සීලයෙහි ප්‍රභේද
- සීලනාර්ථයෙන් සියලුම සිල් එකවිධ වේ.
- තවද චාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලය යයි සීලය ද්විධ වේ.
එයින් භාග්‍යවතුන් වහන්සේ විසින් “මේ මේ දෙය කළ යුතුය” යයි පණවා වදාළ සේක් ද, ඒ ශික්‍ෂා පදයන්හි නියමිත සේ පිළිපැදීම චාරිත්‍ර සීලය නම් වේ. එසේම “මේ මේ දෙය නොකළයුතු” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂෙප කරණ ලද්දේ ද එය නොකිරීම් වශයෙන් පිළිපැදීම වාරිත්‍ර සීලය නම්. චාරිත්‍ර සීලය ශ්‍රද්ධායෙන් හා වීර්‍ය්‍යයෙන් ද සිද්ධ කළ යුතු ය. චාරිත්‍ර සීලය ශ්‍රද්ධායෙන් ම සිද්ධ කළ යුතු ය.
- අභිසමාචාරික සීලය, ආදිබ්‍රහ්මචරියක සීලය යයි ද සීලය ද්විධ වේ. අභිසමාචාරික සීලය නම් උතුම් හැසිරීම ය, එනම්, සොවාන් ආදී මාර්ග-ඵල සඳහා පණවන ලද සීලය යයි ආජීවට්ඨමක සීලය හැර සෙසු සිල් මෙහි ඇතුළත් වේ. තවද, බුද්දකාණුබුද්දක නොහොත් පචිති, දුක්කට, දුර්භාෂිත, ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නොකොට රැකීම අභිසමාචාරික සීල නමි. එසේම සුළුවග, මහවග දෙක්හි ආ කඳුවත් පිරීම ද අභිසමාචාරික සීලය නම් වේ.
ආදිබ්‍රහ්මචරියක සීලය නම් මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ආදියෙහි වූ ආජීවාෂ්ටමක සීලය යි එනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප, මිච්ඡාජීව යනාදියෙන් වැළකීම සඳහා සමාදන් ව ගන්නා සීලයයි. එසේම සංඝාදිසේස, පාරාජික යන මහා ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නොකොට රැකීම ද, භික්‍ෂු-භික්‍ෂුණී උභය විභඞ්ගයන්හි ආ ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නොකොට රැකීම ද ආදිබ්‍රහ්මචරියක සීලය නම් වේ. අභිසමාචාරික සීලය නොපුරා ආදිබ්‍රහ්මචරියක සීලය පිරිය නොහැකි බව දත යුතු.
4. විරති සීලය, අවිරති සීලය යයි ද සීලය ද්විධ වේ.
ප්‍රාණඝාතාදියෙන් වැළකීම් මාත්‍රය හෝ එම කුසල චිත්ත වීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන විරති චෛතසික තුන විරති සීලය නමි. එම කුසල චිත්ත වීථියෙහි ම පහළ වන සෙසු චෙතනාදී චෛතසිකයෝ අවිරති සීල නමි.
5. නිස්සිත සීලය, අනිස්සිත සීලය යයි ද සීලය ද්විධ වේ.
තණ්හා දිට්ඨි දෙකින් නිශ්‍රිත සීලය නිස්සිත සීල නමි. මේ සීලයෙන් මම දෙවියෙක් හෝ වෙමියි භවසම්පත් පැතීම් වශයෙන් පුරනු ලබන සීලය තණ්හානිස්සිත සීලයයි. සීලයෙන් ම සුද්ධිය වන්නේ යයි මිථ්‍යාදෘෂ්ටි වශයෙන් පුරන සීලය දිට්ඨිනිස්සිත සීලය යි.
මේ දෙවැදෑරුම් නිස්සිත සීලයෙන් වෙන් ව පුරනු ලබන ලෞකික ලෝකෝත්තර සීලය අනිස්සිත සීල නමි.
