අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රාතිමොක්‍ෂ සංවර සීලය

“ඉධ භික්ඛු පාතිමොක්ඛසංවර සංවුතො විහරති ආචාර ගොචර සම්පන්නො අනුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛා පදෙසු.” යනාදී වශයෙන් මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තව, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, ස්වල්ප වරදෙහි පවා භයදක්නා සුලුව වාසය කරන්නේ ය. ශික්‍ෂාපදයන් සමාදන්ව රකින්නේ යයි පුද්ගලාධිට්ඨාන දෙශනා වශයෙන් නොහොත් ශීලය දැක්වුවමනා තන්හි ඒ ශීලය ඇති පුද්ගලයා වර්ණනා කොට ප්‍රාතිමොක්‍ෂ සංවර සීලය වදාරණ ලදී. යම් සීලයක් තමා රක්නහු අපායිකාදී දුක්ඛයන්ගෙන් මුදා ගන්නේ වේද ඒ සීලය කයින් හෝ වචනයෙන් හෝ ශික්‍ෂාපද නො බිඳීම් වශයෙන් රකින්නේ නම් එය ප්‍රාතිමොක්‍ෂ සංවර සීලය නමි. ඒ භික්‍ෂුව අනාචාරයෙන් වෙන්ව ආචාරයෙන් යුක්තව වාසය කරන්නේ ය.

අනාචාරය - කයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම, වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම, කයින් හා වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම අනාචාරය යයි කියනු ලැබේ. මේ ශාසනයෙහි යම් භික්‍ෂුවක් හුණ, කොළ, මල්, ඵල, නහනු, දැවටු ආදිය ගිහියන් සිත්ගන්නා පිණිස දෙන්නේ වේද, චාටුකම්‍යතා, මුග්ගසූප්‍යතා, පාරිභට්‍යතා, ජඞ්ඝපෙසනිකතා යන මෙයින් හා බුදුන් විසින් පිළිකුල් කොට වදාළ අන්‍යවූ ද මිථ්‍යා ජීවිකායෙන් ජීවිකා පවත්නේ වේද, එය ද අනාචාර නම් වේ.

චාටුකම්‍යතා නම් භික්‍ෂූන් විසින් ගිහියන්ගේ සිත් ගන්නා පිණිස ගිහියන් උසස්තන්හි තබා, තමන් පහත් තන්හි තබා කථා කිරීම ය.

මුග්ගසූප්‍යතා නම් මුංඇට තැම්බූ කල වැඩි කොටස නොපැසි, මද කොටසක් පැසී තිබෙන්නාසේ, කථාකරන කල්හි වැඩි කොටස අසත්‍ය වීම හා මද කොටසක් ම සත්‍යය වීම ය.

පාරිහට්ටතා නම් කිරිමවුන් මෙන් කුඩා දරුවන් වඩා ගෙන ආදර දැක්වීම ය.

ජඞ්ඝපෙසනිකතා නම් ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යාමයි.

බුදුන්වහන්සේ විසින් පිළිකුල් කර වදාළ අන්‍යවූ මිථ්‍යාජීවිකා නම් වෙදකම් කිරීම් නැකැත් කීම් ආදියයි.

තවද, මේ අනාචාරය, කායික අනාචාරය, වාචසික අනාචාරය යයි විධ වේ.

