උදයබ්බය ඤාණය ආදි විදර්ශනා ඥාන විශේෂය ලබා ඇති පුද්ගලයා භාවනාවේ යෙදෙන කාලය දීර්ඝ වූ කල්හි, ආර්ය පුද්ගලයන් විසින් උපදවා ගතයුතු මාර්ග ඵල ධර්ම මා හට කවදා උපදවා ගත හැකිවේ දෝ යි සිතා ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්නා අදහස ඇතිවෙයි. එහෙත් වැඩි කල් භාවනා කළ නමුත් වුවමනා අදහස ඉටු නො වන කල්හි මාහට මේ භවයෙහි දී මාර්ග-ඵල නො ලැබෙනවා විය හැකි ය යි, කල්පනා කරමින් සිත දූෂ්‍යකර ගනී. වැඩි කාලයක් භාවනා කොට ද විදර්ශනා ඥාන විශේෂය වත් උපදවා ගන්ට නො හැකි වූ පුද්ගලයාහට ද මේ දුෂ්‍යතා ව පහළ විය හැකි ය. විදර්ශනාව සම්බන්ධයෙන් උපදින අසතුටක් වූ බැවින් මෙය නිරාමිස දුක්ඛවේදනා නම් වේ. එය නෙක්ඛම්මස්සිත දොම්නස නමුදු වෙයි. මෙසේ සිත නරක් වන වරක් පාසා “අසතුටුයි, අසතුටුයි’” කියා මෙනෙහි කළ යුතු ය. මේ දුක්ඛ වේදනාව උපදනා ආකාරය සක්කපඤ්හ සූත්‍ර අටුවායෙහි එන මහාසිව ස්වාමීන් වහන්සේගේ වස්තුවෙන් දතයුතු ය. එය සැකෙවින් මෙසේ යි:
මහාසිව වස්තුව:
ඒ මහා ස්ථවිර ස්වාමීන් වහන්සේ අටළොස් මහා ගණයට අයත් භික්ෂූන්ට ත්‍රිපිටක පර්යාප්ති ධර්මය ඉගැන්වූහ. උන්වහන්සේන්ගේ අවවාදයෙහි පිහිටි තිස් දහසක් භික්ෂූහු රහත් වූහ. ඒ රහත් භික්ෂූන් අතුරෙන් එක් භික්ෂුවක් “මා තුළ පවත්නා සීලාදී ගුණ ධර්ම අනන්තයහ. අප්‍රමාණයහ. මාගේ ආචාර්‍ය්‍යයන් තුළ පවත්නා ගුණ ධර්ම කොපමණදැ” යි නුවණින් විමසා බැලූ කල්හි තවමත් පෘථග්ජන භාවය නොඉක්ම වූ බව දැක “අහෝ! මාගේ ආචාර්ය තෙම අනුන්ට පිහිට වෙයි. මේ වනතෙක් තමාට පිහිට වන්ට නො හැකි විය. ඒ නිසා උන්වහන්සේ අවවාද කරනෙමැ” යි සිතා වහා ම අහසින් ගොස් ආචාර්යයන් වහන්සේ වැඩ වෙසෙන ආවාසය ළඟ දී, අහසින් බැස උන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසෙක ඉඳ ගත්තේ ය. එවිට “එම්බා පිණ්ඩපාතිකය! ඔබ මෙහි ආවේ කුමකටද” යි මහා ස්ථවිරයන් විසින් විචාළ කල්හි “අනුමෝදනා කථාවක් ඉගෙනීමට ය” යි කීවේ ය.
“ඇවැත්නි! මා මුලු දවසේ ම ඉගැන්වීමෙහි යෙදී සිටින බැවින් එයට වේලාවක් නැතැ” යි කීව්වේ ය.
