අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සීලයාගේ පිරිසුදු බව

සීලය අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාෂ වීමෙන් පිරිසුදු වන්නේ -

  1. සර්‍වාකාරයෙන් ශික්‍ෂාපද බිඳ නො ගැන්ම ය.
  2. බිඳුණු යම් ශික්‍ෂාපදයකට ප්‍රතිකාර කරගත හැකි නම් එසේ ප්‍රතිකර්‍ම කර ගැනීම ය,
  3. සප්තවිධ මෛථුනයෙන් වෙන් ව විසීම ය.
  4. අන්‍යවූත් ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, මාන, අතිමාන, මද, පමාද යනාදී පාපධර්‍මයන් නොඉපදවීම ය.
  5. අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේඛතාදී ගුණ ඉපදවීමය යන මේ කාරණාවන් හේතුකොට ගෙන ය.

තවද, යම් සීලයක්, ලාභ, යස, ධන, ඤාති, අඞ්ග, ජීවිත පිණිස හෝ නොබිඳ රැකගන්නා ලද්දේ ද, මෛථුන සංයෝගයන්ගෙන් හෝ ක්‍රෝධ, උපනාහාදී පාපධර්‍මයන්ගෙන් උපගත නොවූයේ වේද, ඒ සීලය සර්‍වප්‍රකාරයෙන් ම අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාෂ වන්නේ ය.

ඒ සීලයම, තෘෂ්ණාදාස භාවයෙන් මුදන හෙයින් භුජිස්ස නම් වේ. නුවණැත්තන් විසින් පසස්නා ලද බැවින් විඤ්ඤුප්පසත්‍ථ නම් වේ. තණ්හා දිට්ඨින් විසින් ස්පර්‍ශ නොකළ බැවින් අපරාමට්ඨ නම් වේ. උපචාර, අර්පණා, සමාධි උපදවන හෙයින් සමාධිසංවත්තනික නම් වේ.

සීලවොදානය හෙවත් සීලයාගේ පිරිසුදු බව දෙයාකාරයෙකින් සිදු වේ. එනම්:-

  1. සීලවිපත්තියෙහි ආදීනව දැකීමය.
  2. සීලසම්පත්තියෙහි ආනිශංස දැකීමය.

සීලවිපත්තියෙහි ආදීනව මෙසේ දත යුතු.

  1. සීලවිපත්තියට පැමිණි දුශ්ශීලයා ප්‍රමාද හේතුවෙන් මහත් වූ භෝග හානියට පැමිණෙන්නේ ය.
  2. ඔහුගේ ළාමක කීර්ති ශබ්දයක් පැන නගින්නේ ය.
  3. ඔහු ක්‍ෂත්‍රිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ එළඹෙන කල්හි, අවිසාරදව, මකුව එළඹෙන්නේ ය.
  4. ඔහු කලුරිය කරණ කල්හි සිහිමුළාව කලුරිය කරන්නේ ය.
  5. ඔහු මරණින් මතු අපායෙහි උපදින්නේ ය.

තවද, මේ දුශ්ශීලයා, තම දුශ්ශීල භාවය නිසා දෙවිමිනිසුන්ට අප්‍රිය වෙයි.

පිළිකුල් කටයුතු පුද්ගලයෙකු වන හෙයින් සබ්‍රම්සරුන් විසින් අනුශාසනා නො කළ යුතු වන්නේ ය.

දුශ්ශීලයන්ට ගර්හා කරන කල්හි තෙමේ ද දුක්වන්නේ ය.

සිල්වතුන්හට පසසන කල්හි විපිළිසර වන්නේ ය.

හණ වස්ත්‍රයක් මෙන් ගුණයෙන් හා ශරීරයෙන් ද දුර්වර්ණීවේ.

දෘෂ්ටානුගතියට පැමිණෙන්නවුන්ට අපාය දුක් එළවන බැවින් දුස්පර්ශ ද වේ.

දන් දෙන්නවුන්ට මහත්ඵල නො කරන හෙයින් අල්පාර්ඝ ද වේ.

අවුරුදු ගණන් ඉක්මුණු අශුචි වලක් මෙන් දුශ්ශෝධ්‍ය වේ.

දරට ද, වැඩට ද නො ගතහැකි සොහොන් පෙනෙහෙල්ලක්මෙන් ගිහිකමින් ද, මහණකමින් ද බැහැර වන්නේ ය.

මමත් ගවයෙක්මි යි ගව සමූහයා අනුව යන කොටළුවකු මෙන් තෙමේ භික්‍ෂු යයි ප්‍රතිඥා කරතත්, භික්‍ෂුවක් නො වන්නේ ය.

සියල්ලනට වෛරී පුරුෂයකු මෙන් නිතර උද්වේග වන්නේ ය.

මළමිණියක් මෙන් සහවාසයට සුදුසු නො වන්නේ ය.

බහුශ්‍රැතාදියෙන් යුක්ත නමුදු, බමුණන් විසින් නො සලකුණු ලබන සොහොන් ගින්න මෙන් සබ්‍රම්සරුන් විසින් නො පිදිය යුතු වන්නේ ය.

රූප නො දක්නා අන්‍ධයා මෙන් විශේෂාධිගමයෙහි අභව්‍ය වන්නේ ය.

රාජ්‍යයෙහි සැඩොල් කොලු මෙන් සද්ධර්මයෙහි නිරාස වන්නේ ය.

