ඉන්ද්රිය සංවර සීලය
චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩේන්ද්රියයන් සංවර කර ගැන්ම පිණිස ද එයට හමුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්මාරම්මණාදිය නිමිතිකොට සිත්හි කෙලෙස් ඉපදීම වැළැක්වීම පිණිස පිළිපදනේ වේ ද එය ඉන්ද්රිය සංවර සීලය නම් වේ.
“සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහි හොති නානුබ්යඤ්ජනග්ගාහි” - යනාදී වශයෙන් වදාළ හෙයින් ඒ ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වූ භික්ෂු තෙම චක්ෂුර් විඥානයෙන් රූප දැක පියොවුරු ආදීවූ ස්ත්‍රී නිමිති හෝ දැලිරැවුල් ආදීවූ පුරුෂ නිමිති හෝ කෙලෙස් ඉපදීමට හේතු වන අන්‍ය නිමිති හෝ නොගෙන දුටු දෙය දුටු සැටියෙන් ම සලකා ගන්නේ ද නොහොත් ඇසට රූපයක් හමුවූ කල්හි උපදනා චක්ඛුචාරික චිත්තවීථියෙහි චක්ෂුර් විඥානයා විසින් ද, ජවන් සිත් විසින් ද ගන්නා ලද පමණෙහි ම සිටී ද, මතුමත්තෙහි ඒ අරමුණ සුභය, ඉෂ්ටය යනාදී වශයෙන් හෝ ද්වෙෂ වශයෙන් හෝ සිත් නූපද වන්නේ ද, අනුබ්‍යඤ්ජන නම් වූ මතු මත්තෙහි කෙලෙස් ප්‍රකට බවට පමුණුවන අත් පා ආදිය ද, සිනහ ද, කථා කිරීම හා බැල්ම ද යනාදී ආකාර ශුභ වශයෙන් යහපත් වශයෙන් නොගෙන ඇති සැටියෙන් ම අශුභ වශයෙන් ම ගන්නේ වේද නොහොත් ඒ කෙසාදීහු රූපාදී වශයෙන් යථා ස්වභාවයෙන්, භූතයන් ගෙන් හටගත් බව, පිළිකුල් කටයුතු බව, චක්ෂුරාදීහු මහා භූතයන් නිසා පවත්නා බවය යනාදී වශයෙන් මෙනෙහි කරන්නේ ද යම් චක්ෂුරින්ද්රියක් සංවර කොට නොගෙන වාසය කරන පුද්ගලයා කරා රාග ද්වෙෂාදී ලාමක අකුසල ධර්මයෝ ලුහුබැඳ එත් නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රිය සංවර කරගැන්ම පිණිස පිළිපදනේ ය. එසේ පිළිපදනේම ඒ චක්‍ෂුරින්‍ද්‍රිය රැකගන්නේ ය. ඒ චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය. මෙසේ ශ්‍රෝත්‍රවිඥානයෙන් ශබ්ද අසා, ඝාණ විඥානයෙන් ගන්ධාග්රහණය කොට, ජිව්හා විඥානයෙන් රස අනුභව කොට, කාය විඥානයෙන් ඵොට්ඨබ්බය ස්පර්ශය කොට මනො විඥානයෙන් ධම්මාරම්මණ දැන නිමිති වශයෙන් හෝ අනුබ්‍යඤ්ජන වශයෙන් හෝ නොගෙන, එය ඇති සැටියෙන් ම ගෙන, ඒ ඒ ඉන්ද්රියයන් සංවර කර ගැන්ම පිණිස පිළිපදනේ ය, ඒ ඒ ඉන්ද්රියයන් රැක ගන්නේ ය, ඒ ඒ ඉන්ද්රියයෙහි සංවරයට ද පැමිණෙන්නේ ය.
පෙර මිහින්තලේ සෑගිරියෙහි විසූ මහාතිස්ස නම් තෙරුන් වහන්සේ සෑගිරියෙහි සිට අනුරාධපුරයට පිඬු පිණිස වඩනා කල්හි අනුරාධපුරයෙහි විසූ එක් කුලඟනක් සිය සැමියා සමග කලහ කොට ඔහු අත්හැර ගොස් හුදකලාව ගෙයි විසුම යහපතැයි සිතා සොඳින් හැඳ පැළඳ ගෙන උදෑසනම මිහින්තලේ දෙසට යනු පිණිස මගට බැස්සාය. මෙසේ යන්නා වූ ඒ ස්ත්‍රිය සන්හුන් ඉඳුරන් ඇතිව මග වඩනා තෙරුන් දැක සිත් ගන්නා අදහසින් ශබ්ද නගා සිනාසීය. මූලකර්මස්ථානය මෙනෙහි කරමින් වඩින තෙරුන් වහන්සේ ඒ ශබ්දය කුමක් දැයි බලන සේක් ඇගේ දත් පෙල දැක අට්ඨික සංඥාව උපදවා යොනිසොමනසිකාරයෙන් කමටහන වඩා ප්‍රථම ධ්‍යානය උපදවා එය පාදක කොට ගෙන විදර්ශනා වඩා සෝවාන් ආදි මාර්ග පිළිවෙලින් අර්හත් බවට පැමිණි සේක. ඈ ලුහුබැඳ ආ සැමියා තෙරුන් වහන්සේ දැක “ස්වාමීනි, මෙහි ගැහැණියක් ගියා දුටු දැයි විචාළේය. තෙරුන් වහන්සේ ද “ගැහැණි ද පිරිමි දැයි නොදනිමි, මග යන ඇටසැකිල්ලක් නම් දුටිමි” යි කී සේක.
