ජාතිපච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාස සම්භවන්ති.

star_outline

ජාතිප්‍ර‍ත්‍යයෙන් හටගන්නා වූ ජරාමරණාදි දුක් සත විභංග ප්‍ර‍කරණයේ දක්වා තිබෙන්නේ මෙසේය.

“තත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං? අත්ථි ජරා, අත්ථි මරණං, තත්ථ කතමා ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති වචනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේඛරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං වුව්චති මරණං, ඉති අයං ච ජරා ඉදං ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරා මරණං

තේරුම :-

“එහි ජාතිය නිසා වන්නා වූ ජරාමරණය කවරේද යත්? ජරාවක් ඇත, මරණයක් ඇත, එහි ජරාව කවරේද යත්? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් ජරාවක් දිරන බවක් කඩතොලු බවක් පැසුණු බවක් සම රැලි වැටෙන බවක් ආයුෂයාගේ හානියක් ඉන්ද්‍රියයන් ගේ මේරීමක් වේ ද මෙය ජරාව ය යි කියනු ලැබේ. එහි මරණය කවරේ ද යත්? ඒ ඒ සත්ත්වනිකායයෙන් යම් පහවීමක් පහවන බවක් බිඳීමක් අතුරුදහන්වීමක් මච්චුය යි කියන ලද මරණයක් මරහු ගේ ක්‍රියාවක් ස්කන්ධයා ගේ බිඳීමක් මළසිරුර තැබීමක් ජීවිතේන්ද්‍රියයා ගේ සිඳීමක් වේ ද මෙය මරණය ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය ජාතිය නිසා වන්නා වූ ජරාමරණය යි කියනු ලැබේ ය” යනු යි.

“තත්ථ කතමෝ සෝකෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ චේතසෝ පරිජ්ඣායනා දෝමනස්සං සෝකසල්ලං, අයං වුච්චති සෝකෝ.

තේරුම :-

“එහි ශෝකය කවරේ ද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, ශීලව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ, දෘෂ්ටිව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ, එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් මඩනා ලද්දහුගේ යම් ශෝකයක් ශෝක කරන ආකාරයක් ශෝක කරන බවක් අභ්‍යන්තරයෙහි ශෝකයක් චිත්තයා ගේ දැවෙන ආකාරයක් දුඃඛිත සිත් ඇති බවක් ශෝක නමැති හුලක් වේ ද, මෙය ශෝකය” යි කියනු ලැබේය යනුයි.

“තත්ථ කතමෝ පරිදේවෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්ං වාචා විප්පලාපො පලාපො ලාලප්පනා ලාලප්පිතත්තං අයං වුච්චති පරිදේවෝ”

තේරුම :-

“එහි පරිදේවය කෙසේද යත්? ඥාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩනා ලද්දහු ගේ මේ මගේ පුතා මගේ දූ ය යි කිය කියා හැඬීමක්, ගුණ කිය කියා හැඬීමක් මගේ පුතා මගේ පුතා ය යි කිය කියා අඬන ආකාරයක් ගුණ කිය කියා අඬන ආකාරයක්, මගේ පුතා මගේ දූ ය යි කියා අඬන බවක් ගුණ කිය කියා අඬන බවක්, කීමක් නිරර්ථක වචන කීමක් නැවත නැවත කීමක් නැවත නැවත කියන ආකාරයක් නැවත නැවත කියන බවක් වේ ද, මෙය පරිදේවය” යි කියනු ලැබේය යනුයි.

“තත්ථ කතමං දුක්ඛං? යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දුක්ඛං.”

තේරුම :-

“එහි දුක්ඛය කවරේ ද යත්? යම් කායික වූ අමිහිරක් කායික වූ දුකක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා අමිහිරි වූ දුක් වූ වේදයිතයක් කයෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ වේදනාවක් වේ ද මෙය දුඃඛය” යි කියනු ලැබේ.

“තත්ථ කතමං දෝමනස්සං? යං චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං චේතෝසම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං චෙතෝසම්පස්සජා අසාතා දුක්ඛා වේදනා ඉදං වුච්චති දෝමනස්සං.”

තේරුම :-

“එහි දෞර්මනස්‍යය කවරේ ද යත්? යම් සිතෙහි වූ නො මිහිරක් සිතෙහි වූ දුකක් සිතෙහි ස්පර්ශයෙන් හටගන්නා වූ නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මෙය දෞර්මනස්‍යය” යි කියනු ලැබේය යනුයි.

