නෙමිත්තකතා
ලාභ සත්කාර කීර්ති කැමැතිවන්නාවූ, ලාමකවූ, ලෝභයෙන් මඩනා ලද භික්ෂුවගේ අනුන් පිළිබඳවූ යම් නිමිත්තයෙක්, නිමිත්ත කර්මයෙක්, ඕභාසයෙක්, ඕභාස කර්මයෙක්, සාමන්තජප්පාවෙක්, පරිකථාවෙක් වෙයි ද එය නෙමිත්තකතා යයි කියනු ලැබේ.
නිමිත්ත - ප්‍රත්‍යය දීමට සංඥා උපදවනු පිණිස අනුන්ට කයින් හෝ වචනයෙන් හෝ කරන යම්කිසි ක්‍රියාවෙක් වේ නම් එය නිමිත්ත නම්.
නිමිත්තකම්ම - කෑමක් ගෙන යන්නවුන් දැක “කුමක්ද කෑමක් ලැබුවහුදැ” යි යනාදී වශයෙන් නිමිති කිරීම නිමිත්තකම්ම නම්.
ඕභාස - අද භික්ෂූන්ට සිව්පසය දුර්ලභය යනාදීන් ප්‍රත්‍යය පිළිබඳ කථාවෙන් තමාගේ අදහස හැඟවීම ඕභාස නම්.
ඕභාසකම්ම - වස්සන් රක්නවුන් දැක කිමෙක් ද උපාසකවරුනි මේ වස්සෝ කිරිදෙනුන්ගේ වස්සෝ ද, මොහොර දෙනුන්ගේ වස්සෝදැයි යනාදී ක්‍රමයෙන් විචාරා, වහන්ස කිරිදෙනුන්ගේ වස්සෝයයි කී කල්හි, කිරිදෙනුන්ගේ වස්සෝ නොවන්නාහුය. ඉදින් කිරිදෙනුන්ගේ වස්සෝ වූවාහු නම් භික්ෂුහුද කිරිලබන්නාහු නොවෙත්දැයි මේ ආදී වශයෙන් ඒ වස්සන් බලන දරුවන්ගේ මච්පියනට දන්වා කිරිදෙවීම කරවන කථා ආදිය ඔභාස කම්ම නම් වේ.
සාමන්තජප්පා නම් තමා කැමති වස්තුව ආසන්න කොට දෙඩීමයි.
එක්තරා කුලූපග භික්ෂුවක් වළඳනු කැමැතිව ප්‍රත්‍ය දායිකාවගේ ගෙට වැද අසුනක වැඩහුන්නේ ය. දායිකාව නොදෙනු කැමැතිව සහල් නැතැයි කියා සහල් සොයන පිණිස යයි අඟවා අසල ගෙයකට ගියා ය. එවිට භික්ෂුව ගෙයතුලට වැද එහි දොරමුල්ලේ තුබූ උක්දඬු ද, භාජනයක තිබූ සකුරු කැට ද, පැසයෙහි ලුණුමස් කැදැල්ල ද, සැලියෙහි සහල් ද, කලයෙහි ගිතෙල් ද බලා ගෙනවිත් වහාම හුන් තැනම සිටියේ ය. දායිකාවද සහල් නොලදිමියි කියාගෙන ආවාය. මෙය ඇසූ මහණ තෙම කියන්නේ අද භික්ෂාව නොලබන බවට නිමිත්තක් දුටිමි. මම විහාරයෙන් පිටත්ව එද්දී දොරමුල්ලේ තිබූ උක්දඬු වැනි සර්පයකු දුටිමි. ඔහුට ගසනු පිණිස ගල්කැට බලන්නේ බඳුනෙහි තුබූ සකුරු කැට මෙන් ගල් කැට ගෙන ගැසීමි. එවිට ඒ සර්පයා අර පසෙහි තිබූ ලුණුමාලු පෙත්ත මෙන් පෙණය ඔසවා ගිල ගනු කැමැතිව කට අරිනුයේ සැලියෙහි තුබූ සහල් වැනි දත් දුටිමි. කිපුණා වූ ඒ සර්පයාගේ කටින් වැකුණු කෙල, බඳුනෙහි තිබූ ගිතෙල් මෙනැයි කීය. දායිකාව ද මේ මුඩු මහණ රවටන්නට බැරියයි සිතා බත් පිස මස් සමඟ පිළිගැන්වූවාය.