මේ අසංවරය හෝ සංවරය ඇතිවන්නේ ඒ චිත්ත වීථියෙහි උපදනා ජවන් සිත් වලය.
රූපාරම්මණයක් හමුවූ කල්හි භවාඞ්ග සිත, භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේද වශයෙන් දෙවරක් ඉපිද නිරුද්ධ වූ කල්හි ඒ රූපාරම්මණය අරමුණු කොට ගෙන කිරිය මනෝධාතුව නම් වූ පඤ්චද්වාරාවජ්ජන සිත ආවර්ජනා කෘත්‍යය සිද්ධ කරමින් උපදී. එයට අනතුරුව ඒ රූපාරම්මණය ම අරමුණු කොට දර්ශන කෘත්‍ය සිද්ධ කරමින් චක්ඛු විඤ්ඤාණ සිත චක්ෂුර්ප්රසාදය වස්තු කොට ගෙන ඉපිද නිරුද්ධ වෙයි. අනතුරුව විපාක මනෝධාතුව නම් වූ සම්පටිච්ඡන සිත චක්ඛු විඤ්ඤාණයෙන් ගත් රූපාරම්මණය ම ගෙන, සම්පටිච්ඡන කෘත්‍යය සිද්ධ කරමින් ඉපිද නිරුද්ධ වූ කල්හි විපාක අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව නම්වූ සන්තීරණ සිතද එම අරමුණම ගෙණ සන්තීරණ කෘත්‍ය සිද්ධකරමින් උපදි. එයට අනතුරුව කිරිය අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව නම් වූ මනෝද්වාරාවජ්ජන සිත එම අරමුණම ගෙන වොට්ඨපන කෘත්‍ය සිද්ධ කරමින් ඉපිද නිරුද්ධවෙයි. එය නිරුද්ධ වූ කල්හි ජවන් සිත් සතක් පිළිවෙලින් උපදනේ ය. මේ සිත් අතුරෙන් භවාඞ්ග, පඤ්චද්වාරාවජ්ජන, චක්ඛු විඥාන, සම්පටිච්ඡන, සන්තීරණ, වොට්ඨපන යන සිත්හි සංවරය හෝ අසංවරය හෝ නොවෙයි. ජවන් සිත් උපදනා කල්හි අමනසිකාරයෙන් ලොභ, දොෂ, මොහාදී පාප වූ අකුසල චෛතසිකයෝ ඒ ජවනයන් හා එක්ව යෙදීම නිසා දුශ්ශීල බවෙක් හෝ සිහිමුළා බවෙක් හෝ නො දැන්මෙක් හෝ උපදී ද එය අසංවරය නම් වන්නේ ය. ජවනක්ෂණයෙහි යෝනිසෝමනසිකාරයෙන් යෙදී සංවරය නො කෙළේ නම් චක්ෂුරාදී ද්වාරයෝ ද, භවාඞ්ගයෝ ද, ආවර්ජනාදී වීථි චිත්තයෝ ද නොරක්නා ලද්දේම වේ. නුවරෙක සතර වාසල් දොර නොවැසුනේ නම්, ඇතුළු නුවර ගේදොර ආදිය කොතෙක් වසා තිබුනත් සියල්ලම ආරක්ෂා නොවන්නේය. එමෙන්ම කුසල පක්ෂයෙහි වූ සති, ප්‍රඥා ආදි ධර්මයෝ ඉපදුනාහු නම්, භවාඞ්ග ආවර්ජනාදිය ද රක්නා ලද්දේම වේ. නුවර වාසල් දොර වැසුවාක් මෙනි. මේ ජවනයන්ට අනතුරුව සිත තදාරම්මණ ඉපිද හෝ නොඉපිද හෝ භවාඞ්ගයට බසී.
මේ චිත්තවීථියට ඉක්බිතිව නැවතත් එම අරමුණම ගෙන මනෝද්වාරික චිත්තවීථියක් උපදී.
එයට අනතුරුව ද, නැවතත් එම අරමුණම ගෙන තුන් වන වරට මනෝද්වාරික චිත්ත වීථියක් උපදී. මේ තුන් වන මනෝද්වාරික චිත්ත වීථියේ උපදනා ජවනයෝ ම, මේ ස්ත්‍රිය, මේ පුරුෂයා ය යනාදී වශයෙන් තත්ත්වාකාරයෙන් හැඳිනීම හෝ ඒ අරමුණ සුභ වශයෙන් ගෙන පැහැදීම හෝ ඇලීම හෝ අශුභ වශයෙන් ගෙන ද්වේෂවීම හෝ කරන්නාහු වෙති. මේ සංවරය හෝ අසංවරය හෝ තුන් වන චිත්ත වීථියේ ජවන් සිත් නිසාම වන බව දත යුතු.
ශබ්දාරම්මණයක් හෝ ගන්ධාරම්මණයක් හෝ රසාරම්මණ යක් හෝ පොට්ඨබ්බාරම්මණයක් හෝ ධම්මාරම්මණයක් හෝ හමුවීමේ දී මේ ක්‍රමයෙන්ම සංවර භාවය හෝ අසංවර භාවය තුන්වන චිත්ත වීථියේ ජවනක්ෂණයෙහිම වන බව සැලකිය යුතු.
මෙසේ ෂඩ්ඪෙන්ද්රියයන් සංවර කරගැනීම ඉන්ද්රිය සංවර සීලය නම් වේ.