“තත්ථ කතමෝ උපායාසෝ? ඤාතිව්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස සීලව්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්තාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති උපායාසො.”

තේරුම :-

“එහි උපායාසාය කවරේ ද යත්? ඤාතිව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ රෝගව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහු ගේ එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහු ගේ එක්තරා එක්තරා දුඃඛ ධර්මයකින් පීඩිත වූවහු ගේ සිතෙහි වෙහෙසක් සිතෙහි බලවත් වෙහෙසක් වෙහෙසුණු සිත් ඇති බවක් බොහෝ වෙහෙසුණු සිත් ඇති බවක් වේ ද, මෙය උපායාසය” යි කියනු ලැබේය යනුයි.

කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයෙහි කොතැනක වුව ද ඉපදීමක් වුවහොත් උපන් සත්ත්වයාට ජරා මරණ දෙක ඒකාන්තයෙන් ඇති වන්නේය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන පස ඇතැම් සත්ත්වයෝ බහුල වශයෙන් ද ඇතැම් සත්ත්වයෝ අල්ප වශයෙන් ද ලබති. රූපාරූප ලෝකවල සත්ත්වයෝ ඒවා නො ලබති. ජරා මරණාදි සියල්ලම සෑම සත්ත්වයන් විසින් ම නො ලබතත් යමෙක් යමෙක් ලබත් නම් ඔවුන් ඒවා ලබනුයේ උපන් නිසාම ය. නූපන හොත් නො ලබති. එබැවින් ජාතිය නිසා ජරා මරණාදීහු වෙතැ යි කියනු ලැබේ.

නාමරූප ධර්මයන් ගේ හෙවත් සංස්කාර ධර්මයන් ගේ මෝරන පැසෙන දිරන ස්වභාවය ජරාව ය. තමා විසින් වැළඳ ගන්නා ලද අභ්‍යන්තරයට වැද ගන්නා ලද දෙය දවා දුබල කොට විනාශය කරා ගෙනයාම ගින්නේ ස්වභාවය ය. ජරාවේ ස්වභාවය ද එයම ය. ගලක් අහසට ගැසූ කල්හි එහි නැවතීමක් නො වෙත හොත් එය අහසෙහි ම යනු මිස නැවත කිසි කලෙක පොළොවට නො පැමිණේ. එය නැවත පොළොවට වැටෙනුයේ අහසෙහි නැවතීම සිදුවන නිසාය. ගල අහසට නැගෙන්නේ නවතින ස්වභාවයත් අරගෙනම ය. එබැවින් එය මඳක් ගොස් අහසේ නැවතී නැවතුණු තැන් පටන් බිමට බසින්නට පටන් ගනී. එමෙන් උපදනා වූ සංස්කාරය ඉපදීමේ වේගයෙන් ම පවතිත හොත් එය කිසිකලෙක භංගයට නො පැමිණේ. භංගයට පැමිණෙන්නේ ඉපදීමේ වේගය නැවතීම නිසා ය. ඉපදීමේ වේගය සිඳෙන්නේ ජරාව නිසා ය. ජරාවෙන් ඉපදීමේ වේගය සිඳිනු ලැබූ කල්හි ඒ සංස්කාරය භංගයට හෙවත් අභාවයට පැමිණේ.

මෙසේ ගින්නක් මෙන් උපදින සංස්කාරය දුබල කොට විනාශ මුඛයට ගෙන යන බැවින් ජරාවට ජරාගින්නය යි කියනු ලැබේ. ජරාගින්න තමන් ගේ අභ්‍යන්තරයට පිවිසෙනු වළක්වාලිය හැකි ශක්තියක්, ජරාගින්නට තමන් වැළඳ ගන්නට නො හැකි වන ආනුභාවයක්, ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ හෝ කිසිම සංස්කාරයකට නැත. සකල සංස්කාරයෝම ජරාගින්නෙන් දැවී විනාශයට යෙති. ජරාවට නො පැමිණ බිඳෙන සංස්කාරයකුත් නැත. එසේ ම ජරාවට නො පැමිණ මියන සත්ත්වයෙක් ද නැත. මව්කුස තුළදී ම මිය යන සත්ත්වයා මිය යන්නේ ද ජරාගින්නෙන් දවනු ලැබීමෙනි. බිහි වූ සත්ත්වයාගේ මරණය ගැන කියනු ම කිම?