යම් මහණකෙණෙක් සඞ්ඝයා මැදට පැමිණියේ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි සැළකීම හෝ ගෞරවය හෝ නොකොට, සිව්රෙන් සිවුර හෝ සිරුරෙන් සිරුර හෝ ගටමින් සිටී ද, ගටමින් හිඳීද, එසේම පෙරටුව හෝ සිටී ද, පෙරටුව හෝ හිඳී ද, උස් අසුන්හි හිඳගනී ද, හිසවසා පොරවාගෙන හිඳී ද, ළඟම සිට කථා කෙරේ ද, අත් වනවනා කථා කෙරේ ද, මහ තෙරුන් පාවහන් නැතිව සක්මන් කරන කල්හි තමා පාවහන් ඇතිව සක්මන් කෙරේ ද, මහතෙරුන් පහත් වූ සක්මනෙහි සක්මන් කරන කල්හි තමා උස්වූ සක්මනට නඟීද, ස්ථවිර භික්‍ෂූන් බිම සක්මන් කරන කල්හි තමා සක්මනට නැඟී සක්මන් කෙරේ ද, මහ තෙරුන් හිඳිනා තන්හි වැද හිඳ ගනී ද, නවක භික්‍ෂූන් අසුන්වලින් නෙරපාද, මහතෙරුන් නොවිමසා ගිහිහල් ගෙයි ලිප දර බහාලන්නේවේ ද, දොර වසා ද, නහන තොටෙහි ස්ථවිර භික්‍ෂූන් ඝට්ටනය කරමින් හෝ බසී ද, ඉදිරියෙන් හෝ බසී ද, ගටමින් නහාද, ඉදිරියෙහි සිට නහාද, ගටමින් නඟීද, ඉදිරියෙන් නඟීද, ඇතුල් ගමට වදනා කල්හි ස්ථවිර භික්‍ෂූන් ඝට්ටනය කරමින් හෝ යේද, ස්ථවිර භික්‍ෂූන් ඉක්මවා පළමු කොට හෝ යේද, ස්ථවිර භික්‍ෂූන්ට පෙරටුව හෝ යේද, කුලස්ත්‍රීන්, කුලකුමාරිකාවන් වසන, ආවරණය කරන ලද ගබඩාවලට වහා ඇතුල් වේද, ප්‍රත්‍යදායකයන්ගේ කුලදරුවන්ගේ හිස පිරිමදී ද, මේ ආදීහු කායික අනා- චාරයෝ ය.

යම් මහණ කෙනෙක් මහතෙරුන්ට අගෞරව වශයෙන් මහතෙරුන් නොවිමසා දහම් දෙසාද, ප්‍රශ්න විසඳන්නේ ද, පාමොක් දෙසා ද, මහ තෙරුන් ඉදිරියෙහි නො නැගී සිට කථා කෙරේ ද, අත වනවනා කථා කෙරේ ද, ගෙය තුළට ගොස් කුලස්ත්‍රීන්, කුලකුමාරිකාවන්ගේ නම් ගොත් කියා අමතමින් “කුමක් ඇත්තෙහි ද, කැඳ ඇත්තෙහි ද, බත් ඇත්තෙහි ද, කැවුම් ඇත්තෙහි ද, කුමක් කමුද, කුමක් බොමුද, කුමක් වළඳමුද, කුමක් මට දෙන්නෙහි ද” යනාදී වශයෙන් ශ්‍රමණ සරුප් නොවන විකාර කථා කෙරේද ද, මේ ආදීහු වාචසික අනාචාර නම්.

ආචාරය- කයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නො කිරීම ය, වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නො කිරීම ය, කයෙන් හා වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය නො කිරීම ය යන මෙය ආචාරය යයි කියනු ලැබේ. සියලු සීල සංවරය ද ආචාර නම්. යම් මහණ කෙනෙක් වේළුදාන නම් වූ ප්‍රත්‍යය උපදවනු කැමැතිව ගිහියන් සිත් ගන්නා පිණිස හුණ දඬුදීම ය, පත්තදාන නම් වූ තල්පත්, ආදි පත්‍ර දීම ය, පුප්ඵදාන නම් වූ සපු සමන් ආදී වූ මල් දීම ය, ඵලදාන නම් වූ කොස්, දෙල්, පුවක් ආදි ඵල දීම ය, සිනානදාන නම් වූ ඇඟ උලා නහන සුණු වර්‍ග දීම ය, දන්තකට්ඨ දාන නම් වූ දැහැටිදඬු දීම ය, යන මේ ආදිය නො පවත්නේ ද, චාටුකම්‍යතා, මුග්ගසුප්පතා, පාරිඝට්ටතා, ජඞ්ඝපෙසනිකතා යන මෙයින් ද වෙදකම්, නැකැත් කීම්, ගණිත, මිණිත, භාණ්ඩාගාරකම්ම, පිණ්ඩප්‍රතිපිණ්ඩාදී බුදුන් වහන්සේ විසින් නින්‍දා කරන ලද මිථ්‍යාජීවයෙන් ද ජීවිකා නො පවත්නේ වේ ද මෙය ද ආචාර නම් වේ.

