්නාහු, මේ ලෙනට ද පැමිණ එහි විසිතුරු බලන්නේ මෙය දුටහ. උන්වහන්සේලා දුටු ඒ සිතියම් ගැන චිත්තගුත්ත තෙරණුවන්ට දැන්වූ කල්හි, ඒ තෙරණුවෝ “මෙහි සැට වසකට අධික කලක් වසන්නේ මෙය නුදුටිමි. දැන් තොප ඇස් ඇත්තා වූ හෙයින් ඒ බව දැනගතිමි” කීහ. ඒ තෙරණුවෝ වියදඬු පමණ දුරමුත් උඩ නො බලන්නේ ය. ලෙන දොරකඩ ඇති මහා නාරුකෙහි මල්හට ගත් බව දන්නේ බිම මල් රේණු දුටු විට ය. එකල්හි මාගම වසන රජ තෙමේ චිත්තගුත්ත තෙරුන් ගුණ අසා, උන්වහන්සේ දැක වඳිනු කැමැතිව තුන් වරක් දූතයන් යවා ගෙන්වා ගත නොහැකිව, දරුවන්ට කිරි දෙන මවුන් තන-පටින් බැඳ මුද්‍ර තබා ඒ තෙරුන් නුවරට වඩනා තෙක් දරුවන්ට කිරි නොලැබේවායි කියා අණ කෙළේය. තෙරුන් වහන්සේ එ බව අසා දරුවන්ට අනුකම්පාවෙන් නුවරට වැඩි සේක. ඒ බව අසා, සිල් ගැනීමට ය කියා රජතෙම ගෙන්වාගෙන දන් වළඳවා, වැඳ, සිල්ගැනීම ද තෙරුන් දකිනු රිසියෙන් සත්දවසක් ම කල් දැමූහ. රජහු ද, දේවීන් ආදීහු ද වඳින කල්හි “මහරජ සුවපත් වේවා”යි කියන්නේ ය. පසුව යන අනික් තෙරහු මෙය අසා කුමක් නිසා හැමටම “මහරජ සුවපත් වේවා” යි කියා දැයි ඇසීය. “ඔවුන්ගේ විශේෂයක් නොපෙනෙන බැවින් කීමි” යි කීහ. මෙසේ සත්දවසක් ම ඇතුළු නුවර වුසූ තෙරුන්ට දුක් වන්නේ යයි දැන රජතෙමේ තෙරුන් කරඬු මහලෙනට යැවූහ. එහි ගොස් පළමු දා ම භාවනාව පිණිස සක්මනට නැගි වේලේ නාරුක වැසි දෙව්දූ, තෙරුන් සිල් පිරිසුදු බව දැක, දඬුවැට පහනක් ගෙන ආලොක කරමින් සිටියාය. ඒ දින තෙරුන්ට කර්මස්ථාන අරමුණ වෙනදාට වඩා පැහැදිලිව පහළ වූයේ ය. මෙසේ සතුටු වූ තෙරණුවෝ භාවනා කොට මැදුම් යම් දස පැය කෙළවර සියලු පර්වතය පෘථිවි කම්පාවෙන් නාද කරවමින්, එහි වැසි දෙවියන්ගේ සාදුකාර පූජා ලබමින් සතර මග සතර ඵලයට පැමිණ වදාළහ.