ජරාව ඇසට පෙනෙන දෙයක් නො වේ. ඇසට පෙනෙනුයේ සත්ත්ව සන්තානය ජරා ගින්නෙන් දවනු ලැබීම නිසා පහළ වූ ලකුණු පමණෙකි. දත් නැති බව, කෙස් ලොම් පැසුණු බව, ඇඟ රැලි වැටුණු බව, කුදු ගැසුණු බව යනාදිය ඒ ලකුණු ය. ඒ ලකුණු ජරාව නොව ජරාවේ ඵලයෝ ය. ඒවා ජලස්කන්ධයක් ගලාගිය තැන දක්නට ලැබෙන්නා වූ ද, ලැව්ගින්නක් ඇවිළුණු තැනක දක්නට ලැබෙන්නා වූ ද, සැඩ සුළඟක් හමාගිය පෙදෙසක දක්නට ලැබෙන්නා වූ ද සලකුණු සේ දත යුතු ය.

ජරා ගින්නෙන් දවනු ලැබූ ලකුණු සෑම වස්තුවකම සෑම ශරීරයකම සම කාලයකින් පහළ වන්නේ නො වේ. ඒ ඒ වස්තුවල ශරීරවල ශක්තියේ සැටියට ලකුණු පහළවීමේ කාලය වෙනස් වේ. බුරුල් බිමක මිනිසුන් ගමන් කළහොත් මාර්ග සලකුණු ඉක්මනින් පෙනෙන්නට වේ. තද බිමක ගමන් කළහොත් සලකුණු පෙනෙන්නට ඊට වඩා දීර්ඝ කාලයක් ගත වේ. ගලක් උඩින් ගමන් කළහොත් මඟ සලකුණු පෙනෙන්නට ඉතා දීර්ඝ කාලයක් ගත වේ. එමෙන් දුබල වස්තු දුබල ශරීරවල ජරාවෙන් දැවුණු ලකුණු කෙටිකලෙකින් පෙනෙන්නට වේ. බලවත් වස්තුවල හා බලවත් පුද්ගලයන් ගේ ශරීරවල ඒ ලකුණු පෙනෙන්නට වැඩි කාලයක් ගත වේ. දිව්‍යබ්‍ර‍හ්මයන්ගේ ශරීරවල ජරාවෙන් දැවීම ඇත ද ලකුණු පහළ නො වේ.

සත්ත්වයා භවයෙහි පිළිසිඳ ගත් තැන පටන් ම සත්ත්වසන්තානයට ජරාගින්න වැද, එයින් සන්තානය වැළඳ ගෙන දවන්නට පටන් ගන්නේ ය. පිළිසිඳ ගැන්මෙහි පටන් ම ඒ සන්තානයට කර්ම - චිත්ත - සෘතු - ආහාර යන හේතූන්ගෙන් උපදනා අලුත් රූප එක් වීමෙන් එහි වැඩිවීමක් ද වේ. උපන් සත්ත්වයාගේ සන්තානය ජරාවෙන් දවා දුබල කිරීම මරණය කරා ගෙන යාම එක් කරුණෙකි. කර්මාදි ප්‍ර‍ත්‍යයෙන් හටගන්නා අභිනව රූප එක්වී වැඩීම අනෙක් කරුණෙකි. බාල කාලයේ දී සත්ත්වසන්තානයට බහුල වශයෙන් එකතු වන අභිනව රූපයන්ගෙන් පරණ රූප දිරා දුබලවීමේ ලකුණු වැසේ. එබැවින් බාලකාලයේ දී ජරාව ප්‍ර‍කට නො වේ. ශරීරය වැඩී සම්පූර්ණ වූ පසු අභිනව රූප පරම්පරාවන් එයට එක්වීම මඳ වේ. එකල්හි ජරා ලකුණු ප්‍ර‍කටව පෙනෙන්නට වන්නේ ය.