“ස්වාමීනී! එසේ වී නම් විතක්කමාලකයෙහි දී විචාරන්නෙ මැ” යි කී කල්හි “එහි දී වෙනත් භික්ෂූහු ප්‍රශ්න අසත්” ය යි කීවේ ය. (මෙහි විතක්කමාලක යනු අද දින පිඬු සිඟා යා යුත්තේ කවර ගමකට හෝ නගරයකට දැ යි ටික වේලාවක් කල්පනා කරමින් සිටින තැන ය). ඉක්බිති, “පිඩු සිඟීමට යන අතර මග දී අසන්නෙ මැ” යි කී කල්හි, “එහිදීත් විචාරන්නෝ වෙත්” ය යි කීවේ ය. “එසේ වී නම්, ගම සමීපයට ගොස් සිවුරු පොරවන කල්හි, පාත්‍රය ලිහන කල්හි, ගමේ හැසිරී ආසන ශාලාවට ගොස් කැඳ වළඳා අවසන් වූ කල්හි අවකාශ තිබේදැ” යි ඇසී ය. එහි දී අර්ථකථාචාර්යවරයෝ “ප්‍රශ්න අසා සැක දුරු කර ගනිත්” ය යි කීවේ ය. එසේ නම්, පිඬු සිඟා ඇතුල් ගමින් නිමෙන කල්හි, ආරාමයට ආපසු එන අතර මග දී, ආරාමය තුළ පිහිටි භෝජන ශාලාවෙහි දන් වළඳා අවසානයෙහි දී, දවල් වැඩ ඉන්නා ස්ථානයෙහි දී, මුව සෝදන කල්හි, පා සෝදන කල්හි විචාරන්නෙ මැ” යි සැල කළ විට “එහි දී පමණක් නොව එතැන් සිට රාත්‍රිය මුලුල්ලෙහි ද පසු දිනයට අරුණ නගින තෙක් අන්‍යයෝ ප්‍රශ්න අසත්” ය යි කීවේ ය. “එසේ වී නම්. පසු දින උදෑසන දැහැටි වළඳා මුව සෝදන කල්හි, මුව සේදීමෙන් පසු සෙනසුන වෙත එන කල්හි, සෙනසුනෙහි ඉඳගත් කල්හි විචාරන මැ” යි පැවැසී ය. “ඒ හැම වේලාවක ම වෙන අය ප්‍රශ්ණ අසත් ය” යි. කීවේ ය. එවිට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ,
“භන්තෙ, නනු මුඛං ධොවිත්වා සෙනාසනං පවිසිත්වා තයො චත්තාරො පල්ලඞ්කෙ උසුමං ගාහාපෙත්වා යොනිසොමනසිකාරෙ කම්මං කරොන්තානං ඔකාස කාලෙන භවිතබ්බං සියා, මරණඛණම්පි න භවිස්සති, භන්තෙ, ඵලකසදිසත්ථ භන්තෙ පරස්ස අවස්සයො හොථ, අත්තනො භවිතුං න සක්කොථ, න මෙ තුම්හාකං අනුමොදනාය අත්ථො” ය යි කියා සෘද්ධි බලයෙන් අහසට නැගී ආපසු ගියහ.
එහි තේරුම:
“ස්වාමීනි! මුව සෝදා සෙනසුනට ඇතුල් ව තුන් හතර පර්‍ය්‍යඞ්යෙක්හි (එරමිණිය ගොතා ඉඳ ගැනීම් තුන හතරක) දී ආසනය උණුසුම් ගන්වා විදර්ශනා භාවනා කිරීමට කාල වේලාවක් වෙන්කර තබා ගත යුතු නො වන්නේ ද? නුඹ වහන්සේට මැරෙන්නට වත් අවකාශයක් නැහැ නෙව ද? ඒ නිසා මට නුඹ වහන්සේගේ අනුමෝදනා කථාවෙන් කම් නැත” යනු යි.
“ඒ භික්ෂුව මෙහි ආවේ මගෙන් ඉගෙනීමට නොව මා හට අවවාද දීම සඳහා ය” යි දැන මහාසිව හිමිතුමා පසුදින උදෑසන ම පාසිවුරු රැගෙන විදර්ශනා භාවනා වැඩීමට නික්ම ගියේ ය.
“මා වැන්නකුට රහත් ඵලය ඉපදවීම දුෂ්කර නො වේ. දෙතුන් දිනයකින් ම රහත් වී ආපසු එන්නෙමැ” යි සිතා ස්වකීය ශිෂ්‍යයන්ට වත් නො දන්වා ඇසළ මස පුරපස-තෙළෙස්වක් ද ගාමන්තපබ්භාර නමැති අරණ්‍ය සේනාසනයට ගොස් සක්මන් මලුවෙහි විදර්ශනා කමටහන් මෙනෙහි කරනුයේ එක් දවසකිනුත්, දෙදවසකිනුත් තුන් දවසකිනුත් රහත් වන්ට නොහැකි වී ය. උපොසථ දිනය පැමිණි කල්හි ද “මම දෙතුන් දිනයකින් රහත් වී ආපසු යන්නෙ මැ” යි සිතා ආයෙමි. එහෙත් ඒ අදහස ඉටු නොවී ය. ඉක්බිති වස් තුන් මස දින තුනක් සේ සිතාගෙන “මහා පවාරණ දිනය දක්වා භාවනා කරන්නෙමැ යි සිතා වස් සමාදන් ව සිට ද රහත් වන්ට නො හැකි වී ය” යි පවාරණ දිනයෙහි දී මෙසේ සිතුවේ ය. “දෙතුන් දිනයකින් රහත් වන්නේ මැ යි සිතා මෙහි ආවෙමි. තුන් මසකිනුත් නොහැකි විය. සබ්‍රහ්මචාරී භික්ෂුහු රහත් ව විසුද්ධි පවාරණය කෙරෙති. මට පමණක් නො හැකිවීය” යි මෙසේ සිතද්දී මහාසිව තෙරණුවන්ට කඳුළු වැගිරෙන්නට වූහ. ඉක්බිත්තෙන් “ඇඳේ සැතපීමට යාමෙන් පා සේදීම්, ඇඟ දිග හැරගෙන නිදා ගැනීම් ආදිය නිසා මාර්ග-ඵල ඉපිදවීම පමාවිය හැකි ය” යි සිතා ඇඳ ඔසවා තැබුවේ ය.