මෙසේ ආසන්න කොට බිණීම සාමන්තජප්පා නම් වේ.
පරිකථා - යම්සේ ඒ ලාභය ලැබේද ඒ ආකාරයෙන් පෙරළ පෙරළා කී තෙපුල්ම නැවත නැවත කීම ය.
නිප්පෙසිකතා - ලාභසත්කාර කීර්ති කැමැතිවන්නාවූ ළාමක අදහස් ඇති ලෝභයෙන් මඩනා ලද භික්ෂුවගේ පරහට යම් අක්කොසනාවක්, වම්භනාවක්, ගරහණා- වෙක්, උක්ඛෙපණාවෙක්, සමුක්ඛෙපනාවෙක්, ඛිපනාවක් සංඛිපනාවක්, පාපනාවෙක්, සම්පාපනාවෙක්, අවණ්ණ- හාරිතාවෙක්, පරපිට්ඨිමංසිකාවෙක් වන්නේ ද එය නිප්පෙසිකතායයි කියනු ලැබේ.
අක්කොසනා - ආක්රොසයට භයින් සිව්පසය දේයයි සිතා දශවිධ ආක්‍රොශ වස්තුවෙන් බිණීම අක්කොසනා නමි.
වම්භනා - ළාමක කොට බිණීම වම්භනා නමි.
ගරහනා - තෝ අශ්රද්ධායෙහිය, නොපහන් තැනැත්තෙහිය, යනාදීන් දොස් පවරා බිණීම ය.
උක්ඛෙපනා - මොහු කෙරෙහි කිසිවක් නොකියවයි කියා උපාසකයන් දායකාදිභාවයෙන් පිටත දැමීම.
සමුක්ඛෙපනා - දායකයා දෙවන කර්මයක් කෙළේය. මොහුට අනිකක් නොකිය යුත්තේයයි වස්තුව සහිත කොට හෝ මේ මේ කාරණයෙනුදු මොහුට අනිකක් නොකිය යුත්තේ යයි කාරණ සහිත කොට හෝ භාත්පසින් දායක භාවයෙන් දුරු කිරීමයි. දන් නොදෙන්නක්හට මොහු ඉතා දානපතියෙක යනාදී වශයෙන් මනාකොට දුරු කිරීමයි.
ඛිපනා - මොහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජන ද, මෙතෙම බිජුවට කන්නේයයි යනාදීන් අපහාස කිරීම.
සංඛිපනා - කුමක් හෙයින් මොහු නොදෙන සුල්ලහයි කියව් ද, මෙතෙමේ හැමකල්හිම සියලු දෙනාටම නැතැයි කියන වචනය දෙන්නේ ය. මෙසේ මනාකොට අපහාස කිරීම.
පාපනා - ප්‍රත්‍යය දායකයා දන් නොදෙන්නෙක් බවට හෝ නුගුණයට හෝ පැමිණවීමයි.
සම්පාපනා - හාත්පසින්ම අදායක බවට හෝ නුගුණයට හෝ පැමිණවීමය.
අවණ්ණභාසිතා - මොහුගේ නුගුණ කීකල ඊට භයින්වත් මොහු ප්‍රත්‍යය දේයයි සිතා ගෙයින් ගෙට, ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට නුගුණ ගෙන ගොස් කීම ය.
පරපිට්ඨිමංසිකතා - අභිමුඛයෙහි මිහිරිකථා කියා, අනභිමුඛයෙහි නුගුණ කීමය. අභිමුඛය නොබැලිය හැක්කහුගේ පිටමස් කෑමක් වැනි හෙයිනි.
ශරීරයේ ගැල්වූ දෙයක් පිස්නා හුණදඬු පොත්තක් මෙන් අනුන්ගේ ගුණ පිස්නේ වේද, සුවඳ ද්‍රව්‍යයක් අඹරා සුවඳ සොයා ගන්නාක් මෙන් අනුන්ගේ ගුණ සුණු කොට මේ ලාභය සොයන්නේ වේද, මේද එබඳු වූ හෙයින් නිප්පෙසිකතා යයි කියනු ලැබේ.