අභිනව රූප පරම්පරාව එක්වීමෙන් ශරීරයේ වැඩීමය, උපන් සැම සංස්කාරයක් ම ජරාවෙන් දවන බවය යන මේ දෙකරුණ දෙකරුණක් සැටියට - දෙමඟක් සැටියට තේරුම් ගත් කල්හි බාලකාලයේ පටන් ම ජරාවට පැමිණෙන බව හා ජරාවට නො පැමිණ නො මියන බව ද, තේරුම් ගත හැකි වනු ඇත. ජරාව ඇත්තේ රූප කයට පමණක්ම නො වේ. චිත්ත චෛතසික සංඛ්‍යාත නාම ධර්මයන්ට ද එය ඇත. එබැවින් ජරාව රූපී සත්ත්වයන්ට පමණක් නොව අරූපී සත්ත්වයන්ට ද ඇති බව දත යුතු ය.

ආයු පරිච්ඡේද ජරාව ය. සන්තති ජරාවය, ක්ෂණික ජරාවය යි ජරාව ත්‍රිවිධ වේ. සත්ත්වයන් ගේ ජීවන කාලය පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරා නමි. වියළි කොළයක් ගින්නට දැමුව හොත් සැණෙකින් අලු වේ. අමු කොළය එයට වඩා මදක් ගින්නට ඔරොත්තු දෙයි. වියළි ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි, අමු ලී කැබෙල්ල එයට වඩා මඳක් ඔරොත්තු දෙයි. යකඩ කැබෙල්ල එයට වඩා බොහෝ කලක් ගින්නට ඔරොත්තු දෙයි. තඹ කැබෙල්ල එයට ද වඩා කලක් ඔරොත්තු දෙයි. එමෙන් දුබල වූ කර්මාදි හේතූන්ගෙන් උපන්, උකුණු - මකුණු - මැසි - මදුරු ආදි ඇතැම් කුඩා සත්ත්ව කෙනෙක් ජරාවෙන් දවා දුබල කරනු ලැබ සතියකින් මිය යෙති. මඳක් බලවත් වූ කර්මාදි ප්‍ර‍ත්‍යයන් නිසා උපන්නාවූ ඇතැම් සත්ත්ව කෙනෙක් ජරාගින්නට උකුණු මකුණු ආදීන්ට වඩා දීර්ඝ කාලයක් ඔරොත්තු දෙති. දැවීම උසුලා සිටීමට සමත් වෙති. බලවත් කර්මාදි හේතූන් නිසා උපන් සත්ත්වයෝ බොහෝ කල් ජරා ගින්නෙන් දැවීම උසුලන්නට සමත් වෙති. වැඩි කල් ඒ දැවීමට ඔරොත්තු දෙන්නා වූ සන්තාන ඇති සත්ත්වයෝ බොහෝ කල් ජීවත් වන්නාහු ය.

උකුණු මකුණු ආදි දුබල කුඩා සතුන් ගේ ජීවන කාලය සතියක් වන්නේ ඉදිරියට ජීවත් නො විය හැකි පමණට ඒ සන්තානයන් ජරාගින්නෙන් සතියක් තුළදීම දවන නිසා ය. මතුවට ජීවත් නො විය හැකි පමණට සත්ත්වසන්තානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගතවන්නා වූ කලාය ඒ ඒ සත්ත්වයන්ගේ පරමායුෂය ය. සත්ත්වයන් ගේ ආයු නියමය ජරාව පිළිබඳ වූවකි. ජරාගින්නට අසුව මසකින් මතු ජීවත් විය නොහෙන පමණට ශරීරය දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ මසෙකි. ජරාගින්නට වර්ෂයකින් මතු ජීවත්වීමේ ශක්තිය නැති වන ලෙස දුබල කළ හැකි සත්ත්වයා ගේ පරමායුෂ වර්ෂයකි. බලවත් කර්මයෙන් ජනිත ප්‍ර‍ණීත රූපයන්ගෙන් නිර්මිත දේව බ්‍ර‍හ්මයන් ගේ ශරීරයන් දවා දුබල කිරීමට ජරාගින්නට බොහෝ කලක් ගත වේ. එබැවින් ඔවුහු දීර්ඝායුෂ්කයෝ ය. මෙසේ ඒ ඒ සත්ත්ව ජාතීන් ගේ ආයුෂ පිරිසිඳින ජරාව ආයුපරිච්ඡේද ජරාව ය.