දුකට හිමිව සිටින බැවින් තෙමේම සුඛිතයෙක් යයි සිතන්නේ නමුදු දුක්ඛිත ම වන්නේ ය.

අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය වදාරණ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මහා ගිනිකඳක් පෙන්වා මෙසේ වදාළ සේක.

“මහණෙනි, අපිරිසුදු, සැක කටයුතු, හැසුරුම් වලින් යුත්, පිළිසන් කර්මාන්ත ඇති, අශ්‍රමණ ව ශ්‍රමණ යයි ප්‍රතිඥා කරන, අබ්‍රහ්මචාරී ව, බ්‍රහ්මචාරී යයි ප්‍රතිඥා කරන, ඇතුළ කුණු වූ, කෙලෙස් වලින් තෙත් වූ, හටගත් කෙලෙස් කසට ඇති, දුශ්ශීලයෙකු ඒ මහා ගිනිකඳ වැළඳ ගෙන හිඳීම හෝ නිදීම හෝ සොඳය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණ සමාන දුකෙකි. එයින් හෙතෙම අපායට නො යන්නේ ය. මහණෙනි, දුස්සීල ව, මෘදු මොළොක් අත් පා ඇති ක්‍ෂත්‍රියාදී කන්‍යාවක් වැළඳ ගෙන හිඳිනේ නම්, නිදියේ නම් එය ඔහුට අහිත පිණිස, දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙම මරණින් මතු අපායට යන්නේ ය.

“මහණෙනි, සිවි, සම්, මස්, නහර ඇට සිඳ, ඇටමිදුළු දක්වා හැපී සිටින සේ දැඩි වූ වල්රැහැණෙකින් ජඞ්ඝා දෙක වෙළා ඇදීම සොඳය, එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණය හා සමාන දුකෙක. එයින් හෙතෙම අපායට නො යන්නේ ය. මහණෙනි, දුශ්ශීල ව, හිඳ, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගහපති මහා සාලයන්ගේ වැඳුම් ඉවසීම අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙම අපායට යන්නේ ය.

“තියුණු අඩයටියෙන් ළැමද පැහැරීම හොඳය. එයින් ඔහුට වන්නේ මරණය හෝ මරණ සමාන දුකෙකි. ඔහු එයින් අපායට නො යන්නේ ය. දුස්සීල ව ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගහපති මහාසාලයන්ගේ ඇඳිලි ඉවසීම දුක් පිණිස වන්නේ ය. එයින් හෙතෙම අපායට යන්නේ ය.

“ගිනිගෙන දිලිසෙන යකඩ පටියකින් ඇඟ වෙළාලීම සොඳය, දුස්සීල ව, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගහපති මහාසාලයන් විසින් දෙන ලද සිවුරු දැරීම දුක් පිණිස වන්නේ ය. එයින් අපායට ද යන්නේ ය.

“ගිනිගෙන දිලිසෙන යකඩ අඬුවකින් මුඛය විවෘත කොට, තොල්, මුව, දිව, උගුර, පපු, දවා අතුණු, අතුණු බහන් බැහැර යන සේ ඇවිළගත් ලොහෝ ගුලි මුඛයෙහි දමාලීම සොඳය. දුස්සීලව හිඳ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගහපති මහාසාලයන් ශ්‍රද්ධාවෙන් දෙන පිණ්ඩපාතය වැළඳීම දුක් වන්නේ ය. අපායට ද යවන්නේ ය.

“හිස හෝ කඳ හෝ අල්වා ගෙන ගිනිගෙන දිලිසෙන ඇඳෙක හෝ පුටුවෙක හොවාලීම හෝ හිඳුවීම හෝ සොඳ ය. දුස්සීල ව, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගහපති මහාසාලයන් ශ්‍රද්ධායෙන් දෙන ලද ඇඳ, පුටු පරිහරණය කිරීම දුක් පිණිස වන්නේ ය. අපායට ද යවන්නේ ය.

“පා උඩුකොට, හිස යටිකොට අල්වා ගෙන ගිනිගෙන දිලිසෙන ලෝහ කුම්භියෙක පෙණ නගමින් වරින්වර උඩ යට සරස යන සේ හෙලාලීම් සොඳ ය, දුස්සීල ව, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගහපති මහාසාලයන් ශ්‍රාද්ධායෙන් කරවන ලද විහාරයක විසීම දුක් පිණිස වන්නේ ය. අපායට ද යවන්නේ ය.

“මහණෙනි, තොප විසින් අපි යම් කෙනෙකුන්ගෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර වළඳමු ද, ඔවුන්ගේ ඒ උපකාරය අප විසින් මහත්ඵල මහානිසංස කළ යුතු ය. අපගේ මහණකම ද වඳ නොකොට සඵල කරගත යුතු යයි භික්මිය යුතු. මහණෙනි, ආත්මාර්‍ත්‍ථය හෝ පරාර්‍ත්‍ථය හෝ උභයාර්‍ත්‍ථය හෝ බලන්නහු විසින් අප්‍රමාදයෙන් සම්පාදනය කරගත යුතු ය.”

මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ කල්හි සැටක් පමණ භික්‍ෂූන්ගේ මුඛයෙන් හුණු ලේ නැංගේ ය. සැටක් පමණ භික්‍ෂූහු, “ස්වාමීනි, දුස්කරය, අති දුස්කරය” යයි සිවුරු හැර ගිහි වූහ. සැටක් පමණ භික්‍ෂූහු රහත් වූහ.