එවක් පටන් ඉඳීම, සිටීම, යෑම යන මේ ඉරියව් තුනෙන් ම භාවනා කෙළේ ය. වස් එකුන් තිස (29) ක් ගත වූ නමුත් රහත් වන්ට නො හැකි විය. ඒ එකුන් තිස් වස ඇතුළත ද හැම පවාරණ දිනයෙක්හි ම කඳුළු වැගිර වූහ. තිස් වෙනි වසෙහි පවාරණ දිනය ත් පැමිණියේ ය. එහෙත් තවමත් රහත්වන්ට නොහැකි වූ නිසා මෙසේ කල්පනා කෙළේ ය. “අහෝ! මට දැන් භාවනාව සඳහා තිස් වසක් ගතවීය. එහෙත් තවම රහත්වන්ට නොහැකි විය. ඒකාන්තයෙන් මට මේ භවයෙහි දී මාර්ගයක් ඵලයක් ලැබීමේ භාග්‍යයක් නැති විය හැකිදෝ! අහෝ! මා හට රහත්ව සබ්‍රහ්මචාරීන් භා සමග විසුද්ධි පවාරණය කරන්ට නො ලැබෙන්නේදෝ හෝ!” යි සිතමින් සිටිය දී බලවත් දොම්නසක් පහළ වීය. කඳුළු ධාරා ගලන්ට වූහ. එකල එක්තරා දෙව්දුවක් නො දුරු තැනෙක අඬමින් සිටියා ය. “මෙතැන අඬන්නේ කවුරුද” යි විචාළ කල්හි “ස්වාමීනි! අඬන්නී මම ය. දෙව්දුවය” යි කීවා ය. “කුමක් හෙයින් අඬන්නෙහි දැ” යි ඇසී ය. “ස්වාමීනි! භාවනා කරන නුඹ වහන්සේ අඬමින් සිටිනු දැක මම ද අඬමින් මාර්ග ඵල එකක් දෙකක් පමණ උපදවා ගන්නෙමැ යි සිතා අඬමි” ය යි කීවා ය. ඊට පසු තෙරුන් වහන්සේ සිහි නුවණ මෙහෙයවා තමාට ම අවවාද කර ගනිමින් “එම්බා මහාසිව! මේ බලන්න, දෙවුදුවක් පවා ඔබ හා සමග කෙළිකවට බස් කියයි, මෙසේ කඳුළු වැගිර වීම ඔබට සුදුසු නො වන්නේ නෙව දැ” යි තමාට ම අවවාද කරගෙන විදර්ශනා වඩා දොම්නස දුරු කොට සිවු පිළිසිඹියා සහිත රහත් බව ලබාගත් සේක.
මෙහි දී සැලකිය යුත්තක් ඇත. එනම්, මේ මහාසිව ස්වාමීන් වහන්සේට ශ්‍රැත ගුණය (උගත් කම) අධික ව – විස්තර නය ක්‍රමයෙන් භාවනා කළ නිසා ප්‍රතිඵල ලැබීමට මෙතරම් කාලයක් ගතවී ය යි කිව යුතු ය. සැරියුත් හිමියන්ට මුගලන් හිමියන්ට වඩා භාවනාව සඳහා කාලය ගතවූවාක් මෙනි.
එහෙයින් “එත්තකං කාලං විපස්සනාය සුචිණ්ණ භාවතො ඤාණස්ස පරිපාකං ගතත්තා” යි කියන ලදී. අවුරුදු තිසක් වූ මෙපමණ කාලයක් මුලුල්ලෙහි විදර්ශනාවෙහි ඉතා හොඳ පළපුරුද්දක් ලබාගෙන ඤාණය මෝරවා ගත් බැවින් රහත් ඵලයට පැමිණිය හැකිවිය යනු එහි අදහස යි.
මේ ටීකා කියමනෙන් ද විස්තර නය ක්‍රමයෙන් වැඩිය යුතු විදර්ශනා ඥානයේ මේරූ අවස්ථාව ම ගත යුතු ය. මහාසිව හිමියන්ට ලැබුනේ සාමාන්‍ය රහත් බව නොව ඉතා උසස් සිවුපිළිසිඹියා ඥාණය සහිත විශේෂ රහත් බව ය. සංක්ෂේප නයින් රහත් විය හැකි පාරමිතා ඤාණය වනාහි ත්‍රිපිටක පර්‍ය්‍යාජතිධාරී වූ මෙතරම් බහුශ්‍රැත පුද්ගලයෙකුට භාවනාව අරඹන්ට පෙර සිට ම ඇතිවිය යුතු ය. අපේ බෝසතාණන් වහන්සේට සුමේධ තාපසකාලයේ දී ම රහත් වීමට සෑහෙන ශ්‍රාවක පාරමිතා ඥානය සම්පුර්ණ ව තිබුනාක් මෙනි.