අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සීල සම්පත්තියෙහි ආනිසංස

යමෙකුගේ සීලය නිර්මල වන්නේ ද, ඔහුගේ පා සිවුරු දැරීම ප්‍රසාදජනක වන්නේ ය. ප්‍රව්‍රජ්‍යාව ද ඵලවත් වේ.

හිරු කරා අන්‍ධකාරය නො එළඹෙන්නාක් මෙන් පිරිසුදු සිල් ඇති භික්‍ෂුවගේ හෘදය කරා අත්තානුවාදාදී හය නොඑළඹෙන්නේ ය.

අහසෙහි චන්‍ද්‍රයා ප්‍රභාසම්පත්තියෙන් බබලන්නාක් මෙන් තපොවනෙහි සිල්වත් භික්‍ෂු තෙම සීලසම්පත්තියෙන් බබලන්නේ ය.

සිල්වත් භික්‍ෂුවගේ කායගන්‍ධය ද දෙවියන්ට ප්‍රිය වන්නේ ය. ශීලගන්‍ධය ගැන කියනුම කිම.

තගර මල්ලිකාදී සියලු ගන්ධ ජාතීන්ගේ සුවඳ අභි භවනය කොට සීල සුගන්ධය සියලු දිසාවන්හි නොපැකිල හමන්නේ ය.

සිල්වත්හු කෙරෙහි කළ ස්වල්ප ක්‍රියා ද මහත්ඵල වන්නේ ය. එ හෙයින් සිල්වන්තයා පරලොව දුක්ඛයන් ගේ මූල ද කණන්නේ ය.

මනුෂ්‍යයන් අතර ඇතිතාක් සැප ද, දෙවියන් අතර ඇතිතාක් සැප ද කැමැති වෙතොත් සීලවන්තයාට දුර්ලභ නො වේ.

අත්‍යන්ත ශාන්ත වූ යම් නිර්‍වාණ සම්පත්තියක් වේද සීලවන්තයාගේ සිත ඒ නිවන් සැප කරාම දිවන්නේ ය.

නුවණ ඇති තැනැත්තේ සියල් සැපතට මුල්වූ සීලයෙහි මෙසේ අනේකාකාර විධවූ ආනිසංස ප්‍රකාශ කරන්නේ ය.

මෙසේ සීලවිපත්තියෙහි ආදීනව හා සීලසම්පත්තියෙහි ආනිසංස ද දැන සීලය පිරිසුදු කරගැනීම පිණිස උත්සාහ කටයුතු.

උපසම්පන්න භික්‍ෂූන්ගේ අපරියන්ත පාරිසුද්ධි සීල වශයෙන් විස්තර දක්වන ලද නමුත් අනුපසම්පන්නයන් විසින් ද ගිහියන් විසින් ද තම තමන් විසින් රකිනු ලබන යම් සීලයෙක් වේද එහි ශික්‍ෂාපද බිඳ නොගෙන, කිලිටි කර නොගෙන, නැවත නැවත සමාදන්ව දැහැමෙන් සෙමෙන් දිවි පැවැත්වීමෙන් දෙලෝ අභිවෘද්ධිය සාදා ගත යුතු. මෙය පළමුවන සීල විසුද්ධිය නම්.