- කාලපරියන්ත සීලය, ආපාණ කොටික සීලය යයි ද සීලය ද්විධ වේ. කාල නියමයක් ඇතිව සමාදන්ව රක්නා සීලය කාලපරියන්ත සීල නමි. අෂ්ටාඞ්ග සීලය මෙනි. පඤ්චසීලය මෙන් දිවිහිම්කොට සමාදන්ව රක්නා සීලය ආපාණ කොටික සීලයයි.
- සපරියන්ත සීලය, අපරියන්ත සීලය යයි ද සීලය ද්විධ වේ. ලාභය, යසසය, ඥාතිය, අඞ්ගය, ජීවිතය යන මෙයින් කිසිවක් සීමා කොට රක්නා සීලය සපරියන්ත සීල නමි. ලාභ, යසස් ආදිය අපේක්‍ෂා කොට සිල්රක්නා පුද්ගල තෙම එම ලාභ යසස් ආදිය ලත් කල්හි සීලය අත්හරියි. ඒ සීලය කැඩුණු බිඳුණු සිල් බැවින් සමාධිය පිණිස හෝ නිවන් පිණිස හෝ නොපවතී. එසේ ලාභ, කීර්ති ආදිය සීමා නොකොට රක්නා සීලය අපරියන්ත සීල නමි. ඒ සීලය නොකැඩුණු නොබිඳුණු සීලයක් වන හෙයින් සමාධිය පිණිස හෝ නිවන් පිණිස හෝ පවතී.
- ලෞකික සීලය, ලෝකෝත්තර සීලය යයි ද සීලය ද්විධ වේ. භවසම්පත් ගෙනදෙන ආශ්‍රව සහිත වූ පෘථග්ජනයන්ගේ සියලු සීල ලෞකික සීල නමි. ආශ්‍රව රහිත වූ සෝවාන් ආදී ආර්‍ය්‍යයන්ගේ භව නිස්සරණය ගෙන දෙන සීලය ලෝකෝත්තර සීල නමි.
- හීන සීල, මජ්ඣිම සීල, ප්‍රණීත සීල යයි සීල ය ත්‍රිවිධ වේ. හීන සීලය- හීන වූ ඡන්ද, චිත්ත, විරිය, විමංසායෙන් පවත් වන ලද සීලය ද, කීර්ති, ප්‍රශංසා අපේක්‍ෂා කොට සමාදන් ව රක්නා සීලය ද, තමා උසස් කරගන්නා අදහසින් හෝ අනුන් හෙළා දක්නා අදහසින් හෝ අත්තුක්කංසන පරවම්භන වශයෙන් කිලිටි වූ සීලය හෝ තෘෂ්ණා වශයෙන් භව-භෝග සම්පත් පතා රකිනු ලබන සීලය ද හීන සීල නමි.
මජ්ඣිම සීලය - මධ්‍යම වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසායෙන් පවත් වන ලද සීලය ද, සිල් රැකීමෙන් මතු උසස් කුල, ස්වර්‍ග සම්පත් පිණිස රක්නා සීලය ද, අත්තුක්කංසන, පරවම්භනාදියෙන් නොකිලිටි වූ පෘථග්ජනයන්ගේ සීලය ද තමා පමණක් සසරින් මිදෙනු පිණිස රකිනු ලබන සීලය ද මධ්‍යම සීලය නමි.
ප්‍රණීත ශීලය - ප්‍රණීත වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසායෙන් පවත්වන ලද සීලය ද, සෝවාන් ආදී ආර්‍ය්‍ය භාවය පිණිස රක්නා සීලය ද, ලෝකෝත්තර සීලය ද, සියලු සතුන් සසරින් එතර කරනු සඳහා රකිනු ලබන බෝසතුන්ගේ පාරමිතා සීලය ද ප්‍රණීත සීලය නමි.