එහෙයින් කියන ලදී:- “නොයෙක් දෙස බලන වල් වඳුරකු මෙන් ද, සිංහාදීන්ට භය වූ මුවකු මෙන් ද, මව්පියන් ළඟ නැති කල භයින් ඔබමොබ බලන ළදරුවකු මෙන් ද, වටපිට බලන චංචල වූ ඇස් ඇත්තෙක් නොවව්. ඇස්යට හෙළමින් වියදඬු පමණ බැලුම් ඇති ව වල් වඳුරකු මෙන් චංචල වූ සිතේ වසඟයට නොගොස් විසිය යුතු”
මහා මිත්ත ස්ථවිරයන්ගේ මවට ගෙඩියක් සෑදී ගිලන් වූවාය. එවිට ඈ තම දියණියන් වූ මෙහෙණින්හට කථාකොට සොහොයුරු තෙරුන් වෙත ගොස්, මෙපවත් දන්වා බෙහෙතක් අසාගෙන එවයි කීය. ඈ තෙරුන්ට මෙපවත් කීය. එවිට තෙරුන් මෙසේ කීය. “අපි බෙහෙත් සාදන්නට නොදනිමු. එහෙත් අප පැවිදි තැන් පටන් මෙතෙක් ලෝභ සහගත සිතින්, ඉන්ද්රිය සංවර සීලය බිඳගෙන, විසභාග රූපයක් නො බලන ලද්දේ ම ය. මේ සත්‍යයෙන් මවට සුවවේවායි සත්‍යක්‍රියා කොට, මේ වචනයෙන් මව් ඇඟ පිරිමදිව් කියා මෙහෙණින් යැවීය. ඈ ද ගොස් එසේ කළාය. මව් ඇඟ හටගෙන තුබූ ගඬද එකෙණෙහි ම සුවවිය. මව් නැගිට, ප්‍රීතියෙන් කියනුයේ “අද අප බුදුන්වහන්සේ වැඩ සිටිසේක් නම් ශ්‍රීහස්තයෙන් මපුතණුවන් හිස නො පිරිමැද සිටීදැ” යි කීය.
මෙසේ ඉන්ද්රියසංවර සීලය සමෘතියෙන් ම සැපයිය යුතු බව දතයුතු.
3. ආජීවපාරිසුද්ධි සීලය.
මනාකොට පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තාහට ම මිථ්‍යා ආජීවය දුරුවේ. නුසුදුසු, අයුතු ප්‍රත්‍යය සෙවීම දුරු කොට, වීර්‍ය්‍ය කරණ කොට ගෙන, පිඬු සිඟීම් ආදී වූ, මනා වූ ප්‍රත්‍යය සෙවීමෙන් ආජීවපාරිසුද්ධිය සැපයිය යුතු වේ. හෙතෙමේ අපිරිසුදු ව උපන් සිව්පසය විසඝෝර සර්පයන් මෙන් දුරු කරන්නේ ය. දහම් දෙසීම් ආදියෙන් ප්‍රසන්න වූ දායකයන්ගෙන් ලබන ලද පසය පිරිසුදු ය. පිණ්ඩපාතාදියෙන් ලබන ලද සිවුපසය පිරිසුදු ය.
ධුතාඞ්ග සමාදන් වූ භික්ෂුවහට පිණ්ඩපාතයෙන් හෝ ගුණයන්ට පැහැදී දායකයන්ගෙන් ලබන ලද පසය ද පිරිසුදු ය.
ලෙඩක් සංසිඳවනු පිණිස ලැබුණු අරළු හා සීනි, මී, තලතෙල්, ගිතෙල් යන චතුමධුරයක් වේ ද, ඒ චතුමධුරය සෙසු භික්ෂූන්ට තබා අරළු වළඳන්නේ වී නම් එය ඉතා සුදුසු ය. ඔහුට ආර්‍ය්‍යවංශ ඇති මහණ යයි ද කියනු ලැබේ.
ධුතාඞ්ගධර වූ හෝ ධුතාඞ්ගධර නොවූ හෝ ආජීවය පිරිසුදු කරගනු කැමැති භික්ෂුවට, චීවර හා පිණ්ඩපාතය පිළිබඳ, නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති යන සතරම නොවටනේ ය.
සෙනාසන පිළිබඳව ධුතාඞ්ගධර නොවූ භික්ෂුවහට නිමිත්ත, ඔභාස, පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නොවටනේ ය.
