අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සීලය කිළිටිවීම හෝ පිරිසුදුවීම

සීලය - ඛණ්ඩවීමෙන්, ඡිද්‍රවීමෙන්, සබලවීමෙන්, කල්මාෂ වීමෙන් කිළිටි වේ.

සීලයාගේ පිරිසුදු බව, අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාෂ වීමෙන් සිදු වේ.

ලාභ, යස, ඥාති, අඞ්ග, ජීවිත, අපෙක්‍ෂා කොට වන සීලසමාදානයෙන් හා සප්තවිධ මෛථුන සංයෝගයෙන් ද සීලය කිලිටි වේ.

ඛණ්ඩ සීලය - පාරාජිකා, සඞ්ඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනිය, දුක්කට, දුබ්භාසිති යන සප්ත ආපත්ති ස්කන්‍ධයන් අතුරෙන් යම් ආපත්ති ස්කන්‍ධයක ආදියෙහි හෝ අන්තයෙහි හෝ ශික්‍ෂාපදයෙක් යමකු විසින් බිඳපියන ලද්දේ ද, ඔහුගේ සීලය කෙළවර කැඩීගිය වස්ත්‍රයක් වැනි හෙයින් ඛණ්ඩ සීල නම් වේ.

ජිද්‍ර සීලය - යම් ආපත්ති ස්කන්‍ධයක මධ්‍යයෙහි ශික්‍ෂා පදයෙක් බිඳපියන ලද්දේ ද, එය මැද සිදුරු වස්ත්‍රයක් වැනි හෙයින් ජිද්‍ර සීල නම් වේ.

සබල සීලය - යම් ආපත්ති ස්කන්‍ධයක පිළිවෙලින් ශික්‍ෂාපද දෙකක් තුනක් බිඳපියන ලද්දේ ද, පිට හෝ කුස හෝ නැගි කලු, රතු ආදී වර්‍ණ ඇති කබර දෙනක් වැනි හෙයින් සබල සීල නම් වේ.

කල්මාෂ සීලය - යම් ආපත්ති ස්කන්‍ධයෙක අතරින් අතර ශික්‍ෂාපද බිඳපියන ලද්දේ ද, අතරින් අතර විසභාග පැහැ ඇති තිත් දෙනක් වැනි හෙයින් කල්මාෂ සීල නම් වේ.

සප්තවිධ මෛථුන සංයෝගයෝ නම්
  1. ඇතැම් මහණ බමුණු කෙනෙක්, තුමූ සම්‍යක් බ්‍රහ්මචාරි යයි ප්‍රතිඥා කරන්නේ, ස්ත්‍රීන් හා සමඟ මෙවුන්දම් සේවනය නො කරති. එහෙත් ඔවුන් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, නැහැවීම්, අත් පා මැඩීම් ආදිය ඉවසති. ආස්වාදනය කරති. කැමති වෙති. සතුටු වෙති. මෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩ ද, ජිද්‍ර ද, සබල ද, කල්මාෂ ද වෙයි. ඔව්හු මෛථුන සංයෝගයෙන් යුක්ත වූ, අපිරිසුදු බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසිරෙන්නෝ ය. ඔව්හු ජාති, ජරා, මරණාදී වූ දුකින් නො මිදෙන්නාහ.
  2. ඇතැම් මහණ කෙනෙක් එසේ ද නොකරති, නොඉවසති. නමුත් ඔවුන් සමග කෙලෙස් වශයෙන් සිනාසෙති. සෙල්ලම් කරති. මමත්‍වය කරති. මෙයින් ද බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂද වෙයි.
  3. ඇතැම් මහණ කෙනෙක් එසේ ද නොකරති. නමුත් ස්ත්‍රීන් ඇසින් ඇස පැහැර බලති. මෙයින් ද බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂද වෙයි.
  4. ඇතැම් මහණ කෙනෙක් එසේ ද නොකරති, නමුත් බිත්තියෙන්, ප්‍රාකාරයෙන් පිටත සිට සිනාසෙන, කථාකරන, ගායනාකරන, හඬනා ස්ත්‍රියගේ ශබ්දය අසත්. මෙයින් ද බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂ ද වෙයි.
  5. ඇතැම් මහණ කෙනෙක් එසේ ද නොකරති. නමුත් පෙර ස්ත්‍රීන් සමග කළ සිනා, කථා, ක්‍රීඩා සිහි කරති. මෙයින් ද බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂ ද වෙයි.
  6. ඇතැම් මහණ කෙනෙක් එසේ ද නොකරති. නමුත් පඤ්චකාමයෙන් සමර්පිත, සමඞ්ගීභූත ගෘහපතීන් හෝ ගෘහපති පුත්‍රයන් හෝ දැක පඤ්චකාමය කැමති වෙති. මෙයින් ද බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂ ද වෙයි.
  7. ඇතැම් මහණ කෙනෙක් එසේ ද නොකරති. නමුත් එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්‍ත්‍ථනා කොට ගෙන “මම ශීලයෙන් හෝ වෘතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යායෙන් හෝ ප්‍රසිද්ධ දෙවියෙක් හෝ අප්‍රසිද්ධ දෙවියෙක් හෝ වෙම්වා”යි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙති. මෙයින් ද බ්‍රහ්මචර්‍ය්‍යාව ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂ ද වෙයි.

මේ සප්තවිධ මෛථුනය කරණ කොට ගෙන ද භික්‍ෂුවගේ සීලය ඛණ්ඩද, ජිද්‍රද, සබලද, කල්මාෂද වන බැවින් එයින් යුක්ත වූ, අපිරිසුදු බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසිරෙන භික්‍ෂුව, ජාති, ජරා, මරණාදී දුකින් නො මිදෙන්නේ ය.