- අත්තාධිපතෙය්‍ය සීල, ලෝකාධිපතෙය්‍ය සීල, ධම්මාධිපතෙය්‍ය සීල යයි ද සීලය ත්‍රිවිධ වේ.
ආත්මගෞරවය උපදවා රක්නා සීලය අත්තාධිපතෙය්‍ය සීල නමි. ලෝකාපවාදයට බියෙන් ලෝකයා ගරු කොට රක්නා සීලය ලෝකාධිපතෙය්‍ය සීල නමි. ධර්‍ම ගෞරවයෙන් රක්නා සීලය ධම්මාධිපතෙය්‍ය සීලය යි.
- පරාමට්ඨ සීල, අපරාමට්ඨ සීල, පටිප්පස්සධි සීල යයි ද සීලය ත්‍රිවිධ වේ. තණ්හා දිට්ඨි වශයෙන් අල්වා ගන්නා ලද හෙවත් පරාමර්ශනය කරන ලද නිස්සිත සීලය ම පරාමට්ඨ සීල නමි. සෝවාන් ආදී ආර්‍ය්‍යමාර්‍ග ප්‍රතිලාභය පිණිස පුරනු ලබන සීලය ද, සප්ත ශෛක්‍ෂයන්ගේ මාර්‍ග චිත්තයන්හි සම්ප්‍රයුක්ත විරති චේතනාදිය ද, තණ්හා, දිට්ඨි වශයෙන් නො කරන ලද හෙයින් අපරාමට්ඨ සීල නමි.
ශෛක්‍ෂයන්ගේ හා අශෛක්‍ෂයාගේ ඵල චිත්තයන්හි සම්ප්‍රයුක්ත විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සංසිඳුවන හෙයින් පටිප්පස්සධි සීල නම් වේ.
12. විසුඛ සීල, අවිසුඛ සීල, වෙමතික සීල යයි ද සීලය ත්‍රිවිධ වේ.
ඇවැත්වලට නොපැමිණ ම රක්නා ලද සීලය ද, ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැනීම් ආදී වශයෙන් පිළියම් කරගන්නා ලද සීලය ද විසුඛ සීල නමි. ඇවැත්වලට පැමිණ ඇවැත් දෙසා ගැණීම් ආදී වශයෙන් පිළියම්කර නො ගන්නා ලද සීලය අවිසුඛ සීල නමි. ආහාරපානාදී වස්තුවෙහි සැක සහිතවීම නම් වූ වස්තුවෙහි විමතිය ද, පැමිණි ඇවැත් පචිති දුක්කටාදීන් අතුරෙන් කවරෙක්දෝ හෝයි සැක සහිත වීම නම් වූ ආපත්තියෙහි විමතිය ද, ඇවතට පැමිණියේ දෝ හෝ නො පැමිණියේ දෝ හෝයි අජ්ඣාචාරයෙහි සැක සහිතවීම නම් වූ අජ්ඣාචාරයෙහි විමතිය ද යන විමති ඇත්තහුගේ සීලය වෙමතික සීල නමි.
13. සෙඛ සීල, අසෙඛ සීල, නෙවසෙඛනාසෙඛ සීලය යි ද සීලය ත්‍රිවිධ වේ.
ශෛක්‍ෂයන්ගේ මාර්‍ග-ඵල චිත්තයන්හි යෙදුණු විරති චෙතනාදීහු සෙඛ සීල නමි. අශෛක්‍ෂයාගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චෙතනාදීහු අසෙඛ සීල නමි. පෘථග්ජනයන්ගේ සීලය නෙවසෙඛනාසෙඛ සීල නමි.
14. හානභාගිය, ඨිතිභාගිය, විසෙසභාගිය, නිබ්බෙධ- භාගිය සීල යයි සීලය චතුර්විධ වේ. පිරිහීම් පක්‍ෂය භජනය කරන සීලය හානභාගිය සීල නමි. මෙය දුස්සීලයන් සෙවනය කරමින්, සීලවන්තයන් සේවනය නො කිරීමෙන්, වරදෙහි දොස් නො දැකීමෙන්, මිථ්‍යා අදහස් උපදවමින්, ඉන්‍ද්‍රිය සංවරාදියක් නොමැතිව රක්නා සීලය යි.