එක් එක් සත්ත්ව ශරීරයක මරණය තෙක් නො ප වත්නා වූ වරින් වර චිත්ත - සෘතු - ආහාරයන්ගෙන් ඇති වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවෝ ද වෙති. අනේක හේතූන්ගෙන් හටගැනී එක්තරා කාලයක් පැවැතී සිඳී යන ආගන්තුක චිත්තපරම්පරාවෝ ද වෙති. ආහාරයක් නො ලද කල්හි ශරීරය දුබල ව පවතී. ආහාර නො ලැබූ තැනැත්තා ගේ හිසද ඔසවා කෙළින් තබා ගත හැකි සැටියට පණ නැත. උගුරෙහි හා කටෙහි තෙත් ගතිය නැත. කෙළින් තබා ගෙන සිටීමට කඳ පණ නැත. වැඩක් කිරීමට අත් පණ නැත. ගමන් කිරීමට පා පණ නැත. මෙසේ දුබල ව සිටින තැනැත්තා ගේ ශරීරයට ආහාරයක් වැටුණු පසු ඔහු ගේ අත් පාවලට නැවත පණ එන්නේ ය. ඔහු ගේ උගුර කට නැවත තෙත් වන්නේ ය. එසේ වන්නේ ආහාරය නිසා අලුත් රූප කොටසක් ඔහු ගේ ශරීරයේ පැතිර පහළ වීමෙනි.

ආහාරයෙන් නිපන් ඒ ආගන්තුක රූපයෝ ද ජරාවෙන් තොර වූවාහු නො වෙති. ජරාව ඒවා සමග ඇති වී ඒවා වියළවන්නට දවන්නට දුබල කරන්නට පටන් ගන්නේ ය. ඒ හේතුවෙන් පැය ගණනක් තුළ දී හිසෙහි පහළ වූ ආහාරජ රූප පරම්පරාවෝ හිසෙහි ම සිඳී යෙති. කඳෙහි පැවති රූප පරම්පරාවෝ කඳෙහිම සිඳී යෙති. අත්පාවල පැවති රූප පරම්පරාවෝ අත්පාවලම සිඳී යෙති. පැය ගණනකින් පසු සත්ත්වයා නැවතත් දුබල බවට පත් වන්නේ එහෙයිනි. මෙසේ පහළ වන්නා වූ ආගන්තුක රූප පරම්පරාවන් ගේ දිරීම සන්තතිජරාව ය. ඒවායේ සිඳී යාම සන්තතිමරණය යි. ශීතය උෂ්ණය ධාතු කෝපය නානාප්‍ර‍කාර සිතිවිලිය යන ආදියෙන් සත්ත්වසන්තානයෙහි මෙසේ නොයෙක් විට නානාවිධ රූපසන්තතීහු පහළ වී දිරා සිඳී යෙති. ඒ සියල්ලේ ම දිරීම සන්තතිජරාව ය. සිඳීම සන්තති මරණය ය.

සත්ත්වසන්තානයෙහි සමහර අවස්ථාවල දී යම් කිසි ඉෂ්ටාරම්මණයක ප්‍ර‍තිලාභයෙන් ප්‍රීති සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ශෝක සහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී භයසහගත සිතිවිලි පරම්පරාවෝ පහළ වෙති. සමහර අවස්ථාවල දී ක්‍රෝධසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ඊර්‍ෂ්‍යාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, ලෝභසහගත සිතිවිලි පරම්පරාවෝ ද, කරුණාසහගත සිතිවිලි පරම්පරාවෝ ද, මෛත්‍රීසහගත සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. තවත් නොයෙක් ආකාර සිතිවිලි පරම්පරාවෝ ද පහළ වෙති. මම මෙතෙක් කල් ප්‍රීතියෙන් විසුවෙමි යි කියනුයේ ප්‍රීති සහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් ශෝකයෙන් සිටියෙමි ය යි කියනුයේ ශෝකසහගත චිත්තපරම්පරාව පැවති බව ගැන ය. මෙතෙක් කල් බියෙන් සිටියෙමි ය, කෝපයෙන් සිටියෙමි ය යනාදිය කියනුයේ ද ඒ ඒ සිත් පරම්පරාවල පැවති කාලය ගැන ය.