මෙහි නිමිත්ත නම්- සෙනසුන් පිණිස බිම් සමතලා කිරීම් ආදී පිරියම් කරන මහණ හට ගිහියන් විසින් කුමක් කරන්නේ ද කවරෙක් මෙය කරවන්නේ දැයි කී කල්හි දායකයෙක් නැතැයි පිළිවදන් දීම හෝ අනිකුදු එබඳු නිමිති කර්මයක් වේ නම් එයට නිමිත්ත යයි කියනු ලැබේ. එය අසා ගිහියෝ අපි එය කරදෙන්නෙමු යයි කියා කරදෙත්.
ඔභාස නම්- භික්ෂු තෙම ගිහියන් දැක, “උපාසකවරුනි, තෙපි කොහි වසව් දැ”යි ඇසූ කල්හි, “අපි ප්රාසාදවලය”යි කී කල්හි “භික්ෂූන්ටත් ප්‍රාසාද නොකැප දැ”යි අසයි. මෙය හෝ මෙබඳු අනෙක් විධි හෝ ඔභාස යයි කියනු ලැබේ.
පරිකථා නම්- දායකයන් හමුවී “උපාසකවරුනි, භික්ෂු සඞ්ඝයාට සෙනසුන ගැහටය. නොපොහොනේය” යනාදි වශයෙන් අභිමතය හඟවන වචන කීම ය.
විඤ්ඤත්තියෙන් නිපන් චීවර, පිණ්ඩපාත, සේනාසන යන ප්‍රත්‍යය තුනම අකැපය. විඤ්ඤත්තිය නම් නොනෑ, නොපැවැරූවන් ගෙන් ඉල්ලීම ය.
බෙහෙත් සෙවීමේදී රෝගාතුර වූ භික්ෂුවහට නිමිත්ත, ඔභාස, පරිකථා, විඤ්ඤත්ති යන සතරම කැපය. එහෙත් රෝගය සංසිඳුන කල්හි එය නොකැප වන්නේ ය. මෙසේ බුදුන්වහන්සේ විසින් අනුකම්පාවෙන් අනුදැන වදාළ නමුදු එය නොකර, අල්පෙච්ඡතාදි ගුණයෙන් ම වසන්නේ නම් ඒ භික්ෂුව සැරියුත් මහතෙරුන් මෙන් වසන්නේ යයි කියනු ලැබේ.
අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ එක් අරණ්‍යයක විවේක සුවය විඳිමින් වැඩ සිටිනා කල්හි, දිනක් සැරියුත් මහතෙරණුවන්ට බඩරුජාවක් උපන. එයින් දුක් වේදනා ද ඇතිවිය. මුගලන් තෙරණුවෝ එය දැක, පෙර මෙවැනි ආබාධයක් ඇති වූ කල්හි කුමන බෙහෙතකින් සුවවී දැයි අසා, ගිහි ව සිටිකල්හි මෑණියන් පිළියෙල කර දුන් ගිතෙල්, මී, සකුරු යොදා සකස් කළ කිරි බතකිනැයි කී හෙයින් අපගේ පිනෙක් වේ නම් සෙට දින එය ලැබේ යයි මුගලන් තෙරණුවෝ කීහ. සක්මන කෙළවර වෘක්ෂාධි ගෘහිත දෙව්දුව මෙය අසා සෙට මේ බෙහෙත මා විසින් ලබා දිය යුතු යයි සිතා මුගලන් තෙරුන්ගේ කුලුපග දායකයන් ගෙදර වැඩිමහල් පුත්‍රයාහට ආවේශ වී බඩරුජාවක් ඇති කොට, ඔහු ගේ පිරිස පැමිණි කල්හි මෙසේ කීය. සෙට දින මුගලන් තෙරුන් වැඩිකල මේ පිළිවෙළින් සකස් කළ කිරිබතක් පුදන්නහු නම් මොහු