පිරිහීමටත් නො පැමිණ, අභිවෘද්ධියටත් නො පැමිණ, තුබූ පරිද්දෙන් ම පවත්නා සීලය, ඨිතිභාගිය සීලය වේ. තමාලත් සීලසම්පත්තියෙන් ම සතුටුව මතු ධ්‍යාන මාර්ගඵලාදිය පිණිස උත්සාහවත් නොකරන්නේ සිටි තැන්හි ම සිටී.
සමාධි සඞ්ඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසෙසභාගීය සීලය වේ. හෙතෙමේ සීලයෙහි පිහිටා මතු සමාධිය පිණිස උත්සාහවත් වේ.
නිබ්බෙධ සඞ්ඛ්‍යාත විදර්ශනා පිණිස නැමීගත් සීලය නිබ්බෙධභාගීය සීලය වේ. හෙතෙමේ විදර්ශනා වඩා මාර්ග-ඵලාධිගමය පිණිස උත්සාහවත් වේ.
15. භික්ඛු සීල, භික්ඛුණී සීල, අනුපසම්පන්න සීල, ගහට්ඨ සීල යයි ද සීලය චතුර්විධ වේ.
භික්‍ෂූන් උදෙසා පණවන ලද ශික්‍ෂාපද හා භික්‍ෂුණීන් උදෙසා පණවන ලද ශික්‍ෂා පදයන් අතුරෙන් භික්‍ෂූන්ටත් සාධාරණ ශික්‍ෂා පද භික්‍ෂු සීල නම් වේ.
භික්‍ෂුණීන් උදෙසා පණවන ලද ශික්‍ෂා පද හා භික්‍ෂූන් උදෙසා පණවන ලද ශික්‍ෂා පදයන් අතුරෙන් භික්‍ෂුණීන්ටත් සාධාරණ ශික්‍ෂා පද භික්‍ෂුණී සීල නම්.
සාමණේර සාමණේරින්ගේ දස සීලය අනුපසම්පන්න සීල නම්.
උපාසක උපාසිකාවන්ට නිත්‍යය වශයෙන් පණවා වදාළ පඤ්ච ශික්‍ෂා පදයෝ ද, උත්සාහ ඇතොත් රැකිය යුතු දස සීලය ද උපොස්ථ සීල වශයෙන් පණවන ලද අෂ්ටාඞ්ග සීලය ද ගහට්ඨ සීල නම්.
16. ප්‍රකෘති සීල, ආචාර සීල, ධම්මතා සීල, පුබ්බ හේතුක සීල යයි ද සීලය චතුර්විධ වේ.
ස්වභාවයෙන් රැකෙන සීලය ප්‍රකෘති සීලය නම් උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ට මෙනි.
කුල, දේශ, තීර්‍ත්‍ථක යන මොවුන් කෙරෙහි පැවැති යහපත් චාරිත්‍ර ආචාර සීලය නම් ඒ ඒ කුල, දේශාදීන්හි පෙර පටන් පැවත ආ ප්‍රාණඝාතාදියෙන් වැළකීම යනාදී යහපත් චාරිත්‍ර විධි පැවැත්වීම ආචාර සීල නම්.
බෝසතුන් මච්කුස පිළිසිඳගත් තැන් පටන් බෝසත් මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාම අදහස් පහළ නොවීම යනාදිය ධම්මතා සීලය නම්.
පූර්‍ව හේතුවෙන් ම ජනිත පුබ්බහේතුක සීල නම්. මහාකාශ්‍යපාදී ශුද්ධසත්ත්‍වයන්ගේ ද, බෝසතුන්ගේ ද ඒ ඒ ජාතීන්හි පූර්‍වහේතු බලයෙන් පැවැති සීලය යි.
