විදර්ශනා භාවනා නො කරන-අන්ධ පෘථග්ජනයාට තමාගේ ශරීරය තුළ හෝ ශරීරයෙන් පිටත හෝ ප්‍රිය ද නො වූ අප්‍රියද නො වූ කාම ගුණ වස්තුවක් දකින්ට - අසන්ට - ඉඹ බලන්ට - රස බලන්ට - ස්පර්ශ කරන්ට - සිතා බලන්ට ලැබුනු කල්හි ඒ පිළිබඳ සතුටක් හෝ අසතුටක් ප්‍රකට ව නො දැනේ නම් ඒ කාම වස්තුව අත් හරින්ටත් නො හැකිවේ නම් ඇත්ත වශයෙන් ම ඒ කාම අරමුණු කෙරෙහි ආශාව උපදවන ලෝභය හා සමග හොඳ නො හොඳ දෙකට ම ඇතුළත් නො වන විඳීමක් පහළ වන්නේ ය. ඒ මැදහත් විඳීම සාමිස අදුක්ඛමසුඛ නම් වේ. එය ගෙහසිත උපෙක්ඛා නමුදු වේ. එයට අඤ්ඤාණ උපෙක්ඛා ය යි ද කියනු ලැබේ. එනම්, මෝහය සමග පවත්නා උපේක්ෂාව විදර්ශනා යෝගී පුද්ගලයාහට ද අතරතුර ඇති විය හැකි ය. එසේ ඇති වුවත් ඉහත දැක් වූ පරිදි ම අප්‍රකටව ම පැවතිය හැකි ය. එය දැන ගැනීම දුෂ්කර ය. ප්‍රකට වූ කල්හි ඒ උපේක්ෂාව මෙනෙහි කොට දැන ගැනීම සඳහා “සාමිසං වා අදුක්ඛම සුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක්ඛම සුඛං වෙදනං වෙදියාමීති පජානාති” ය යි වදාරණ ලදී.