අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රඥා භාවනා වැඩීම

මෙසේ නොයෙක් ප්‍රභේදගත වූ මේ ප්‍රඥාව දැන හැඳින ගෙන එය භාවනා වශයෙන් වඩා ඵලාදිගමය කරණු කැමැති යෝගාවචරයා විසින් විදර්‍ශනා ප්‍රඥාවට භූමි වූ ස්කන්‍ධාදී ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ හා පාළිය ඉගෙන, නුවණින් පුරුදු කොට, මූල වූ ධර්‍ම සම්පූර්‍ණ කිරීමෙන්, ශරීර වූ පඤ්ච විශුද්ධීන් වැඩීමෙන් ප්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වේ.

විදර්‍ශනා ප්‍රඥාව වැඩීමට උපකාරක ධර්‍ම වූ භූමි නම් ස්කන්‍ධ, ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය, සත්‍යය, පටිච්චසමුප්පාද ආදී ප්‍රභේද ඇති ධර්‍මයෝ ය. සත්‍වයෝ නා නා ප්‍රකාරය, ඔවුන් අතුරෙන්—

  1. අරූප සම්මූල්හයෝය
  2. රූප සම්මූල්හයෝය
  3. උභය සම්මූල්හයෝය යයි සත්‍වයෝ ත්‍රිවිධ වෙති.

අරූප සම්මූල්හයෝ නම් නාම ධර්‍මයන්හි මුළා වූවෝ ය.

ඔවුන් සඳහා නාමස්කන්‍ධය, වෙදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ වශයෙන් සතරක් කොට ඇති ස්කන්‍ධ දේශනාව වදාළ සේක.

රූප සම්මූල්හයෝ නම් රූපයෙහි මුළාවූවෝ ය. ඔවුන් සඳහා එකොළොසක් වූ කොටස් ඇති ආයතන දේශනාව වදාළ සේක.

උභය සම්මූල්හයෝ නම් නාම-රූප දෙක්හි මුළාවූවෝ ය. ඔවුන් සඳහා නාමය සප්ත විඥාන ධාතුවශයෙන් ද රූපය එකොළොස් ආකාරයෙන් ද දක්වා ධාතු දේශනාව වදාළ සේක.

තවද සත්ත්‍වයෝ-

  1. තික්ඛින්‍ද්‍රිය
  2. මජ්ඣිමින්‍ද්‍රිය
  3. මුදින්‍ද්‍රිය යයි ත්‍රිවිධ වෙත්.

තියුණු කළ ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඇති පුද්ගලයන් සඳහා ස්කන්‍ධ දේශනාව ද, මධ්‍යම ප්‍රමාණයට දියුණු කළ ඉන්‍ද්‍රියයන් ඇති පුද්ගලයන් සඳහා ආයතන දේශනාව ද, මුදින්‍ද්‍රිය ඇති පුද්ගලයන් සඳහා ධාතු දේශනාව ද වදාළ සේක.

තවද සත්ත්‍වයෝ-

  1. සංක්‍ෂෙප රුචික
  2. මධ්‍යම රුචික
  3. විස්තාර රුචික යයි ත්‍රිවිධ වෙත්.

ඔවුන් අතුරෙන් සංක්‍ෂෙප රුචික පුද්ගලයන් සඳහා ස්කන්‍ධ දේශනාව ද, මධ්‍යම රුචිකයන් සඳහා ආයතන දේශනාව ද, විස්තාරරුචිකයන් සඳහා ධාතු දේශනාව ද වදාළ සේක.

තවද, ඊශ්වර නිර්‍මාණවාදාදී වශයෙන් ආත්ම දෘෂ්ටියෙහි මුළාවූවන් සඳහා ඊශ්වරත්‍වයෙන් ශූන්‍යයහයි අනාත්ම ලක්‍ෂණය සුවසේ අවබෝධ කරවීම සඳහා ඉන්‍ද්‍රිය දේශනාව වදාළ සේක.

අවසානයෙහි මේ ස්කන්‍ධ, ආයතන, ධාතු, ඉන්‍ද්‍රිය යන සතර ධර්‍මයන්ගේ පැවැත්ම ය, පැවැත්වීමේ හේතු ය, වැළැක්ම ය, වැළැක්මේ මාර්‍ගය යන සතර ධර්‍මයන්ගේ වශයෙන් සත්‍යය ධර්‍ම හා පටිච්ච සමුප්පාද ධර්‍ම ද වදාළ සේක.

මූල ධර්‍මයෝ දෙදෙනෙකි. එනම් ශීල විසුද්ධිය හා චිත්ත විශුද්ධිය යි. සෙසු පඤ්ච විශුද්ධින්ගේ පිහිටීමට උපකාර හෙවත් හේතුවන හෙයින් මූල යයි කියනු ලැබේ.

ශරීර වශයෙන් සළකනු ලබන ධර්‍මයෝ පස් දෙනෙකි. එනම් දිට්ඨි විශුද්ධි, කඞ්ඛාවිතරණ විශුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධි, පටිපදා ඤාණදස්සන විශුද්ධි, ඤාණදස්සන විශුද්ධි යන විශුද්ධි පසය. භාවනා වශයෙන් වඩන ලද මේ ධර්‍ම පස පරම්පරා වශයෙන් පවත්නා කල, අත්, පා, හිස ආදී වශයෙන් උපමා කොට අවයවයෙන් යුත් ශරීරය යයි හඳුන්වනු ලබන හෙයිනි.

මෙහි භූමි වශයෙන් දක්වන ලද ධර්‍මයන් අතුරෙන් ස්කන්‍ධයෝ පස් දෙනෙකි. එනම් රූප ස්කන්‍ධ, වෙදනා ස්කන්‍ධ, සංඥා ස්කන්‍ධ, සංස්කාර ස්කන්‍ධ, විඤ්ඤාණ ස්කන්‍ධ යන පඤ්චස්කන්‍ධයෝ ය.

ආයතනයෝ දොළොසෙකි. චක්ඛායතන, රූපායතනාදී අධ්‍යාත්මික ආයතන සය සහ බාහිර ආයතනයෝ සදෙන ය.

ධාතු අටළොසෙකි. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදී වශයෙනි.

ඉන්‍ද්‍රිය ධර්‍මයෝ දෙවිස්සකි. චක්ඛු ඉන්‍ද්‍රිය, සොත ඉන්‍ද්‍රිය, ඝාණ ඉන්‍ද්‍රිය ආදී වශයෙනි.

සත්‍ය ධර්‍මයෝ සතර දෙනෙකි. දුක්ඛාදී චතුරාර්‍ය්‍ය සත්‍යයෝ ය.

මේ ධර්‍මයන් පිළිබඳ විස්තරය අන් තැනෙක පළවී ඇති හෙයින් මෙහිදී නැවත දැක්වීම අනවශ්‍යය. (ස්කන්ධ, ආයතන, ධාතු, සත්‍යය, පටිච්චසමුප්පාද ධර්‍ම විස්තරයද; ඉන්‍ද්‍රියයන් පිළිබඳ විස්තරය ද බලනු.)

මූල ධර්‍මවූ ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි යන දෙදෙනා අතුරෙන් උපචාර සමාධි සහිත වූ අෂ්ට සමාපත්තීහු චිත්ත විසුද්ධි නම් වේ. සමථ භාවනා ශීර්‍ෂයෙන් යට දක්වන ලද්දේ ඒ චිත්ත විසුද්ධි යයි. එහෙයින් දැන් සීල විසුද්ධිය විස්තර කරණු ලැබේ.