පියතො ජායතී සොකො පියතො ජායතී භයං
පියතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.
ප්‍රිය වූවන් නිසා ශෝකය උපදී. ප්‍රිය වූවන් නිසා භය උපදී. ප්‍රිය වූවන් ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?
"පියතො ජායති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම සිටියදී එක්තරා කෙළඹියෙක් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු තමන්ගේ පුතුන් කළුරිය කළ විට දරු දුකින් ආකූලව ආදාහන කරන සොහොනට ගොස් හඬයි. දරු දුක ඉවසා ගැනීමට නොහැකිය. බුදුහු අළුයම් වේලේ ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමේ හේතු සම්පත් දැක පිණ්ඩපාතයෙන් වැළකී එක් භික්ෂුවක් පසුපස ගමන් කිරිමට ගෙන ඔහුගේ ගෙදොරට වැඩම කළහ. ඔහු බුදුන් වැඩම කළ බව අසා මා සමග පිළිසඳර කථාවට කැමති යයි සිතා බුදුන් ගෙතුළට පිවිසවා ගේ මැද අසුනක් පනවා බුදුන් හුන්කල පැමිණ වැඳ එකත් පසෙක වාඩිවිය. ඉක්බිති බුදුහු ඇයි උපාසක දුක්වන්නේ යයි විමසා ඒ දරුවන්ගෙන් වෙන්වීමේ දුක නිසා යයි දැන්වුවිට උපාසකය නොසිතන්න. මේ මරණය නම් එකම තැනක එක් අයෙකුටම සිදුවන්නක් නොවේ. භවයේ ඇතිවු හැම කෙනෙකුටම මේ මරණය සිදුවේ. එක සංස්කාරයක් වුවද නිත්‍ය නොවේ. එනිසා මරණ ධර්මය භේදයකි. සිඳුනේ යයි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුය. ශෝක නොකළ යුතුය. පැරණි නුවණැත්තෝ ද දරුවන් මියගිය විටදී මරණය උරුමය. බිඳෙන සුළුයයි ශෝක නොකර මරණ සතියම වැඩිහයි පවසා සිටිවිට ස්වාමීනි ! කවරදා මෙසේ කළහුද? කවුරුන් මෙසේ කළාහුදයි පවසන ලෙසට ඉල්ලා සිටිය නිසා එය ප්‍රකාශ කරනු සඳහා අතීතය ගෙනහැර දැක්වුහ. "උරගාව තචං ජීණ්ණං " සර්පයා දිරාගිය හැව අත්හැර යයි. මෙලෙසම මියගිය විට දී තමන් පරිහරණය කළ මේ සිරුර අත්හැර දමයි.
සිරුර දැවෙන විට දී නොදැනේ. ඥාතීන් අඩන විට නො ඇසේ. එනිසා ශෝක නොකරමි මියගිය තැනැත්තා යා යුතු තැනට යයි.
මෙසේ පළවෙනි නිපාතයේ උරග ජාතකය විස්තර කර දී මෙලෙස පෙර නුවණැත්තෝ පිය පුතුන් කළුරිය කළ විට යම් සේ හැසිරුනේ ද ඔබ කර්මාන්ත අත්හැර නිරාහාරව අඬමින් හැසිරේ ද එලෙස නොකර මරණ සති භාවනා බලයෙන් ශෝක නොකර ආහාර ගන්න, කර්මාන්ත කරන්න. එනිසා මගේ පිය පුතුන් කළුරිය කළේයයි නොසිතන්න. උපදින සැමට ශෝකයක් බියක් දෙකම ප්‍රිය බව නිසාම උපදීයයි පවසා මේ ගාථාව පැවසුහ.
පියයන් නිසා නිතරමසෝ දුක් ම ඇතිවේ
පියයන් නිසාවෙන් නිතරම බිය ඇතිවේ
ප්‍රියයන් හා බැඳුම නැති කැරුමම සුව වේ
බව දුක නිසා මග පල ලැබුමට මග වේ
ප්‍රියබව නිසා ශෝකය ඇතිවේ. ප්‍රියයන් නිසා බිය ඇතිවේ. ප්‍රියයන්ගෙන් මිදුනවිට ශෝකයක් නැත. බියක් නැත.
එහි පියතො යනු සංසාර වට්ටය මුල්‍යකොට ඇති ශෝකයක් හෝ බියක් හෝ උපදින්නේ ප්‍රිය වූ සත්ත්වයන් නිසා හෝ සංඛාර නිසා ඇතිවේ. එනිසා ඉන් මිඳුන තැනැත්තාට මේ දෙකම නැත. යන අරුතයි.
දේශනය අවසානයේ කෙළෙඹියා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණ පිරිසට ද දේශනය සාර්ථක විය.