හැර යන්නෙමි යි කීය. ඔව්හු ද එසේ පිළියෙල කොට පසුදින උදෑසන මුගලන් මහ තෙරණුවන් වැඩි කල්හි පාත්‍රය ගෙන පාත්‍රය පුරවා කිරිබත් වළඳවා නැවත ද කිරිබතින් පාත්‍රය පුරවා පිළිගැන් වූයේ ය. උන්වහන්සේ ද කිරිබත් පාත්‍රය ගෙන ගොස් සැරියුත් මහ තෙරුන්වහන්සේට පිළිගැන් විය. සැරියුත් තෙරුන්වහන්සේ එය බලා ඉතා සුදුසු කිරි බතෙකැයි දැන, එය කෙසේ ලැබුණේ දැයි දීවැසින් බලනුයේ තමන් වහන්සේගේ බස් අසා සිටි දෙව් දුව නිසා ලැබූ බව දැන මුගලන් මහතෙරුන් අමතා මේ ආහාරය ඉවත දමන්න. අතුණු නික්ම බිම වැතිර ගිය ද වාග්විඥප්තියෙන් නිපන් ආහාරය වළඳන්නට නුසුදුසුය”යි වදාළ සේක. මුගලන් තෙරණුවෝ ද එසේ කළ සේක. සැරියුත් මහ තෙරුන්ගේ බඩරුජාව ද එකෙණෙහි ම සුවවිය. පරිනිර්වාණය තෙක් ඒ ආබාධය නැවත හට නොගත්තේ ය.
මෙසේ ආජීව පාරිසුද්ධි සීලය වීර්‍ය්‍යයෙන් ම සැපයිය යුතු වේ.
4. ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය
සිව්පසය ප්රත්යවේක්ෂා නොකොට පරිභෝග කිරීමෙහි ආදීනව හා ප්රත්යවේක්ෂා කොට පරිභෝග කිරීමෙහි අනුසස් ද දැකීම නුවණින් හෙවත් ප්රඥාවයෙන් ම සිද්ධ කට යුතුවේ.
ප්රත්යවෙක්ෂා කිරීම දෙවැදෑරුම් වේ. එනම්-
- චීවරාදි ප්‍රත්‍යයන් ලත් කල්හි ප්රත්යවෙක්ෂා කිරීම.
- චීවරාදි ප්‍රත්‍යයන් පරිභෝග කරණ කල්හි ප්රත්යවෙක්ෂා කිරීමය.
1. ප්‍රත්‍යය ලත් අවස්ථායෙහිදීම ඒ ප්‍රත්‍යයෝ සතරමහා භූතයන් නිසා හටගත්තාහුය. එහෙයින් ධාතු මාත්‍රයෙකැයි ධාතු වශයෙන් හෝ මේ ප්‍රණීත වූ චීවරාදි සිව් ප්‍රත්‍යයෝ දෙතිස් කුණපයෙන් පිරී තිබෙන්නා වූ ශරීරයට පැමිණ පිළිකුල් වන්නාහු යයි පිළිකුල් වශයෙන් හෝ ප්රත්යවෙක්ෂා කළ යුතු.
පරිභෝගය සිව්වැදෑරුම් වේ. එනම්:-
- ථෙය්‍ය පරිභෝගය,
- ඉණ පරිභෝගය,
- දායජ්ජ පරිභෝගය,
- සාමි පරිභෝගය.
1. ථෙය්‍ය පරිභෝගය- බුදුන්වහන්සේ විසින් සිල්වත් භික්ෂූන්ට අනුදැන වදාළ බැවින් ද, දායකයන් විසින් “අපි සිල්වත් සඞ්ඝයාවහන්සේට දෙම්හ”යි දෙන ලද බැවිනුදු, සිල්වතුන් අයත් පසය. යමෙක් දුශ්ශීල ව සඟමැද හිඳ වළඳන්නාහු නම් එය සඟසතු දැය සොරා කෑමක් වන හෙයින් ථෙය්‍ය පරිභෝග නම් වේ.
