16-9 නන්දිය පිළිබඳ කථා පුවත

චිරප්පවාසිං පුරිසං දූරතො සොත්‍ථිමාගතං

ඤාතිමිත්තා සුහජ්ජා ච අභිනන්‍දන්ති ආගතං.

බොහෝ කලක් පිට රට ගොස් වුසූ, දුරු රටැ සිට සුවසේ ආ පුරුෂයක්හු දැක නෑයෝ ද මිතුරෝ ද යහළුවෝ ද ඔහුගේ පැමිණීම සාදර ව පිළිගනිත්.

තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකා පරං ගතං

පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතීව ආගතං.

එ පරිද්දෙන් ම කළ පින් ඇති මෙ ලොවින් පරලොවට ගිය පුරුෂයා ද, ඔහු කළ කුසල්හු දුර සිට ආ ප්‍රියයකු පිළිගන්නා නෑයන් සේ පිළිගන්නාහු ය.

"විරප්පවාසිං ” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ වැඩසිටිය දී නන්දිය නිමිති කරගෙන දේශනා කළහ.

බරණැස සද්ධා සම්පන්න කුලයක නන්දිය නම් පුත්‍රයෙක් වුයේය. හේ මවුපියන්ට අනුරූපවා ශ්‍රද්ධාවන්ත වු ප්‍රසන්න භික්ෂු උපස්ථායකයෙක් වීය. අනතුරුව දෙමාපියන් වයසට පත්වූ විට ඉදිරි පස මාමාගේ නිවසින් රේවතීනම් දියණිය ගෙන එනු කැමතිවිය. ඇය - ශ්‍රද්ධා සම්පන්න නොවුවා දන්දීම ද රුචි නොකළාය. නන්දිය එයට නොකැමතිවිය. අනතුරුව මව රේවතියට මෙසේ පැවසුවාය.

දරුව ඔබ මේ නිවසේ භික්ෂු සංඝයාට වැඩසිටින තැන් පිරිබඩ කොට අසුන් පනවන්න. මේස තබන්න. භික්ෂූන් පැමිණි විට පාත්‍රය ගෙන වාඩිකරවා පෙරහනකින් පැන්පෙරා වළදා අවසන පාත්‍රය සෝදා දෙන්න. මෙම කටයුතු කර මගේ පුතු සතුටු කරවා ගන්නැයි පැවසුවාය. ඇය එසේ කළාය. මෙලෙස ඇය කීකරු කෙනෙකැයි පුතාට දන්වා ඔහු පිළිගත්විට ටික දිනකට පසුව ආවාහ කළේය. අනතුරුව නන්දිය මෙසේ පැවසුවේය. ඉදින් භික්ෂු සංඝයාට ද මහළු දෙමාපියන්ට ද උවටැන් කරන්නේනම් මගේ නිවසේ සිටිමට අවකාශ ලැබේ. වස්තුව ද ලබන්නේය. අප්‍රමාද වන්න. ඇය යහපතැයි කියා පිළිගෙන දින කීපයක් ශ්‍රද්ධාවන්තියක ලෙසට ස්වාමීන්ට උවටැන් කළාය. පුතුන් දෙදෙනෙක් බිහිකළාය නන්දියගේ දෙමව්පියෝ කළුරිය කළහ. නිවසේ සියළු සම්පත් ඇයටම අයත් විය.

නන්දිතෙම දෙමව්පියෝ මියගිය විට එතැන් සිට නන්දිය මහා දානපතියෙක්ව භික්ෂූන්ට දන් තැබුවේය. කෘණපයින්ට හා පයින් යන්නන්ට ගෙදොර පිසු ආහාර තැබීය. ඔහු පසුකලෙක බණ අසා ආවාස දානයේ අනුසස් අසා ඉසිපතන මහා විහාරයේ කාමර සතර බැගින් ඇති සතරැස් ශාලා කරවා ඇඳ පුටු ආදිය ද සපයා එම ආවාසය පවරා දෙන්නේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානයක් දී බුදුරජාණන් වහන්සේට දක්‍ෂිණොදකය පිරිනැමුවේය. (පැන්වඩා පිරිනැමීය) බුදුන්ගේ අත පැන් වත්කර දෙන විටම දිව්‍ය ලෝකයේ සියළු දිසාවන්හි පැතිරුණ දොළොස් යොදුනක් පළලට ද යොදුන් සියයක් උසට ද රුවන්මය ප්‍රාසාදයක් ද පරිවාර දිව්‍ය කාන්තාවක් ද පහළ විය. ඉක්බිති එක් දිනක් මහමුගලන් තෙරුන් දෙව් ලොව චාරිකාවේ යෙදෙමින් එම ප්‍රාසාදය අබියස සිටියේ තමන් අබියසට පැමිණි දෙවිවරුගෙන් විමසා සිටිසේක. මේ දිව්‍ය අප්සරාවන්ගෙන් පිරුණ දිව්‍ය ප්‍රාසාද කවුරුන් උදෙසා පහළ වී දැයි එම දෙවියන් දිව්‍ය විමානයේ ස්වාමීගෙන් විමසා මෙසේ පැවසුහ.