17. පාතිමොක්ඛසංවර සීලය, ඉන්‍ද්‍රියසංවර සීලය, ආජීවපාරිශුද්ධි සීලය, පච්චයසන්නිශ්‍රිත සීලය යයි ද සීලය චතුර්විධ වේ.
ප්‍රාතිමොක්‍ෂයෙහි වදාළ ශික්‍ෂාපද ව්‍යතික්‍රම නොකොට රැක ගැනීම් ආදිය ප්‍රාතිමොක්‍ෂසංවර සීලය වේ.
චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂට් ඉන්‍ද්‍රියයන් සංවර කරගැන්ම ඉන්‍ද්‍රිය සංවර සීලය යි.
ආජීවය හේතුකොට ගෙන පණවා වදාළ සවැදෑරුම් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම් වශයෙන් ද, කුහන ලපනාදී පාපධර්‍මයන්ගේ වශයෙන් ද, පවත්නා වූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීවපාරිශුද්ධි සීලය වේ.
ප්‍රත්‍යවෙක්‍ෂා කොට සිව්පසය පරිභෝග කිරීම ප්‍රත්‍යය සන්නිශ්‍රිත සීලය යි.
18. පරියන්තපාරිසුද්ධි සීලය, අපරියන්තපාරිසුද්ධි සීලය, පරිපූර්‍ණපාරිසුද්ධි සීලය, අපරාමට්ඨපාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධිපාරිසුද්ධි සීල යයි සීලය පස්වැදෑරුම් වේ.
අනුපසම්පන්නයන්ගේ, සීමා සහිත ශික්‍ෂාපද ඇතිය වුන්ගේ, යම් සීලයක් වේ ද, එය පරියන්තපාරිසුද්ධි සීල නම්.
විශේෂාධිගමයෙහි වන කාය ජීවිත දෙක්හි අපේක්‍ෂා රහිත වූද, ඒ පිණිස ම හළ ජීවිත ඇතියවුන්ගේ ද යම් සීලයක් වේද එය පරිපූර්ණපාරිසුද්ධි සීලය නම් වේ.
ශෛක්‍ෂයන්ගේ සීලය දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද හෙයින් අපරාමට්ඨ පාරිසුද්ධි සීලය නම්.
රහතන්වහන්සේ ද, පසේබුදුන් වහන්සේ ද, සම්මා සම්බුදුන් වහන්සේ ද සීලය සියලු කෙලෙස් විඩා සංසිඳුවීමෙන් පිරිසුදු වන බැවින් පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීලය නම් වේ.
19. පහාණ සීල, වෙරමණි සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල යයි ද සීලය පස්වැදෑරුම් වේ.
හිරි-ඔතප් යනාදීන් ප්‍රධාන කුසල් සිතකින් ප්‍රාණඝාතාදිය නොකර හැරීම පහාණ සීල නම්.
එසේම ඒ ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වැළකීම වෙරමණි සීල නම්.
ප්‍රාණඝාතාදියට ප්‍රතිපක්‍ෂ වූ චේතනාව චේතනා සීල නම් වේ.
ප්‍රාණඝාතාදිය සිද්ධවිය හැකි මාර්ග වසාලීම් වශයෙන් සංවරවීම සංවර සීල නම්.
ප්‍රාණඝාතාදියෙන් වැළකීම පිණිස සමාදන් ව ගත් ශික්‍ෂාපද බිඳ නොලීම අවිතික්කම සීල නම්.
පාතිමොක්ඛ සංවරාදී චතුර්විධ පාරිසුද්ධි සීලයන්ගේ වශයෙන් පිරිසුදු වීම ශීලවිසුද්ධි යයි දක්වන ලද හෙයින් නොයෙක් ප්‍රභේද ඇති මේ සීලයන් අතුරෙන් සතර සංවර සීලය දැන් විස්තර කරනු ලැබේ.