2. ඉණ පරිභෝගය- සිල්වත් භික්ෂූව වුව ද, ප්රත්යවෙක්ෂා නොකොට වළඳන්නේ නම් ඒ පරිභෝගය ණය කෑමක් වන හෙයින් ඉණ පරිභෝග නම් වේ. සිවුරු කයෙන් පහකොට හඳනා පොරෝනා ක්ෂණයක් පාසාම ප්රත්යවෙක්ෂා කොට ම හැඳිය යුතු. පෙරවිය යුතු. දානය වළඳනා විට පිඩක් පිඩක් පාසාම ප්රත්යවෙක්ෂා කොට වැළඳිය යුතු එසේ නොහැකිවූයේ නම් පෙරවරු කාලයෙහි හෝ ප්රත්යවෙක්ෂා කටයුතු. එසේත් නොහැකි වී නම් පස්වරු කාලයෙහි හෝ පෙරයම් දසපැයෙහි හෝ පසුයම් දස පැයෙහි හෝ ප්රත්යවෙක්ෂා කළ යුතු ය. මෙසේත් ප්රත්යවෙක්ෂා නොකොට සිටියදීම අරුණු නැංගේ නම් ඒ භික්ෂුව ඉණ පරිභෝගයට අසුවූයෙක් වෙයි. නොහොත් ඒ පරිභෝගයට ණය ගැතියෙක් වෙයි. සෙනසුන් පරිභෝග කරන හැම විටෙකම ප්රත්යවෙක්ෂා කළ යුතු. බෙහෙත් පිරිකර පිළිගන්නා කල්හි ද පරිභෝග කරන කල්හි ද ප්රත්යවෙක්ෂා කළ යුතු. පිළිගන්නා කල්හි ප්රත්යවෙක්ෂා කළ ද ඉදින් පරිභෝග කරන කල්හි ප්රත්යවෙක්ෂා නො කෙළේ නම් ඇවැත් වේ. පිළිගන්නා කල ප්රත්යවෙක්ෂා නොකළ ද පරිභෝග කරන කල ප්රත්යවෙක්ෂා කෙළේ නම් ඇවැත් නොවේ. පිළිගන්නා කල්හි ද වළඳනා කල්හි ද ප්රත්යවෙක්ෂා නොකෙළේ නම් ඇවැත් වෙයි.
මෙහි සුද්ධිය හෙවත් පිරිසුදු බව සතරවැදෑරුම් වේ. එනම්, දෙශනා සුද්ධිය, සංවර සුද්ධිය, පරියෙට්ඨි හෙවත් පය්යෙර්ෂණ සුද්ධිය සහ පච්චවෙක්ඛණ සුද්ධිය යි.
- දෙශනා සුද්ධිය - ඇවැත් දෙසා ගැනීමෙන් පිරිසුදු වන හෙයින් ප්රාතිමෝක්ෂ සංවර සීලය, දෙසනා සුද්ධිය නම් වේ.
- සංවර සුද්ධිය - නැවත මෙබන්දක් නොකරන්නෙ මැයි සිතින් ම ඉටාගැනීම් වශයෙන් චිත්තාධිෂ්ඨාන සංවරයෙන් පිරිසුදු වන බැවින් ඉන්ද්රිය සංවර සීලය සංවර සුද්ධිය නම් වේ.
- පරියෙට්ඨි හෙවත් පය්යෙර්ෂණ සුද්ධිය - එක්විසි වැදෑරුම් අයුතු ප්‍රත්‍යය සෙවීම් දුරුකොට දැහැමෙන් සෙමෙන් සිව්පසය උපදවන්නාහට යහපත් සෙවීම් ඇති හෙයින් ආජීවපාරිසුද්ධි සීලය පරියෙට්ඨි සුද්ධිය නම් වේ.
