16-5 අනිත්ථිගන්ධ කුමාරයා පිළිබඳ කථා පුවත

කාමතො ජායතී සොකො කාමතො ජායතී භයං

කාමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

(වස්තුකාම ක්ලේශකාමයැ යි ද්විවිධ වූ) කාමයන් නිසා ශෝකය උපදී. කාමයන් නිසා භය හටගනී. කාමයන්ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

"කාමතෝ" යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී නම් අනිත්ථිගන්ධ කුමාරයෙක් නිමිති කරගෙන දේශනා කළහ.

ඔහු නම් බඹලොවින් චුතවී සැවැත් නුවර මහත් සම්පත් ඇති කුලයක ඉපදුනේ උපන් දින සිටම ස්ත්‍රියක් ළඟට එනුත් නොකැමති වෙයි. ගැහැනුන් වඩාගත් විට හඬන නිසා කඩ කැටියකින් (රෙදිතිරයකින්) වසා ගෙන කිරි පොවති. ඔහු වයසට පත්වූ විට දෙමාපියන් දරුව ! විවාහයක් කරදෙමියි පැවසුවිට මට ගැහැනුන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි ප්‍රතික්ෂේප කර නැවත නැවත ආයාචනා කරන්නේ පන්සියයක් රන්කරුවන් ගෙන්වා ඔවුන්ට රන් කලං 25ක් සහ කහවණු පන්සියයක් දෙවා ඉතා විසිතුරු ඝනරන් ස්ත්‍රී රුවක් සාදවා නැවත දෙමාපියන් දරුව ඔබ විවාහයක් කරව්. යුවතියක් ගෙන එන්නෙමියි පැවසුවිට එසේනම් මේ රුවට සමාන ස්ත්‍රියක් ගෙන එන්නේ නම් ආවාහය කරන්නෙමි යි රුව දැක්විය. අනතුරුව ඔහුගේ දෙමාපියෝ ප්‍රසිද්ධ ප්‍රකට බ්‍රාහ්මණයින් ගෙන්වා අපේ පුතු මහා පින්වතෙකි. එනිසා මෙබඳු යුවතියක් වන්නේ ය. මේ දරුව ගෙන ගොස් මෙබඳු තරුණියක් ගෙන එන්න යයි යැවුහ. ඔවුන් යහපතැයි කියා චාරිකාවේ යෙදී මධුරට සාගල නුවරට ගියෝ එනුවර සොළොස් වියැති අභිරූපී කුමරියක් සිටියේය. ඇගේ දෙමාපියෝ ඇය සත්මහල් ප්‍රාසාදයක උඩම තලයේ තබා ආරක්ෂා කළහ. එම බ්‍රාහ්මණයෝ රන්රුව නගරයේ තබා ගෙන ඉදින් මෙබඳු යුවතියක් නගරයේ සිටි නම් මිනිස්සු මේ රුව දැක මෙය අසවල් කුල දුවනිය හා සමානයයි කියති. ඔවුන් එම රන්රුව ගෙන ගොස් තොටුපලට යන මාර්ගයේ තබා එකත් පසෙක වාඩිවී සිටියහ.

අනතුරුව එම කුමරිගේ කිරිමව ඇය නහවා සිටවා. ඇය ද නානු කැමතිව එහි පැමිණියේ එම රූපය දැක මේ මගේ දුවණියයි සිතා අහෝ අවිනීත තැනැත්තිය. ඔබව නහවා නික්මුණ විට නුඹ මට පළමුව මෙහි ආවාදැයි අසා අතින් පහර දී තදබව දැන චලනයද නොමැති බව දැන මට මගේ දුවයයි සිතුවෙමි. මේ කුමක්දැයි පැවසුවාය. අනතුරුව එම බ්‍රාහ්මණයෝ - මෑණියනි ඔබේ දුවණිය මේ ආකාර දැයි විමසුහ. මෙය මගේ දුවණිය ළඟ මෙය මොන අගයක් දැයි පැවසුවාය. එසේ නම් ඔබේ දුවණිය මට පෙන්වන්න යයි කීහ. ඇය ඔවුන් සමග ගෙට ගොස් ස්වාමී දුවට දැනුම් දුන්නාය. ඔවුන් බ්‍රාහ්මණයන් සමග පිළිසඳර කථා කොට දියණිය ප්‍රාසාදයෙන් බස්වා යට මහලේ තැබු රන්රුවළග තැබුහ. රන්රුව ප්‍රහා නැතිවිය. බමුණෝ රන්රුව දෙමාපියන්ට දී කුමරිය රඳවා ගොස් අනිත්ථිගන්ධ කුමරුගේ දෙමාපියන්ට දැනුම් දුන්හ.