ප්‍රීතිසහගත චිත්තපරම්පරාවක් ඇති වන්නට පටන් ගත් කල්හි පටන් ගැන්මේ සිට ම එය ජරාවෙන් දුබල කරන්නට වන්නේ ය. එයින් කල් යත් යත් ප්‍රීතිය මඳ වෙවී ගොස් අන්තිමට සම්පූර්ණයෙන් ම සිඳී යන්නේ ය. පළමුවෙන් ඉතා මිහිරි බවක් දැනෙන ලෙසට ඉතා බලවත් ලෙසට පටන් ගත් ප්‍රීතිය කෙමෙන් හීන වනුයේ මඳ වූවා සේ දැනෙනුයේ දිරීමෙන් එය දුබල වන බැවිනි. එසේ කෙමෙන් ජරාවෙන් දුබල වී ගොස් අන්තිමට ඒ ප්‍රීතිය සර්වාකාරයෙන් නැති වන්නේ ය. පටන්ගත් ප්‍රීතිය කෙමෙන් දුබලවීම සන්තතිජරාව ය. අන්තිමේ දී සර්වාකාර යෙන් ප්‍රීතිය සිඳී යාම සන්තති මරණය ය.

යම් කිසි කරුණක් නිසා උග්‍ර‍ කෝපයක් පහළ වූ කල්හි ජරාව එය දුබල කරන්නට පටන් ගනී. තරමක් කාලය ගත වූ පසු කෝපය මඳ වූවා සේ දැනෙනුයේ ඒ දුබල වීම නිසා ය. කෙමෙන් දුබල වී ගොස් අන්තිමේ දී කෝපය නැති වී යයි. එකල්හි කෝපය සන්සිඳුණේ යයි කියනු ලැබේ. කෝපය සන්සිඳීමය යි කියනුයේ ක්‍රෝධ සහගත සිත් පරම්පරාවේ සන්තති මරණයට ය. කෙමෙන් සන්සිඳීම නම් සන්තති ජරාවය. මෙසේ චිත්ත පරම්පරාවන් ගේ සන්තති ජරා මර දෙක සලකා ගත යුතු ය.

එක් නාමරූප ධර්මයකට ඇත්තා වූ ජීවන කාලය හෙවත් පවත්නා කාලය ඉතා කෙටි කාලයකි. ඒ කාලය උත්පාදය - ස්ථිතිය - භඞ්ගය යි තුනට බෙදනු ලැබේ. ඒ තුන් කාලයෙන් එක් එක් කාලයක් ඇසි පිය හෙලන කාලයෙන් ලක්‍ෂයෙන් පංගුවක් පමණ වත් දිග නැත. පෙර නො තුබුණා වූ යම්කිසි නාම රූප ධර්මයක පැන නැඟීම, මතු වීම, පහළ වීම එක්තරා වේගයකි. උත්පාදය යි කියනුයේ ඒ වේගයට ය. ඒ වේගයට ජරාවට පැමිණීමෙන් සිටී. නවතී. වේගය නැවතී පවත්නා අවස්ථාවට ස්ථිතිය යි කියනු ලැබේ. ඉපදීමේ වේගය සන්සිඳෙනු සමඟ ම එය බිඳ වැටේ. එයට භඞ්ගය යි කියනු ලැබේ.

ඉපදීමේ වේගය නවත්වා උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ සංස්කාරයන් ගේ මේරීම පැසීම වූ ස්ථිතිය ක්‍ෂණික ජරාව ය. එය නිසා වන්නා වූ සංස්කාරයන්ගේ බිඳ වැටීම අතුරුදහන් වීම ක්‍ෂණික මරණය යි. ක්ෂණික ජරා මරණ දෙක අභිධර්මය උගත හොත් හොඳින් වැටහෙනු ඇත. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස යන මේ පස පටිච්චසමුප්පාදයේ අංග නො වන නිසා ද තේරුම් ගැනීමට අපහසු නො වන නිසා ද ඒවා ගැන විස්තරයක් නො කරනු ලැබේ.

මෙම ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය අවිද්‍යාවෙන් පටන් ගෙන තිබෙනුයේ අවිද්‍යාව අහේතුක ව ඇති වන්නක් නිසා හෝ අන් සැමට පළමුව ලෝකයෙහි එය ඇති වූ නිසා හෝ නො වන බව පෙර කියා ඇත. “ජාතිපච්චයා ජරාමරණං, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති” යි ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය අවසන් කර තිබෙනුයේ ද ජරා මරණයෙන් මේ හේතු ඵල පරම්පරාව කෙළවර වී යන නිසා නො වේ. අවිද්‍යා තෘෂ්ණා ප්‍ර‍හාණයෙන් මේ චක්‍ර‍ය අර්හත්මාර්ගඥානය නමැති කඩුවෙන් සිඳින තුරු කාල නියමයක් නැති ව මේ හේතු ඵල පරම්පරාව ඉදිරියට නො සිඳී පවත්නේ ය. එසේ පවත්නා බව දැක්වීම පිණිස මෙහි පටන් ගැනීමේ දී දැක් වූ අවිද්‍යාව නැවතත් දැක්විය යුතු ය.

