අයොගෙ යුඤ්ජමත්තානං යොගස්මිඤ්ච අයොජයං
අත්‍ථං හිත්‍වා පියග්ගාහී පිහෙතත්තානුයොගිනං.
තමා නොයෙදියයුතු තැන (අගෝචරසේවනයෙහි, අයෝනිසෝමනසිකාරයෙහි) යොදාන්නාවූ ද, යෙදියයුතු තැන (සතිපට්ඨානගෝචරයෙහි) නො යොදාන්නාවූ ද පුද්ගල තෙම අර්‍ත්‍ථය (ත්‍රිශික්‍ෂාව) දුරැලා ප්‍රිය දැයම (පස්කම්) ගන්නා සුලු වූයේ අත් වැඩෙහි යෙදුනහු පතයි. (මමත් මෙබඳු වීම් නම් යෙහෙකැයි මෙසේ ඔවුන් කැමති වන්නේ ය.)
මා පියෙහි සමාගඤ්ඡි අප්පියෙහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං අප්පියානඤ්ච දස්සනං.
ප්‍රියයන් සමග ද අප්‍රියන් සමග ද කිසි කලෙකත් (තෘෂ්ණාසංස්තව වශයෙන්) එක් නො වව. ප්‍රියයන්ගේ නොදැක්ම දුකෙකි. අප්‍රියයන්ගේ දර්‍ශනය ද දුකෙකි (එ හෙයිනි).
තස්මා පියං න කයිරාථ පියාපායො හි පාපකො
ගන්‍ථා තෙසං න විජ්ජන්ති යෙසං නත්‍ථි පියාප්පියං.
එ හෙයින් කිසිවෙක් (කිසි සත්‍වයෙකු හෝ කිසි සංස්කාරයක්) ප්‍රිය නො කරන්නේ ය. ඒ එසේ මැ යි. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනකුන්හට ප්‍රියාප්‍රිය වස්තුවෙක් නැද්ද, ඔවුන්හට (අභිධ්‍යාදි චතුර්විධ) කායග්‍රන්‍ථයෝ නැත්තාහ (ඔවුන්ගේ සන්තානයෙහි නො පවත්නාහු ය)
"අයොග” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී පැවිද්දන් තිදෙනෙක් නිමිති කරගෙන දේශනා කළහ.
සැවැත් නුවර එක්තරා කුලයක මව්පියන්ට ප්‍රිය වූ එක් පුත්‍රයෙක් සිටියේය. එක් දිනක් ගෙට ආරාධනා කළ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනයක් අසා ඔහු පැවිදිවනු කැමතිව මවු පියන්ගෙන් පැවිදි වීමට අවසර ඉල්ලීය. ඔවුහු අනුමත නොකළහ. අනතුරුව ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මම දෙමාපියන්ට නොපෙනී පිටත ගොස් පැවිදි වන්නෙමි. අනතුරුව පියා බැහැර යන විට මොහු රැකබලා ගන්නැයි මවට පැවරුවේය. මව බැහැර යන විට ඔහු රැක ගැනීමට පියාට පැවරුවේය. මේ අතර දිනක් පියා ගිය විට මව පුතා රැකගන්නෙමියි. එක දොරක් අතින්ද අනෙක පයින් ද මැඩ ගෙන සෙවනේ වාඩිවී නූල් කටිමින් සිටියදී ඔහු ඇය රවටා යන්නෙමියි සිතා මෑණියෙනි ටිකකට සිරුරු කිස කිරීමට ඉඩදෙන්නැයි ඇගේ පා පාගාගෙන එළියට ගොස් වේගයෙන් පන්සලට ගොස් භික්ෂුගෙන් ස්වාමීනි මා පැවිදිකරන්නැයි ඉල්ලා සිටියේය. පසුව එම භික්ෂූන් වෙත පැවිදි විය. අනතුරුව ඔහුගේ පියා ගෙදර පැමිණ මගේ පුතා කොහේදැයි විමසීය. ස්වාමීනි ! දැන් මේ අසල සිටියේය. මගේ පුතා කොහේදැයි විමසා බලමින් ඔහු නොදැක විහාරයට යන්නට ඇතැයි සිතා එහි ගොස් පුතු පැවිදිවී සිටිනු දැක හඩා දරුවා මා නැසුවේ ඇයිදැයි කියා, මගේ දරුවා පැවිදි වු විට මම ගෙදර කුමක් කරන්නදැයි ඔහු ද භික්ෂූන්ට ආයාචනාකර පැවිදි විය. අනතුරුව ඔහුගේ මව දරුවා හා සැමියා විහාරයේ පැවිදි වී සිටිනු දැක මට ද ගෙදර සිටීමෙන් ප්‍රයෝජනයක් නැතැයි භික්ෂුණී ආරමකට ගොස් පැවිදිවුවාය. ඔවුහු පැවිදි වූවද වෙන්වී සිටිමට නොහැකි විය. මේ නිසා විහාරයේදී ද භික්ෂුණී අරමේදී ද එකට වාඩිවී කථාකරමින් දිවාකල ගතකරති. මේ නිසා භික්ෂූන් අතරත් භික්ෂුණීන් අතරත් කරදරයක් විය. මේ නිසා දිනක් භික්ෂුවක් ඔවුන්ගේ මේ ක්‍රියාව බුදුන්ට දැනුම් දුන්න. බුදුහු ඔවුන් කැඳවා ඔබ මෙසේ කරන්නේ සැබෑදැයි විමසා එය සැබෑ යයි පවසා සිටිවිට මෙසේ කරන්නේ කුමක් හෙයින්ද මෙය පැවිද්දන්ගේ ස්වභාවය නොවේ. ස්වාමීනි වෙන්වී සිටිමට නොහැක්කෙමු. පැවිදි වු තැන්සිට මෙලෙස කිරීම යුතු නොවේ. ප්‍රියන්ගේ නොදැකීම ද අප්‍රිය වුවන්ගේ දැකීම ද දුකක්මය. එනිසා සත්ත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහිත් ප්‍රිය හෝ අප්‍රිය හෝ කිරීම සුදුසු නොවේ. යයි පවසා මේ ගාථාව පැවසුහ.