ඔවුහු සතුටු සිතින් යව් ඇය වහා කැඳවාගෙන එන්නැයි මහත් සත්කාර කර පිටත් කළහ. කුමරු ද එම ප්‍රවෘත්තිය අසා රන්රුවටත් වඩා රූමත් යුවතියක් ඇතැයි අසා ඒ ඇසු පමණකින් ස්නේහය උපදවා වහා ගෙන එන්නැයි පැවසුවේය. ඇය ද යානයක නංවා ගෙන එන්නේ ඉතා සිවුමැලි බැවින් රථයේ කම්පනය නිසා හටගත් වාත රෝගයකින් අතරම කළුරිය කළාය. කුමරු ද එන එන අයගෙන් නිතර ප්‍රශ්න කරයි. ඈ කෙරෙහි දැඩි සෙනෙහසින් විමසන නිසා මැරුණ බව නොදන්නා දින කීපයක් පසුකොට මේ කරුණු දැනුම් දුන්හ. ඔහු එබඳු රූමත් යුවතියක් සමග සමාගමය නො ලැබුවේ යයි දොම්නසට පත්වූයේ දැඩි සේ කම්පනයට පත්වුයේය. බුදුහු ඔහුගේ හේතු සම්පත් දැක පිඩු පිණිස හැසිරෙමින් ඔහුගේ ගෙට වැඩම කළහ. අනතුරුව කුමරුගේ දෙමාපියෝ උන්වහන්සේ ගෙතුළට වැඩමවා හොඳින් සත්කාර කළහ. බුදුහු බත්කිස නිමවා අනිත්ථිගන්ධ කුමරා කොහිදැයි විමසුහ. ස්වාමීනි ඔහු ආහාර නොගෙන කාමරය තුළට වී සිටියයි පැවසුහ. ඔහුට කථාකරන්නැයි පැවසුහ. කුමරු පැමිණ බුදුන් වැඳ එකත් පසෙක සිටියේය. ඇයි කුමාරය ඔබ බලවත් ශෝකයෙන් පෙළෙන්නේදැයි විමසුහ. එසේය ස්වාමීනි. මෙබඳු රූමත් කාන්තාවක් අතර මගදී කළුරිය කළේයැයි මට බලවත් ශෝකයක් ඇතිවිය මට කෑමත් අප්‍රිය වෙයි.

එහිදී බුදුරජාණන් වහන්සේ ඔබට මෙතරම් ශෝක වේදනාවක් ඇතිවුයේ කුමක් නිසාදැයි ඔබ දන්නේදැයි විමසුහ. ස්වාමීනි මම නොදනිමි. කාමය නිසා කුමරුනි ඔබට මෙබඳු ශෝකයක් ඇතිවිය. ශෝකයත් - බියත් - කාමය නිසාම ඇතිවේ. යයි පවසා මේ ගාථාව දෙසුහ.

පුහුදුනගෙ කාමය

සෝ බිය ඇතිකෙරේමය

දුරු කොට කෙලෙස් කම්

කළයුතු නිවන් යාමය.

මෙහි කාමතො - යනු වත්ථුකාම ක්ලේශකාම යන දෙයාකාර කාමය අදහස් කෙරෙයි. මෙම දේශනය අවසානයේ දී අනිත්ථිගන්ධ කුමරු සෝවාන් ඵලයට පත්වුහ.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.