දුඃඛය හෝ දොම්නස වශයෙන් කයට හෝ සිතට සුව පහසුව නැති - දුකක් දැනෙයි නම් එය දුක්ඛ වේදනාව යි. රිදීම ය, කැක්කුම ය, දැවිල්ල ය, රත්වීම ය, උණුසුම් වීම ය, සීතල ය, හිරි වැටීම ය, ඇවිලිල්ල ය, කැසිල්ල ය, වෙහෙස ය යන මේ ආදී වශයෙන් කයෙහි පවත්නා දුක් වේදනා සියල්ල කායිකදුඛවේදනා නමි. ඒ දුක්ඛ වේදනාව වනාහි කයේ රිදුමක් ඇති වූ කල්හි රිදෙන තැනට ම සිත යොමුකොට “රිදෙනවා, රිදෙනවා” ය යි මෙනෙහි කළ යුතු ය. දැවිල්ලක් ඇති වුව හොත් “දැවෙනවා, දැවෙනවා” යයි ද කැසිල්ලක් නම් “කසනවා කසනවා” යයි ද සිය බසින් මෙනෙහි කළ යුතු ය. අන්‍ය ජාතිකයෙක් භාවනාවේ යෙදෙනවා නම් ඔහු සිය බසින් ම මෙනෙහි කළ යුතු ය. යම් යම් ආකාරයකින් දුක් වේදනාවක් දැනේ නම් ඒ ඒ ආකාරයෙන් මෙනෙහි කරනු මිස “වේදනාව යි වේදනාව යි” කියා මෙනෙහි කිරීම සුදුසු නැත. වේදනා යන මේ වචනය සුඛ, දුක්ඛ, උපෙක්ඛා යන වේදනා තුනට ම සාධාරණ වූ බැවිනි.
සිත නරක්වීම ය, සිත දූෂ්‍යවීම ය, දොම්නස ය, තරහවීම ය, අසතුටුවීම ය, ක්‍රෝධකිරීම ය, කෝපවීම ය, සිත උණුවීම ය, සිතේ දැවිල්ල ය, සෝක කිරීම ය, භයවීම ය, සිත කලකිරීම ය, සිත දුක්වීම ය යන මේ ආදී වශයෙන් සිතෙහි උපදනා දුක් වේදනා සියල්ල දොමනස්ස වේදනා නමි. එය ද “සිත නරක් වෙනවා සිත නරක් වෙනවා” යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතු ය.