දුකුත් නො වූ සැපත් නො වූ අදුක්ඛමසුඛ නමැති උපෙක්ෂා වේදනාව වනාහි භාවනා ඥානයෙන් වටහා ගැනීම - දැන ගැනීම ඉතා දුෂ්කර ය. අවිද්‍යාව සේ ඉතා අප්‍රකට බැවිනි. පොත පත ඉගෙනීම - අසා ගැනීම යන ආදී වශයෙන් ඇති වන-ශ්‍රැතමය ඥානයෙන් දැන ගැනීම නම්, දුෂ්කර නො වේ. අවිද්‍යාව ද ශ්‍රැතමය ඥානයට අප්‍රකට නො වේ. එහෙත් උපෙක්ෂාව හා අවිද්‍යාව යන දෙක ම භාවනාමය ඥානයෙන් අල්වා ගැනීම ඉතා අමාරුවෙන් කළ යුතු ය.
ඒ බව, “අදුක්ඛමසුඛා පත දුද්දීපනා, අන්ධකාරාව අවිභූතා, සා සුඛදුක්ඛාතං අපගමෙ සතාසාත පටික්ඛෙ පවසෙන මජ්ඣත්තාකාර භූතා අදුක්ඛමසුඛා වෙදනාති නයතො ගණ්හන්තස්ස පාකටා හොති” ය යි සක්ක පඤ්හ අටුවා- සතිපට්ඨාන අටුවාවන්හි කියන ලදී.
එහි අදහස:
සුඛ - දුක්ඛ වේදනා දෙක ප්‍රකට ය. ඒ නිසා ඒ දෙක පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකි ය. උපෙක්ෂා වේදනාව වනාහි අන්ධකාරයක් මෙන්-අන්ධකාරයෙහි ද පවතින්නා වස්තුවක් මෙන් අප්‍රකට ය. ඒ නිසා එය භාවනාමය ඥානයෙන් දැන ගැනීම ඉතා දුකසේ කළ යුත්තකි. එහෙත් සුඛ - දුක්ඛ වේදනා දෙක ඉවත් ව ගිය කල්හි පහසු ගති - අපහසු ගති දෙකින් තොර වූ මැදහත් ගතිය වූ උපෙක්ෂා වෙදනාව මෘග පදවලඤ්ජ න්‍යයායෙන් මෙනෙහි කරන යෝගී පුද්ගලයාහට ප්‍රකට වන්නේ ය.
මෘගපදවලඤ්ජන න්‍යාය :
දඩයමින් ජීවත්වන මුව වැද්දා මුවෙකුගේ පා සලකුණු අනුව ඒ මුවා පසු පස එලවා යන කල්හි විශාල ගල් තලාවක් දකින්නට ලැබී, එහි මේ පැත්තේ පා සලකුණු දැක ගල් තලාවේ එහා පැත්තට ගොස් බැලූ විට ඒ පැත්තේ ඇති පා සලකුණු දැක, ගල් තලාව උඩ පා සලකුණු නැතත් මුවා දුව ගොස් ඇත්තේ මේ ගල් තලාවේ මේ අසවල් පෙදෙසින් ය යි නය වශයෙන් දැන ගන්නේ ය.
මේ පැත්තේ ඇති පා සලකුණු මෙන් සුඛ වෙදනාවේ උත්පත්තිය ප්‍රකට වෙයි. එහා පැත්තේ ඇති පා සලකුණු මෙන් දුක්ඛ වේදනාවේ උත්පත්තිය ද ප්‍රකට වෙයි. මුවා මේ පැත්තෙන් නැගී මැදින් ගොස් එහා පැත්තෙන් බැස ගිය බව නය වශයෙන් දැන ගන්නාක් මෙන්, සුඛ දුක්ඛ වේදනා දෙක ඉවත්ව ගිය කල්හි පහසු - අපහසු ගති දෙකින් තොර වූ මැදහත් ආකාරයෙන් පවත්නා වේදනාව උපෙක්ෂ වේදනාව ය යි මෘග පදවලඤ්ජන න්‍යායයෙන් ගෙන මෙනෙහි කරන යෝගාවචරයා හට, උපෙක්ෂා වේදනාව ප්‍රකට වන්නී ය යි කීහ.
එහෙත් විදර්ශනා අරමුණ මෙනෙහි කරද්දී මුවා ගේ පා සලකුණු ගැන කල්පනා කරමින් සිටිය යුතු නො වේ. මෙතන්හි උපෙක්ෂව “අප්‍රකට ය, මෙනෙහි කිරීමට දුෂ්කර ය, යන කියමන ආදි කර්මික මන්දපඤ්ඤ යෝගී පුද්ගලයා සඳහා කියන ලදී. බලව විපස්සනා ඇති මන්දපඤ්ඤ යෝගී පුද්ගලයාහට සහ තික්ඛපඤ්ඤ යෝගී පුද්ගලයාහට ද උපෙක්ෂාව අරමුණු කර මෙනෙහි කිරීම දුෂ්කර නො වේ.