ලාභෙන ලාභං නිජිගිංසනතා ලාභයෙන් ලාභය සෙවීම නම් ලාභසත්කාර කීර්තිකාම් ළාමක වූ අදහස් ඇති ලොභයෙන් මඩනා ලද භික්ෂු තෙම මේ ගෙයින් ලද ආමිෂය අනෙක් ගෙයකට ගෙන යයි. ඒ ගෙයින් ලත් ආමිෂය මේ ගෙට ගෙන එයි. මෙබඳු වූ ආමිෂය පිළිබඳ යම් කැමැත්තක්, සෙවීමක්, නැවත නැවත සෙවීමක් වේද එය ලාභයෙන් ලාභය සෙවීම නම් වේ යයි කියනු ලැබේ.
ස්වල්ප ලාභයකින් වංචාකොට බොහෝ වූ ලාභයක් ලබන්නට සෙවීම නිජිගිංසනතා නම්. මේ ගෙයින් ලද සිව්පස ලාභය අනෙක් ගෙට ගෙන ගොස් දී වැඩි ලාභයක් ලබා ගැනීමයි. මද ලාභයකින් මහත් ලාභයක් ලබා ගැනීමට එට්ඨි යයි කියනු ලැබේ. ස්වල්ප ලාභයකින් මහත් ලාභයක් සෙවීම පරියෙට්ඨි නම්.
තවද, “පාපධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම” යයි කී තන්හි පාපධර්මයන්ගේ යනු - දායකයන් විසින් කම්පල අදහා දෙන ලද සිව්පසය පරිභෝග කොට ඒ මහණ බමුණෝ තිරශ්චීන විද්‍යා සඞ්ඛ්‍යාත වූ මිථ්‍යාජීවයෙන් දිවිපවත්නාහු වෙත් ද එය වේ.
මිථ්යාජීවයෝ නම්:-
- අඞ්ග විද්‍යාව - අත්පා ආදි අවයවයන්ගේ ලක්ෂණ බලා ගුණාගුණ කීම.
- නිමිති ශාස්ත්‍ර - පක්ෂි හඬ ආදිය අසා ගුණාගුණ කීම.
- උත්පාත ශාස්ත්‍රය - උල්කාපාත, භූමිකම්පා ආදිය බලා මෙබඳු ඵලාපල වේයයි කීම.
- ස්වප්න ශාස්ත්‍ර - මෙබඳු ස්වප්නයක් දුටුයේ නම් මෙබඳු විපාකයෙක් වේ යයි කීම.
- ලක්ෂණ ශාස්ත්‍ර - මෙබඳු ලක්ෂණයෙන් යුත් ස්ත්‍රී හෝ පුරුෂයා හෝ මෙබඳු වේ යයි කීම.
- මූසිකච්ඡින්න ශාස්ත්‍රය - වස්ත්‍රාදියෙහි අසුවල් භාගයෙහි මියන් කෑකල මෙබඳු විපාක වේයයි කීම.
- අග්ගිහෝම ශාස්ත්‍රය - මෙනම් ගින්නෙන් හෝම පූජා කිරීමෙන් මෙබඳු විපාක වේයයි කීම.
- දබ්බිහෝම ශාස්ත්‍රය - මෙනම් සැන්දකින් හෝම පූජා කිරීමෙන් මෙබඳු විපාක වේයයි කීම. යනාදි වශයෙන් ළාමක අකුසල කර්ම දත යුතු.
මෙසේ අනේක ප්‍රකාර මිථ්‍යාජීවයෙන් වෙන්ව විසීම ආජීව පාරිශුද්ධි ශීලය නම් වේ. එනම්, එසේ වෙන් වීමේදී පහළ වන කාමාවචර කුසල චිත්ත වීථින්ගේ ජවන් සිත් හා සමඟ යෙදුණු ත්‍රිවිධ විරති චෛතසික ධර්මයෝ ය.
ආජීව නම් මීට පැමිණ දිවිපැවැත්වීම යන අර්ථයයි.
දැහැමින් සෙමෙන් ප්‍රත්‍යය සොයන උත්සාහය වීර්යයෙන් ම සිද්ධ කටයුතු බැවින් එයට ප්‍රත්‍යය පර්යෝෂණ ව්‍යායාමය යයි කියනු ලැබේ.
ඒ ආජීවයාගේ පිරිසුදුතාවය, නිරවද්‍ය බව, පිඬුසිගිම් ආදියෙහි කම්මැලි නොවන බව උත්සාහයෙන් ම සිද්ධ කටයුතු.
පාරිශුද්ධි නම් ආජීවයාගේ පිරිසුදු බව, නිරවද්‍ය බවයි