කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
16. පිය වර්ගය
16-1 භික්ෂූන් තිදෙනාගේ කථා පුවත

අයොගෙ යුඤ්ජමත්තානං, යොගස්මිඤ්ච අයොජයං;

අත්ථං හිත්වා පියග්ගාහී, පිහෙතත්තානුයොගිනං.

තමා නොයෙදියයුතු තැන යොදන්නාවූද, යෙදිය යුතු තැන නොයොදන්නාවූද පුද්ගලතෙම අර්ථය (යහපත) හැර ප්‍රියයම ගන්නාසුලුවූයේ ආත්මාර්ථකාමියා පතන්නේය.

මා පියෙහි සමාගඤ්ඡි, අප්පියෙහි කුදාචනං;

පියානං අදස්සනං දුක්ඛං, අප්පියානඤ්ච දස්සනං.

ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසිකලෙක්හිදු (තෘෂ්ණා ආශ්‍රය වශයෙන්) සමාගමය නොකරන්නේය. (කුමක් නිසාදයත්) ප්‍රියවූ සත්ව (සංස්කාරය)න්ගේ නොදැක්ම දුක්ය. අප්‍රියවූ සත්ව (සංස්කාරය)න්ගේ දැක්ම දුක්ය.

තස්මා පියං න කයිරාථ, පියාපායො හි පාපකො;

ගන්ථා තෙසං න විජ්ජන්ති, යෙසං නත්ථි පියාප්පියං.

එහෙයින් (කිසි සත්වයෙක්වත් සංස්කාරයක්වත්) ප්‍රිය නොකරව්. ඒ එසේ මැයි. ප්‍රියයන්ගේ වියෝගය ලාමකයි. යම් (රහත්) කෙනෙකුන්ට ප්‍රියවූ හෝ අප්‍රියවූ වස්තුවක් නැද්ද, ඔවුන්ට (අහිධ්‍යාදීකාය) ග්‍රන්ථයෝ (ගැටලු) නැත්තාහ.

16-2 එක්තරා කෙළෙඹියෙක් පිළිබඳ වූ කථා පුවත

පියතො ජායතී සොකො, පියතො ජායතී (ජායතෙ (ක.)) භයං;

පියතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං.

ශෝකය ප්‍රියවූ සංස්කාරයන් නිසාම උපදනේය. භය ප්‍රියවූ සංස්කාරයන් නිසා උපදනේය. ප්‍රිය වස්තුවෙන් මුක්තවූ සිත් ඇත්තාහට ශෝකයෙක් නැත. භය කොයින්ද?

16-3 විශාකාව පිළිබඳ කථා පුවත

පෙමතො ජායතී සොකො, පෙමතො ජායතී භයං;

පෙමතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං.

ශෝකය ප්‍රේමය නිසාම උපදනේය. භය ප්‍රේමය නිසාම උපදනේය. ප්‍රේමයෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. භයක් කොයින්ද?

16-4 ලිච්ඡවි කුමාරවරුන්ගේ කථා පුවතයි

රතියා ජායතී සොකො, රතියා ජායතී භයං;

රතියා විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං.

ශෝකය පඤ්චකාම ගුණ රතිය නිසා උපදනේය. භය පඤ්චකාම ගුණ රතිය නිසා උපදනේය. පඤ්චකාම ගුණරතියෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. බියක් කොයින්ද?

16-5 අනිත්ථිගන්ධ කුමාරයා පිළිබඳ කථා පුවත

කාමතො ජායතී සොකො, කාමතො ජායතී භයං;

කාමතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං.

ශෝකය කාමයන් නිසාම උපදනේය. භය කාමයන් නිසාම උපදනේය. කාමයන්ගෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. බියක් කොයින්ද?

16-6 එක්තරා බ්‍රාහ්මණයෙකුගේ කථා පුවත

තණ්හාය ජායතී (ජායතෙ (ක.)) සොකො, තණ්හාය ජායතී භයං;

තණ්හාය විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං.

ශෝකය තෘෂ්ණාව නිසාම උපදනේය. භය තෘෂ්ණාව, නිසාම උපදනේය. තෘෂ්ණාවෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. භයක් කොයින්ද?

16-7 පන්සියයක් දරුවන්ගේ කථා පුවත

සීලදස්සනසම්පන්නං , ධම්මට්ඨං සච්චවෙදිනං;

අත්තනො කම්ම කුබ්බානං, තං ජනො කුරුතෙ පියං.

(චතුපාරි ශුද්ධි) ශීලයෙන් හා (මාර්ගඵල සම්ප්‍රයුක්තවූ) සම්‍යක් දෘෂ්ටියෙන් ද යුක්තවූ (නවලොකොත්තර) ධර්මයෙහි පිහිටියාවූ (සත්‍යඥානයෙන්) සත්‍යවාදීවූ තමාගේ කාර්යය කරන්නාවූ ඒ ක්‍ෂීණාශ්‍රවයා (ලෞකික) මහජනතෙම ප්‍රිය කරන්නේය.

16-8 අනාගාමී තෙරුන්ගේ කථා පුවත

ඡන්දජාතො අනක්ඛාතෙ, මනසා ච ඵුටො සියා;

කාමෙසු ච අප්පටිබද්ධචිත්තො (අප්පටිබන්ධචිත්තො (ක.)), උද්ධංසොතොති වුච්චති.

නිර්වාණයෙහි (කත්තුකම්‍යතා කුසලච්ඡන්ද වශයෙන්) උපන් ඡන්දය ඇතියේ, (යටතුන් මග හා තුන්පල) සිතින් ස්පර්ශ කෙළේත්වේද, රූපදීපඤ්චකාමයෙහිද නොඇලුණු සිත් ඇත්තේවේද (හෙතෙම) උද්ධං සෝතයයි කියනු ලැබේ.

16-9 නන්දිය පිළිබඳ කථා පුවත

චිරප්පවාසිං පුරිසං, දූරතො සොත්ථිමාගතං;

ඤාතිමිත්තා සුහජ්ජා ච, අභිනන්දන්ති ආගතං.

බොහෝකල් විදේශයෙහි විසූ පුරුෂයෙකු දුර රටකින් සුවසේ ආවහු (දැක) නෑයෝද මිත්‍රයෝද, යහලුවෝද, ඔහුගේ ඊමට යම්සේ සතුටු වෙද්ද?

තථෙව කතපුඤ්ඤම්පි, අස්මා ලොකා පරං ගතං;

පුඤ්ඤානි පටිගණ්හන්ති, පියං ඤාතීව ආගතං.

එපරිද්දෙන්ම කරණලද පින්කම් ඇති (පුරුෂයාද) මෙලොවින් (මිය) පරලොවට ගියහු (ඔහු) කළ කුශලයෝ දුර සිට ආ ප්‍රිය නෑයෙකු (පිළිගන්නා නෑයන්) මෙන් පිළිගන්නාහ.