4. පච්චවෙක්ඛණ සුද්ධිය - ප්රත්යවේක්ෂා කොට ප්‍රත්‍යය පරිභෝග කිරීමෙන් පිරිසුදු වන හෙයින් පච්චයසන්නිශ්රීත සීලය පච්චවෙක්ඛණ සුද්ධිය නම් වේ.
3. දායාද පරිභෝගය - සප්ත ශෛක්ෂ පුද්ගලයන්ගේ පරිභෝගය දායාද පරිභෝගය නම් වේ. සප්ත ශෛක්ෂයෝ වනාහි බුදුන්වහන්සේගේ ඖරස පුත්‍රයෝ ය. පියසතු පසයට උරුමවූ පුද්ගලයෝව සිව්පස පරිභෝග කරන්නාහ. සිව්පසය වනාහි දායකයන් විසින් දෙනු ලබන්නක් වුවද බුදුන්වහන්සේ විසින් අනුදැන වදාරණ ලද හෙයින් බුද්ධ සන්තක වෙති. එබැවින් ඒ ශෛක්ෂයෝ බුදුන්වහන්සේගේ පසය අනුභව කරන්නෝ වෙත්.
4. සාමි පරිභෝගය - රහතන්වහන්සේගේ සිව්පස පරිභෝගය සාමි පරිභෝගය නම් වේ. තෘෂ්ණාවට දාස වන ස්වභාවය ඉක්මවූවන් හෙයින් රහතන්වහන්සේලා සිව්පසයට ස්වාමියෝ ය.
මේ සතර පරිභෝගයන් අතුරෙන් දායාද පරිභෝගයන් සාමි පරිභෝගයන් උතුම් වේ.
සැහැල්ලු පැවතුම් ඇති පෘථග්ජන භික්ෂුවගේ ප්‍රත්‍යය පිළිබඳ ආශාව දුරුකොට ප්‍රත්‍යයෙහි නො ඇලුණු සිතින් පරිභෝග කිරීම සාමි පරිභෝගය වැනි හෙයින් ද, සිල්වත් පුහුදුන් මහණ තෙම සිහියෙන් යුක්ත ව ප්රත්යවේක්ෂා කොට සිව්පසය පරිභෝග කිරීම දායාද පරිභෝගය වැනි හෙයින් ද, සිල්වත් ගුණවත් භික්ෂුවගේ මේ දෙයාකාර පරිභෝගයට ඒ සාමි පරිභෝග දායාද පරිභෝග යන දෙකම ඇතුළත් වෙත්. ථෙය්‍ය පරිභෝගය සහ ඉණ පරිභෝගය ද භික්ෂුවට කිසිසේත් නොවටනේ ය. එ හෙයින් අග්‍රවූ සාමි පරිභෝගයම පතා ප්රත්යවේක්ෂා කොට පරිභෝග කිරීමෙන් ප්රත්යසන්නිශ්රීත සීලය ප්‍රඥායෙන් ම සැපයිය යුතු යයි කියන ලදී. මෙසේ පරිභෝග කරන්නාවූ මහණ තෙම සුදුසු සැටි ද, පැමිණි කල් ද දත් මහණ යයි කියනු ලැබේ.
මේ චතුපාරිශුද්ධිය හැර පරියන්ත පාරිසුද්ධි සීලය, අපරියන්ත පාරිසුද්ධි සීලය, පරිපුණ්ණ පාරිසුද්ධි සීලය, අපරාමට්ඨ පාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලය යයි පඤ්චවිධ පාරිසුද්ධි සීලයෙක් ද යට දක්වන ලදි.
