සදොරට වැටහී එනතාක් සවැදෑරුම් අරමුණු නො කඩවා මෙනෙහි කරන තැනැත්තාහට ඤාණය මේරූ කල්හි ඒ ස වැදෑරුම් ආරම්මණයන්ගේ ඇතිවීම හා නැතිවීම ප්‍රත්‍යක්ෂ කොට දැන ගත හැකි වන්නේ ය. ඒ ආරම්මණයගේ නිත්‍ය නො වන ආකාරය ද දැනගත හැකි වන්නේ ය. එකල්හි දක්නා ලද වර්තමාන අරමුණ සහ සසඳා බලා, පෙර හමු වූ විරූ අතීත අරමුණු සය ද “අනිත්‍ය වූ දුක් වූ පෙරලෙන ස්වභාව ඇත්තේ වූවාහු” ය යි දැන ගත හැකි වෙයි. මෙසේ දැන ගත් තැනැත්තාහට දැන ගැනීමක් - දැන ගැනීමක් පාසා සතුටු විය හැකි ය. මෙකී සතුට හෝ සොම්නස නිරාමිස සුඛ නම් වේ. එය ම කාම ගුණ රසාස්වාදය හා සම්බන්ධ නො වූ විදර්ශනාව හා සම්බන්ධ වූ සුඛය යි. එයට ම නෙක්ඛම්මස්සිත සොම්නස ය යි කියනු ලැබේ. එනම්, කාමයෙන් නික්මීම නිසා ඇති වන සොම්නස ය, සතුට ය.
එහෙයින්, “රූපානං වෙන අනිච්චතං විදිත්වා විපරිනාමං විරාගං නිරොධං පුබ්බෙ චෙව රූපා එතරහි ච, සබ්බෙ තෙ රූපා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතො උප්පජ්ජති සොමනස්සං, යං එව රූපං සොමනස්සං ඉදං වුච්චති නෙක්ඛම්මසිතං සොමනස්සං” ය යි සළායතන විභාග සුත්‍රයෙහි වදාරණ ලදී.
වර්ණායතන සංඛ්‍යාත වමාන රූපයන්ගේ අනිත්‍ය බව - ප්‍රකෘති ස්වභාවය අත්හැර පෙරලෙන බව කැඩෙන බිඳෙන බව - නිරුද්ධ වන බව දැන ගෙන ම, පෙර පැවති රූපයෝ ද දැන් පවත්නා වර්තමාන රූපයෝ ද යන මේ සියලු රූපයෝ “අනිත්‍යයහ. දුක්ඛයහ. ප්‍රකෘති ස්වභාවය අත් හැර පෙරලෙන ස්වභාව ඇත්තෝහ” යි මෙසේ මේ රූපය විදර්ශනා ඥානයෙන් ඇති සැටියෙන් දක්නා පුද්ගලයාහට යම් සොම්නසක් උපදනේද, මේ එබඳු සොම්නස නෙක්ඛම්මස්සිත සොම්නස ය යි කියනු ලැබේ යනු ඒ දේශනා පාඨයේ කෙටි තේරුම ය. ඒ පාඨයෙහි ෂඩාරම්මණයන් අතුරෙන් රූපාරම්මණය පමණක් ඇතුළත් වේ. එනම් වර්ණ මාත්‍රය යි. අනික් අරමුණු පස මෙනෙහි කරන ආකාරය සහ එයින් නෙක්ඛමස්සිත සෝමනස්සය උපදනා ආකාරය ද ඒ සූත්‍රයෙහි ම සඳහන් වී ඇත.
මෙකී සතුට හෝ සන්තෝෂය උදයබ්බය ඤාණය පහළ වූ මුල් කාලයෙහි පටන් නො වැළැක්විය හැකි සේ දියුණු තියුණු වී එන්නේ ය. ඒ සතුට ඇති වන වාරයක් පාසා “සතුටුයි සතුටුයි” කියා මෙනෙහි කළ යුතු ය. “නිරාමිසං වා සුඛං වෙදනා වෙදියමනො නිරාමිසං සුඛා වෙදනං වෙදියාමීති පජානාති” ය යි වදාළේ ඒ නිසා ය.