ලපනා
ලාභ සත්කාර කීර්ති ප්‍රාර්ථනා කරන්නා වූ, පාපිෂ්ට වූ, ලෝභයෙන් මඩනා ලද භික්ෂුවකගේ අනුන් පිළිබඳ වූ යම් ආලපනාවක්, ලපනාවක්, සල්ලපනාවක්, උල්ලපනාවක්, සමුල්ලපනාවක්, උන්නහනාවක්, සමුන්නහනාවක්, උක්කාවනාවක්, සමුක්කාවනාවක්, අනුප්පියභාණිතාවක්, චාටුකම්‍යතාවක්, මුග්ගසුප්යතාවක්, පාරිභට්ටතාවක්, වේද එය ලපනා යයි කියනු ලැබේ.
ආලපනාව නම් විහාරස්ථානයට පැමිණි මිනිසුන්ට “පින්වත කුමක් පිණිස අවුද” යනාදී වශයෙන් පළමු කොටම කථාවට පටන්ගැනීම නොහොත් “මාගැන අසුවල් රජවරු ආදීහු මෙසේ පැහැදී සිටිති” යනාදී වශයෙන් තමා උසස් තැන තබා කථා කිරීමයි. ලපනාව නම් යම් කෙනෙක් තමා ගැන ඇසුයේ නම් යටකී පිළිවෙලට කීම ය.
සල්ලපනාව නම් ප්‍රත්‍යය දායකයන්ගේ කලකිරීමක් වූවහොත් අලාභයකැයි සිතා ඔවුන්ට ද අවකාශ තබ තබා කථා කිරීම ය.
උල්ලපනාව නම් ප්‍රත්‍යය දායකයාහට මේ මහාධනවන්තයා ය, මහාදානපතියා ය යනාදී වශයෙන් ඉසුරු සම්පත් ආදියෙන් උසස් කොට ගරුනම්බු දී බිණීම
සමුල්ලපනාව - දායකයා පිළිබඳව සත්මුතු පරම්පරාව දක්වා උසස්ය යනාදී වශයෙන් හැම අතින්ම උසස් කොට කථා කිරීම.
උත්තහනාව - “උපාසකවරුනි, පෙර තෙපි මෙබඳු කාලයෙහි අග්‍රශස්‍යය, අග්‍ර ඵලාදී අළුත් අළුත් දානයන් දුන්නාහ. දැන් කුමක් හෙයින් එබඳු දානයක් නොවේදැ”යි කියයි. ඔව්හු “ස්වාමීනි, එබඳු දෑ දැනුදු දෙම්හ, අවකාශ නොලබම්හ”යි යනාදිය කියනතෙක් මතු මත්තෙහි බැඳීම හෙවත් වචනයෙන් වෙලීම උත්තහනා නම්.
සමුත්තහනාව - හාත්පසින් ම නැවත නැවතත් ප්‍රත්‍යය දායකයා අවුලේලා බැඳීම තෙක් කථා කිරීම සමුත්තහනා නම්.
උක්කාචනාව - මේ කුලය මා මෙසේ හඳුනයි. ඉදින් මේ ගෙයි යම් දිය යුතු දාන වස්තුවක් උපන්නේ වී නම් මටම දෙන්නේ යයි මෙසේ උසස්කොට හැඟවීම, උසස් කොට ප්‍රකාශ කිරීම උක්කාචනා නම්.
සමුක්කාචනාව - හාත්පසින් නැවත නැවතත් උසස් කොට ප්‍රකාශ කිරීම සමුක්කාචනා නම්.
අනුප්පියහාණිතාව - සත්‍යයට සුදුස්සක් හෝ අන්‍යවූ සුභාෂිත ධර්ම වචනයට සුදුස්සක් හෝ නොබලා නැවත නැවත ප්‍රිය තෙපුල් බිණීම අනුප්පියහාණිතා නම්.
චාටුකම්‍යතාව - තමා යටහත් පැවතුම් ඇති බව හෝ ප්‍රත්‍යය දායකයා උසස් කොට තමා යට යට කොට තබා පැවැත්ම චාටුකම්‍යතා නම්.
මුග්ගසූප්පතාව නම් මුංඇට සූපයක් වැනි බවයි. මුං සූපයෙහි ඇතැම් ඇට පැසී ඇතැම් ඇට නොපැසී තිබෙන්නාක්මෙන් මොහුගේ කිසි වචනයක් සැබෑවෙයි සෙස්ස බොරුවෙයි.
පාරිභට්ටතා - දරුවන් වඩන්නහුගේ ස්වභාවයයි. කිරිදරුවන් වඩන්නාවූ කිරිමවක් මෙන් ඇකයෙන් හෝ කරින් හෝ ප්‍රත්‍යය දායකයන්ගේ දරුවන් වඩාගැනීම පාරිභට්ටතා නම්.