මොවුන් අතුරෙන් සීමාරහිත ශික්ෂාපද රක්නා උප සම්පන්න භික්ෂුවගේ අපරියන්ත පාරිසුද්ධි සීලය අම්බඛාදක මහාතිස්ස ස්ථවිරයන්ගේ කථා වස්තුවෙන් දත හැකිවේ. මුන්වහන්සේ දුර්භික්ෂ කාලයෙක දුර ගමනක් යන්නේ පිඬු පිණිස ගමකට වැඩ, එහි භික්ෂාව නො ලැබුනේ, ක්ලාන්තව, අඹගසක් යට සිහිල් සෙවණේ වැතිර හොත් සේක. තමන්වහන්සේ සමීපයෙහි වැටී තිබූ ඉදුණු අඹ ගෙඩි දැක එය පිළිගන්වන්නට කෙනෙකු නැති හෙයින් ඇවැතට පැමිණිය හැකි බැවින් නොගෙන සිටිසේක. මග යන එක් උපාසකයෙක් ක්ලාන්ත වූ මේ ස්වාමීන් වහන්සේ දැක අඹ කපා මිරිකා එහි පැනි තෙරුන්වහන්සේට පෙවී ය. එයිනුදු සුවපත් නොවූ හෙයින් උපාසක තෙම මුන්වහන්සේ කරපිට නංවා ගෙන සිය ගමට ගෙනයන අතර මගදී උන්වහන්සේ සිහිසන් ලැබ තමහටම අවවාද දෙනසේක්-
“න පිතා න පි තෙ මාතා - න ඤාති න පි බන්ධවො
කරොතෙ තාදිසං කිච්චං - සීලවන්තස්ස කාරණා.”
“යනුවෙන් මේ තාගේ පියා ද නොවේ. මව් ද නොවේ. නෑ ද නො වේ. බන්ධු ද නොවේ. සිල්වත් බව හේතු ගෙන ම මේසා කෘත්‍යයක් කෙරේ.” යයි සිතා එහිම යමින් විදසුන් වඩා රහත් වූහ. එහෙයින් කියන ලදි-
“සංවෙගං ජනයිත්වාන - සම්මසිත්වාන යොනිසො,
තස්ස පිට්ඨි ගතො සන්තො - අරහත්තං අපාපුණිං.”
සංවෙග උපදවා නුවණින් සම්මර්ශනය කොට ඔහුගේ පිට උඩ යන්නේම රහත් බවට පැමිණියේ ය.
තවද, සැටවයස් ඉක්මගිය මහාසඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ මරණ මඤ්චකයෙහි වැඩහුන් සේක් එහි වැඩම කළ භික්ෂු සංඝයා වහන්සේ “අධිගත ලොකොත්තර ධර්ම ඇති සේක්දැ” යි ඇසූහ. උන්වහන්සේ නැතැයි පිළිවදන් දුන් සේක. ඒ ඇසූ උපස්ථායක ළදරු භික්ෂුවක් උන්වහන්සේට මෙසේ සැල කළහ. “ස්වාමීනි, නුඹවහන්සේ පිරිනිවි සේකැයි හාත්පස දොළොස් යොදුනෙක මහජනයා රැස් වූහ. ඔබවහන්සේගේ පෘථග්ජන කාලක්‍රියායෙන් මහත් විපිළිසරයෙක් වන්නේ ය.” කියායි. එවිට උන්වහන්සේ, “ඇවැත්නි, මම මෙතේ බුදුන් දැක නිවන් දක්නා අදහසින් විදසුන් නොවැඩූයෙමි. එසේ නම් මා වඩා හිඳුවා අවකාශයක් දෙවයි” කීහ. භික්ෂුව ද එසේ කොට පිටතට නික්මුණේය. එසේ නික්මෙන්නා හා සමගම උන්වහන්සේ විදසුන් වඩා රහත් බවට පැමිණ අසුරු ගැසීමෙන් සංඥා කළ සේක. එහි රැස් වූ මහාසඞ්ඝයා වහන්සේ “මරණ මොහොතේදී ලොකොත්තර ගුණ ඉපදවීමෙන් දුෂ්කරයක් කරණ ලද්දේ” යයි කීහ. ඒ තෙරහු “දුෂ්කරය නම් මා මේ ඇසිල්ලෙහි රහත්වීම නොවේ. දුෂ්කර දෙයක් මම කියමි. මම පැවිදිවූ කාලයෙහි පටන් මතක නැතිව, නොදැන කළ දෙයක් සිහිනොවෙති, දුෂ්කරය නම් එයයි” කීහ.