තවද, යම් මහණ කෙනෙක් ශ්‍රද්ධා, ශ්‍රැත, ත්‍යාගාදී ගුණ හේතු කොට ඇති වූ, මහතෙරුන් කෙරෙහි ගෞරවය හා යටත් පැවතුම් ඇත්තේ වේද, හිරි-ඔතප් හෙවත් ලජ්ජායෙන් හා බියෙන් යුක්ත වේද, සෙඛිය ධර්‍මයෙහි ආ නියායෙන් මනා කොට හැඳ, මනා කොට පෙරවියේ වේද, දුටුවන් පහදනා ගමනාගමන ඇත්තේ වේද, එසේම ප්‍රසාදාවහවූ ඉදිරි බැලුම් හා අනුදිග් බැලුම් ඇත්තේ වේද, ප්‍රසාදාවහවූ අත් පා ආදීන්ගේ හැකිලීම් දිගුකිරීම් ඇත්තේ වේද, වියදඬු පමණ දක්නා බැවින් යට හෙලූ ඇස් ඇත්තේ වේද, දුටුවන් පහදනා සන්හුන් ඊර්‍ය්‍යාපථයෙන් යුක්තවූයේ වේද, චක්‍ෂුරාදී ෂඩින්ද්‍රියයන් කෙරෙහි මොනවට කරණ ලද රක්‍ෂාවරණ ඇත්තේ වේද, චීවරාදී සිව්පසෙහි සෙවීම්, පිළිගැනීම්, පරිභෝග කිරීම් ආදී වශයෙන් සර්‍වාකාරයෙන් පමණ දන්නේ වේද, නිදිවර්ජිත කිරීමෙන් භාවනාවෙහි යෙදුනේ වේද, සිහිනුවණ දෙකින් යුක්තවූයේ වේද, ප්‍රත්‍යය තෘෂ්ණාව නැත්තේ වේද, යථාලාභ සන්තෝෂාදී ද්වාදසාකාරයෙන් සතුටුවූයේ වේද, පටන් ගන්නා ලද කෙලෙස් තවන චීර්‍ය්‍ය ඇත්තේ වේද, උතුම් හැසිරීම නම් වූ අභිසමාචාරික සීලයෙහි ආදර කරන්නේ වේද, ගුරුස්ථානයෙහි ආදර බහුල කොට වෙසේ ද මේ ආදිය ආචාර යයි කියනු ලැබේ.

මෙසේ ශීලවිසුද්ධියට පැමිණෙනු කැමැති යෝගාවචරයා විසින් යට කී අනාචාරයන්ගෙන් වෙන් ව ආචාර සම්පන්න ව වාසය කළයුතු.

එපරිද්දෙන් ම අගෝචරයන් ගෙන් වෙන්ව ගොචර සම්පන්න ද විය යුතු.

අගෝචර නම්- පිණ්ඩපාතාදිය සඳහා නොයායුතු තැන් වශයෙන් ගත යුතු වූ, පඤ්චකාම ගුණයම ඇසුරු කරන බැවින් ද, ශ්‍රමණ ධර්‍මයට කාරණා නොවන බැවින් ද, වේශ්‍යාදීහු ද, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා නමැති අසනිපතයට හේතු වන බැවින් රජරජ මහාමාත්‍යාදීහු ද, සම්‍යග්දෘෂ්ටි විපරීතයට කාරණ වූ බැවින් තීර්ථකාදීහු ද, ශ්‍රද්ධාහානිය ද, චිත්තභේදය ද ඇතිවීමට කාරණා බැවින් අශ්‍රද්ධාදී කුලයෝ ද, අගොචර නම් වෙත්.

වෙශ්‍යාදීහු නම්:-

  1. වෙසීය-වෙසඟනන් රාගාධිකයන් බැවින් ශ්‍රමණ ධර්‍මයට අන්තරායකරය.
  2. විධවා-වැන්දඹුවන්, මළසැමියන්, බැහැරගිය සැමියන් ඇත්තවුන් ය.
  3. චුල්ලකුමාරිකා - ස්වාමිකුලයට නොගොස් ගෙහිදී වැඩිවිය පැමිණි මැහැළි කුමරියන්.
  4. පංඩක-නපුංසකයන්-නොසන්සුන් කෙලෙස් ඇත්තෝ ය.
  5. භික්‍ෂුණීන්-උත්සන්න වූ බඹසරවස් ඇති හෙයින් බඹසරවසට අන්තරාය විය හැකි බැවිනි.
  6. පානාගාර-රාසොඬුන් වසන සුරා සැල් ආදිය.

රාජරාජමහාමාත්‍යාදීහු නම්:-

රජවරු හා මහ ඇමැතිවරු ය. නුසුදුසු ලාභ සත්කාර උපදවන බැවින් සම්‍යග් ආජීවයට අන්තරාය කරය.