ඒ අවිද්‍යාව නැවත දේශනය නො කරනලදුයේ යම්කිසි කරුණක් නිසා ය. එනම් - ජරා - මරණ ශෝක පරිදේව-දුඃඛ - දෞර්මනස්‍ය - උපායාසයෝ ද මේ සංසාර චක්‍ර‍යට ඇතුළු කොට දැක්විය යුතු ම ය. මේ හේතුඵල පරම්පරාව පිළිබඳ සෙවිය යුත්තේ ද, මෙය දතයුත්තේ ද ජරා මරණාදි දුක් රැස ඇති නිසා ය. ජාතියට අනතුරු ව මේ ස්ථානයේ දී ජරා මරණාදිය නො දක්වා මුලට සම්බන්ධ කිරීමට “ජාතිපච්චයා අවිජ්ජා” යි අවිද්‍යාව දක්වත හොත් ජරාමරණාදිය දක්වන්නට තැනක් නො ලැබේ.

එබැවින් තථාගතයන් වහන්සේ වරක් වදාළ අවිද්‍යාව නැවත නො ගෙන “ජාතිපච්චයා ජරාමරණං” යි වදාළ සේක. ජරා මරණයන් වදාරා, ජරාමරණ පච්චයා අවිජ්ජා යි දේශනය කළත් යෙදෙන්නේ නො වේ. එබැවින් එසේ ද නොවදාළ සේක. ශෝක - පරිදේව දුඃඛ - දෞර්මනස්‍ය - උපායාසයෝ අවිද්‍යාවෙන් වෙන් නො වන අවිද්‍යාව හා බැඳී උපදනා ධර්‍මයෝ ය. එබැවින් ශෝකාදිය වදාළ කල්හි අවිද්‍යාව ද දැක්වූයේ වන්නේ ය. ජාතිය නිසා ඇති වන්නේ ජරාමරණාදි ධර්ම සත පමණක් ම නො වේ. සත්ත්වයකු ගේ ඉපදීමේ පටන් මරණය දක්වා කාලය තුළ සත්ත්ව සන්තානයෙහි යම් යම් ධර්ම කෙනෙක් ඇති වෙත් නම් ජාතිය ඒ සියල්ලටම හේතු වේ. නූපන්නා නම් ඒවා ඇති නො වන බැවිනි.

සත්ත්වයකු උපනහොත් ඔහුට ස්වසන්තානයට අයත් ස්කන්ධයන් නිසා ද, ඔහුගේ ඉන්ද්‍රියයන්ට හමු වන රූප ශබ්දාදි ආරම්මණයන් නිසා ද, අවිද්‍යාව ඒකාන්තයෙන් ඇති වන්නේ ය. එබැවින් දේශනා භේදය වන නිසා තථාගතයන් වහන්සේ විසින් නමින් ගෙන අවිද්‍යාව නො වදාළේ වී නමුත් මෙහි අවිද්‍යාව ද ගැනෙන බව දත යුතු ය. අවිද්‍යාව ඇති වූ කල්හි නැවතත් කර්ම රැස්කරන බැවින් කර්ම නිසා නැවත උපදින බැවින් මේ හේතුඵල පරම්පරාව නො සිඳී පවතින්නේ ය යි දත යුතු. එහි මුලක් ද නැත්තේ ය. ප්‍ර‍තීත්‍යසමුප්පාද දේශනය ජාති තුනකට සම්බන්ධව පවත්නා සැටි මේ සටහන බලා දත යුතු.

අනු මාතෘකා
keyboard_arrow_rightඅංග දොළොසstar_outline
keyboard_arrow_rightසන්ධි තුනstar_outline
keyboard_arrow_rightසංග්‍ර‍හ සතරstar_outline
keyboard_arrow_rightවිංශත්‍යාකාරයෝstar_outline
keyboard_arrow_rightත්‍රි වෘත්තයstar_outline
keyboard_arrow_rightමූල දෙකstar_outline
keyboard_arrow_rightදෘෂ්ටි නිවාරණය.star_outline
keyboard_arrow_rightසතර ආකාර ගැඹුරු බවstar_outline