නුසුදුසු තැන තමන් යෙදීම ද සුදුසු නැත නොයෙදීම ද පුද්ගල තෙම අර්ථය හැර දමා ප්‍රිය දෙයම ගන්නාවු ආත්මාර්ථයේ යෙදුනහු පතයි. ප්‍රියකරයි.
ප්‍රිය වූවන් සමග ද අප්‍රිය වූවන් සමගද කිසිදිනෙක එක් නොවනු. ප්‍රියයන්ගේ නොදැක්ම ද අප්‍රියයන්ගේ දැකීම ද දුක් ඇති කරයි.
එනිසා කිසිවක් ප්‍රිය නොකරන්න යම් කෙනෙකුට ප්‍රිය හෝ අප්‍රිය බවක් නැන්ද එවැනි අයට ගැටළු ඇති නොවේ.
යෙදිය යුතු තැන නුවණ
නොයොදන දනා අනුවණ
මහණදම් නො පුරණ
කෙනා දෙලොව ගමන අවුරණ
පියයන්ගේ වියොව ද
අප්පියයන්ගෙ ඇසුර ද
දුක් උපදවයි තද
දෙපිරිසෙන් වෙන්වීමයි හොඳ
එහි අයොග - නම් නොයෙදිය යුතු සිහි නුවණින් තොර වීමය. වෛශ්‍ය ආදී නොයෙදිය යුතු ස්ථාන හයක යෙදීමයි. සිහිනුවණින් තොරව තමන් යෙදවීම යන අරුතයි. යොගයනු විපරීත වු සිහිනුවණින් නොයෙදීමයි. අත්ථංහිත්වා අරුත අක්ෂර පැවිදි වු තැන් සිට අධිසීල ආදී ශීක්‍ෂත්‍රය යන අරුතයි. එය අතහැර, පියග්ගාහී - පඤ්චකාම ගුණ සංඛ්‍යාත ප්‍රිය දෙයම ගන්නේ පිහෙත්තනානුයොගින එම ප්‍රතිපත්තියෙන් සසුනෙන් චුත වුයේ ගිහි බවට පත්ව පසුව දෙව්මිනිසුන් අතර සත්කාර ලබති. ඔවුන් කෙරේ ප්‍රිය වේ. මා පියෙහි අහෝ මම ද මෙබඳු ආත්මයක් ලබන්නේ නම් යනුවෙන් කැමති වෙති. ප්‍රිය සත්ත්වයන් අතර සංකාර කෙරෙහි හෝ කිසිදින එක්‍ෂණයකදු නොයෙදේ. අප්‍රියන් කෙරෙහි ද එසේමය. ප්‍රියයන් වියෝග වශයෙන් නොදැකීම ද අප්‍රියයන් එළඹීම් වශයෙන් දැකීම ද දුකකි. තස්මා - යම් හෙයකින් මේ දෙකම දුකකි. එනිසා කිසි සතෙක් හෝ සංඛාරයන් හෝ ප්‍රිය නොකරන්න. පියාපායෙහි ප්‍රියයන්ගෙන් වෙන්වීම වියෝගයයි. පාපක - නම් ළාමකයි. ගන්ථා තෙසං න විජ්ජන්ති - යමෙකුට ප්‍රියක් නැත්ද ඔවුන්ගේ අභිධ්‍යා කාය ග්‍රන්ථ පිරිහේද යමෙකුට අප්‍රිය බවක් නැත් ද ඔවුන්ගේ අභිධ්‍යා කාය ග්‍රන්ථ පිරිහේ. යමෙකුට අප්‍රිය නැත්ද ඔවුන්ට ව්‍යාපාද කාය ග්‍රන්ථ වේ. මේ ප්‍රශ්නයක් පවතී ද ඒ තාක් අනෙක් ග්‍රන්ථ පිරිහේ එනිසා ප්‍රිය හෝ අප්‍රිය හෝ නොකළ යුතුය.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ. ඒ තිදෙන අප තිදෙනාම වෙන්වී සිටිමට නොහැකි යයි උපැවිදි බවට පත්ව ගෙදර ගියාහුය.