(සතිපට්ඨාන නිද්දෙසවාරයෙහි)
පාලි
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වා වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. දුක්ඛං වා වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. අදුක්ඛමසුඛං වා වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති.
කෙටි අදහස
මහණෙනි! භාවනානුයෝගී තෙමේ අරමුණු රස අනුභව කරන - වේදනාවන් කෙරෙහි ඒ වේදනාවන් අනුව බලමින් වාසය කරන්නේ කෙසේ ද යත්?
මේ බුදු සසුනෙහි භාවනා කරන යෝගී තෙමේ සැප වේදනාව විඳිමින් සිටිය දී හෙවත් සැප වේදනාව විඳින කල්හි “සැප වේදනාවක් විඳිමි” ය යි දැන ගනී. දුක් වේදනාව විඳින කල්හි “දුක් වේදනාවක් විඳිමි” ය යි දැන ගනී. සැපත් නො වූ දුකත් නො වූ අදුක්ඛමසුඛ වේදනා නමැති උපේක්ෂා වේදනාව විඳින කල්හි “අදුක්ඛමසුඛ වේදනාවක් විඳිමි” ය යි දැන ගනී.
එහි විස්තරය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ ඉහත කී තුදුස් (14) ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය දක්වා වදාරා දැන් නව (9) ආකාරයකින් වේදනානුපස්සනාව දක්වනු සඳහා “කථ භික්ඛවෙ” යන ආදිය වදාළ සේක.