තීර්‍ථකාදීහු නම්:-

තීර්‍ථකයෝ සහ තීර්‍ථක ශ්‍රාවකයෝ ය-දෘෂ්ටි විපත්තියට හේතු වන හෙයින් සම්‍යග් දෘෂ්ටියට අන්තරාය කරය.

අශ්‍රද්ධාදී කුලයෝ නම්:-

  1. අශ්‍රද්ධා වන්තයෝ-ශ්‍රද්ධා ගුණය නැති හෙයින් අන්තරාය කරය.
  2. අප්‍රසන්නයෝ-සංඝයා කෙරෙහි පැහැදීමක් නැති අය.
  3. අක්කොස පරිහාසකානි - දස ආක්‍රෝස වස්තු ආදියෙන් ආක්‍රෝස කරන හෙයින් හා භය දැක්වීමෙන් තර්ජනය කරන හෙයිනි.
  4. අනත්‍ථකාමානි - අනත්‍ථයම කැමැති වන අය.
  5. අහිත කාමානි - අහිතවත් වූ අය.
  6. අළාසු කාමානි - සුවය කැමැති නොවන අය.
  7. අයෝගක්ඛෙමානි - භයට කැමැති වන අය.

මෙකී කුලයන් අගොචර නම්. ඔවුන් නිසා දිවි පැවැත්ම වේද, ඔවුන් කරා එළඹේ ද, නැවත නැවත එළඹේ ද, එය අගොචර නම්.

ගෝචර නම් යම් මහණ කෙනෙක් යට කියන ලද වෙසඟනන්, වැන්දඹු ස්ත්‍රීන්, වැඩිවිය පැමිණ ස්වාමිකුලයට නොගොස් ගෙයි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්‍ෂූනීන් මත්පැන්සැල් ගෝචර කොට වාසය නො කරන්නේ වේද, රජුන් හා රජඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථක ශ්‍රාවකයන් හා ද නුසුදුසු සංසර්‍ගයට නො පැමිණ වෙසේ ද, ශ්‍රද්ධාසම්පන්න, පැහැදීම ඇති, භික්‍ෂු-භික්‍ෂුණීන් උදෙසා සතරමංසන්‍ධියෙහි තැනූ බොන පැන් පොකුණක් බඳුවූ, භික්‍ෂු-භික්‍ෂුණීන්ගේ පැමිණීම කරණ කොට ගෙන උන්වහන්සේලා හන් පෙරෙවි චීවරාලෝකයෙන් බැබලෙන්නාවූ, භික්‍ෂු භික්‍ෂුණීන් සඞ්ඛ්‍යාත ඍෂින්ගේ චීවර වාතයෙන් හා අත්පා දිගු කිරීම් ආදියෙන් හටගන්නාවූ පවනින් ද හමන ලද නොහොත් සෝදා හරන ලද පව් ඇති හෙයින් උන්වහන්සේලාගේ ඇසුරින් පිරිසුදු වූ, අර්‍ත්‍ථයක් ම කැමැති වන්නාවූ කුලයන් ගොචර නම් වේ.

තවද, උපනිස්සය ගොචරය, ආරක්ඛ ගොචරය, උපනිබන්‍ධ ගොචර යයි ගොචරය ත්‍රිවිධ වේ.

උපනිස්සය ගෝචර-සීලාදී ගුණයන්ට කාරණා වන හෙයින් උපනිස්සය ගෝචර නම්.

යම් කල්‍යාණ මිත්‍රයෙකු නිසා පෙර නො ඇසූවිරූ සූත්‍ර, ගෙය්‍ය ආදිය අසාද,

පෙර අසන ලද්ද නැවත නැවත පිළිවිසීමෙන් පිරිසුදු කෙරේ ද,

ඇසූ විරූ තන්හි සැක දුරු කෙරේ ද,

කර්‍මය හා කර්‍මඵලය ද, රත්නත්‍රය ද ඇදහීම් වශයෙන් සම්‍යග්දෘෂ්ටිය ඇදහරිද, එහිම ශ්‍රද්ධායෙන් සිත පහදවා ද,