විශේෂාධිගමයෙහි විනා කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ඒ පිණිසම හළ ජීවිත ඇතිවූ වන්ගේ පරිපුණ්ණ පාරිසුද්ධි සීලය මෙයින් ප්‍රකට වේ.
තවද, සැවැත් නුවර තිස්ස නම් කෙළෙඹි පුත්‍රයෙක් සතළිස් කෙළක් ධනය අත්හැර පැවිදිව අරණ්‍යයෙහි විසීය, උන්වහන්සේගේ සොහොයුරාගේ භාර්‍ය්‍යාව උන්වහන්සේ මරණු සඳහා සොරුන් මෙහෙයූවාය. ඒ සොරු ගොස් උන්වහන්සේ පිරිවරාගත්හ. “තොපි කුමට අවුදැ”යි විචාරා “නුඹවහන්සේ මරණු සඳහා” යයි කී කල්හි කුමක් පිණිස දැයි ඇසූහ. ධනය සඳහා යයි කී කල ඇපයක් ගෙන අද එක රැයට මා නොමරණු හැකි දැයි ඇසීය. එයට නොකැමැති වූ හෙයින් තෙරුන්වහන්සේ මහත් ගලක් ගෙන තමන්වහන්සේගේ කළවා ඇටය බිඳගෙන මේ ඇපය මද දැයි විචාළේය. එවිට සොරු නිසැකව, සක්මන් කෙළවර ගිනිවැල් ගසාගෙන හොත්හ. තෙරුන්වහන්සේ ද, ඉවසීමෙන්, වේදනා මැඩපවත්වා ස්වකීය පාරසුද්ධි සීලය ප්රත්යවේක්ෂා කරන සේක් ප්‍රීති ප්‍රමෝද්‍යය උපදවා විදර්ශනා වඩා අරුණොද්ගමනයෙහිදී අර්හත් බවට පැමිණි සේක. මෙය මුන්වහන්සේගේ අපරාමට්ඨ පාරිසුද්ධි සීලය නම්.
තවද, එක්තරා මහාතෙරනමක් ඉතා ගිලන්ව, සියතින් අහර වළඳන්නට පවා අසමර්ත්ථව සියමල මූලයෙහි ම ඔබ මොබ පෙරලෙමින් සිටියේ ය. ඒ දුටු ළඳරු භික්ෂු නමක් “ඛේදයෙකි, ජීවිත සංස්කාර දුක්ය” යි පැවසීය. එවිට ඒ තෙරුන්වහන්සේ, “ඇවැත්නි, මම දැන් මැරෙන්නෙම් ස්වර්ගසැප ලබමි. මට එහි සැපයක් නැත. එහෙත් මේ සීලය බිඳගෙන ලබන සැපය නම් ශික්ෂා බැහැර කොට ලබන ගිහි බව වැනි ය. මම සීලය සමගම මැරෙන්නෙමි”යි කියා එහිම හිඳ ඒ රෝගයම සම්මර්ශනය කොට විදසුන් වඩා රහත් බවට පැමිණ වදාළ සේක. මෙය ද මුන්වහන්සේගේ අපරාමට්ඨ පාරිසුද්ධි සීලය නම්.
පහාණ සීල, වෙරමණී සීල, චේතනා සීල, සංවර සීල අවීතික්කම සීල යයි දක්වන ලද පඤ්චවිධ සීලයන් පිළිබඳව ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන්ගේ ප්රහාණය වන පිළිවෙල මෙසේ දත යුතු:-