ස්වාමීනි නන්දියනම් ගෘහපති විසින් ඉසිපතනාරාමයේ බුදුන්ට විහාරයක් කරවා දෙන ලදින් ඔහු වෙනුවෙන් මේ විමානය පහළවිය. දිව්‍ය අප්සරාවන් ද එය දැක ප්‍රාසාදයෙන් බැස මෙසේ කීවාහුය. ස්වාමීනි අප නන්දියගේ පරිවාර ස්ත්‍රීහුය. මෙහි පහළ වු අපි ඔහු නොදැක අතිශයින් උකටලීව සිටිමු. වැලි පාත්‍රයක් බිඳ රන් බඳුනක් ගැනීමට සමාන වූ මිනිස් සම්පත්තිය අත්හැර දිව්‍ය සම්පත් ගැනීමට මෙහි පැමිණිමට ඔහුට කියාදෙන්න. තෙරුන් වහන්සේ දිව්‍යලෝකයෙන් පැමිණ බුදුවෙත එළඹ විමසුහ. ස්වාමීනි මිනිස් ලොව සිටියදීම කරන ලද කුශල කර්මවලට දිව්‍යලෝකයේ සමාන ප්‍රතිඵල ලැබේද? ඔබ ඒවාදැක මාගෙන් කුමකට විමසයිද? අනතුරුව බුදුහු

මොග්ගල්ලාන ඔබ කුමක්නම් කියයිද? බොහෝ ඈතක සිටි කෙනෙක් පුතෙක් හෝ සහෝදරයෙක් හෝ දුරසිට කලකින් පැමිණි විට ගම්දොර සිටි තැනැත්තෙක් දැක වේගයෙන් ගෙට ගොස් අසවල් තැනැත්තා ආවේයයි. දැනුම් දෙන්නේ ද ඔහුගේ ඥාතීන් තුටු පහටුව වේගයෙන් ගෙයින් නික්ම පුතා ආවා පුතා ආවා යනුවෙන් සතුටුවේද එලෙසම යහපත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මෙලොව අත්හැර යනවිට දසවිධ දිව්‍ය පඬුරු අරගෙන මම පළමුව මම පළමුව යයි කියා පසුපසින් ගොස් දෙවියන් සතුටු කරතියි මේ ගාථාව පැවසුහ.

බොහෝ කාලයක් දුර සිට සුවසේ පැමිණි

දරුවෙකු සොයුරෙකු නෑයන් බැති සිතිනි

පිළිගන්නා ලෙසට, පින් කළ දන තොසිනී

දෙලොව දෙවගනන් පිළිගනු ඇත බැතිනී.

"විරප්පවාසිං පුරිසං - දුරතො සොත්ථි මාගතං” එහි චිරප්පවාසිං - යනු බොහෝ කලක් බැහැර සිටි දුරතො සොත්ථි මාගතං වෙළෙන්දෙක් හෝ රාජ්‍ය පුරුෂ හෝ තනතුරු නිසා ලබන ලද ලාභය හෝ ආදායම ගෙන උවදුරකින් තොරව දුරසිට පැමිණි. ඥාති මිත්තා - කුල සබඳතාව අනුව ඥාතීන් ද මිත්‍රයින් ද - සුහද බැවින් සහෘදයන් ද අභිනන්දන්ති ආගතං ස්වාගතං යන වචනයද ඇඳිලි බැඳ විඳගැනීමද ගෙට පැමිණි අයම පුද පඬුරු දීම වශයෙන් සතුටුවීම. තථෙවාති මේ කරුණු අනුව පිංකළ පුද්ගලයා මේ ලොවින් පරලොව යන විට දිව්‍යමය වූ ආයු -වර්ණ - සැප - කීර්ති - අධිපත්‍යය - දිව්‍යමය රූප - ශබ්ද - ගන්ධ - රස - ස්පර්ශ යන මේ දසවිධ පඬුරු ගෙන මව්පියන් ළඟ සිටිය දී පින් පමුණුවන්නැයි පිළිගනිති. පියං ඥාතීවාති මේ ලොව ප්‍රිය ඥාතීන් අනෙක් ඥාතීන් හා සම වේයන අර්ථයි. දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ඇදී මාර්ග ඵලාදියට පැමිණියාහුය

.

පියවග්ගය නිමි

සොළොස් වැනි වර්ගයයි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.