ධර්‍මය, පිරිසිදු කොට, එහි ප්‍රකාශිත වූ නාම-රූප ධර්‍මයන් තත්‍වාකාරයෙන් දැන, සත්ත්‍වය, ජීවය, යනාදී මිථ්‍යාදෘෂ්ටි සඞ්ඛ්‍යාත වක් දිගහැරීමෙන් සම්‍යග්දෘෂ්ටිය දිගහරින්නේ වේද,

නාම-රූප ධර්‍මයන්ගේ කාරණය ද, ඒ කාරණයෙන් හටගත් ධර්‍ම මාත්‍රය ද, තත්‍වාකාරයෙන් දැකීමෙන් අතීතානාගත වර්‍තමාන යන කාලත්‍රය විෂයෙහි සැක දුරු කෙරේ ද,

ඉන් ඔබ්බෙහි උදයව්‍යය ඥානාදී වශයෙන් විදර්ශනා වඩා ආර්‍ය්‍ය භූමියට පැමිණ අචල ශ්‍රද්ධායෙන් තුනුරුවන් කෙරෙහි සිත පහදවා ද,

මෙබඳු වූ ලක්‍ෂණ ඇති ඒ කල්‍යාණ මිත්‍රයාට අනුව හික්මෙන්නා වූ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් ශ්‍රද්ධාවෙන් ද, ශීලයෙන් ද, ශ්‍රැතයෙන් ද, ත්‍යාගයෙන් ද, ප්‍රඥායෙන් ද නො පිරිහෙන හෙයින් එය උපනිශ්‍රය ගොචර නම් වන්නේ ය.

ආරක්ඛ ගොචරය යම් භික්‍ෂුවක් ඇතුල් ගමට වැද පිඬුසිඟීම් පිණිස වීථි මාර්‍ගයට පිළිපන්නේ යට හෙළූ ඇස් ඇතිව, වියදඬු පමණ දුර බලන සුළුව, චක්‍ෂුරාදී ෂඩේන්‍ද්‍රියයන් මොනවට ආරක්‍ෂා කොට ගෙනයේ ද, ඇත්, අස්, රථ, පාබල සේනා ද, ස්ත්‍රී පුරුෂයන් ද නො බලමින් උඩ යට දිසා අනුදිසාවන් නො බලමින් යන්නේ වේද මෙය ආරක්ඛ ගොචර නම් වේ.

උපනිබන්‍ධ ගොචරය - යෝගාවචරයාගේ භාවනා චිත්තය ඔබමොබ යා නොදී සතර සතිපට්ඨාන නමැති ටැඹ කරා පමුණුවා, එහි බදීද, ඒ සතර සතිපට්ඨාන ධර්‍මයෝ උපනිබන්‍ධ ගෝචර නම් වේ. මෙය ස්මෘති චෛතසිකය යි.

මෙසේ ආචාර ගොචර සම්පන්න වූ යෝගාවචර භික්‍ෂු තෙම අණු ප්‍රමාණවූ ඉතා සුළු වරදෙහි පවා භය දක්නා සුළුවේ. එනම්, නොදැන, අමතකවීමෙන් සිවුරු හැඳීම් ආදියෙන් පැමිණි සෙඛිය ශික්‍ෂාපදයන්ගේ ඉක්මවීම ය, අකුසල චිත්තයන්ගේ ඉපදීම ය යනාදී ප්‍රභේද ඇති ස්වල්ප මාත්‍ර වරදෙහි පවා පාරාජිකාපත්තියක් තරම් මහත් කොට සිතා භය දක්නා සුළුවේ. හෙතෙමේ ශික්‍ෂාපදයන්ගෙන් යමක් සමාදන්ව රැක්ක යුතු ද ඒ සියල්ල රක්නේය. ශික්‍ෂා පදයෙහි ප්‍රථම ප්‍රඥප්තිය, අනුප්‍රඥප්තිය, සර්‍වත්‍රප්‍රඥප්තිය, ප්‍රදේශප්‍රඥප්තිය යනාදී ප්‍රභේදවත් වූ යම් කිසිවක් හික්මිය යුතු ද, පිළිපැද්ද යුතු ද, පිරිය යුතු ද, ඒ සියල්ල ම මනා කොට ගෙන හික්මෙන්නේ ය යනු එහි අදහස වේ.

මෙසේ විදර්ශනා ප්‍රඥා භාවනාව වඩනු කැමැති යෝගාවචර තෙම පළමු කොට ප්‍රාතිමොක්‍ෂ සංවර සීලයෙහි මනාකොට පිහිටා හික්මෙන්නේය.