භවපච්චයා ජාති

star_outline

“තත්ථ කතමා භවපච්චයා ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභවෝ ආයතනානං පටිලාභෝ. අයං වුච්චති භවපච්චයා ජාති.”

මේ විභංගප්‍ර‍කරණයෙහි භවප්‍ර‍ත්‍යයෙන් හටගන්නා ජාතිය විස්තර කර තිබෙන ආකාරය යි. එහි තේරුම :- “එහි ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්වයන් ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි යම් පළමු කොට ඉපදීමක් වේ ද? සම්පූර්ණ ඉපදීමක් වේ ද, මවු කුසයට ඇතුළු වීමක් වේ ද, ප්‍ර‍කටව ඉපදීමක් වේ ද, ස්කන්ධයන් ගේ පහළ වීමක් වේ ද, ආයතනයන් ගේ පහළවීම් වශයෙන් ලැබීමක් වේ ද, මෙය භව ප්‍ර‍ත්‍යයෙන් වන්නා වූ ජාතිය යි කියනු ලැබේ ය” යනු යි. මෙහි කෙටි තේරුම, ඒ ඒ භවයෙහි උපදනා සත්ත්වයන්ගේ පළමු කොට ඉපදීම ජාතියය යනු යි. තවත් ක්‍ර‍මයකින් කියතහොත් ඒ ඒ භවවල පළමු කොට ස්කන්ධයන් පහළවීම ජාතියය යනු යි. මේ පළමු කොට ඉපදීඹ සම්බන්ධයෙන් කිය යුතු විස්තරය, “සංඛාරපච්චයා විඤ්ඤාණං” යන්න විස්තර කිරීමේ දී කියන ලදී.

භවප්‍ර‍ත්‍යයෙන් වන්නා වූ මේ ජාතිය උපපත්තිභවයේ ම කොටසකි. එබැවින් ජාතියේ හේතුව වශයෙන් උපපත්තිභවය නො ගත යුතු ය. භව දෙකින් ජාතියට හේතුවන්නේ කර්ම භවය පමණෙකි. එබැවින් “උපාදාන පච්චයා භවො” යන තන්හි භව ශබ්දයෙන් භව දෙක ම නො ගනු ලැබේ. එයින් ගනු ලබන්නේ කර්ම භවය පමණකි.

උපාදානයන් නිසා කුශලාකුශල කර්ම කළ කල්හි ඒ ඒ කර්මයන් ගේ ශක්තියේ හා ස්වභාවයේ සැටියට කාමභවාදි ඒ ඒ භවයෙහි සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම වූ ජාතිය වේ. සත්ත්වයාගේ උත්පත්තියට පූර්ව භවයේ කළ කර්මය හේතුවන බව වනාහි සාමාන්‍ය ලෝකයාට නො පෙනෙන ගුප්ත කරුණකි. සාමාන්‍ය ජනයා හට එය සිතා ගත හැක්කේ අනුමානයෙනි.

සත්ත්වෝත්පත්තියට කර්මය හේතු වන බව අනුමානයෙන් සලකා ගැනීමට ඇති කරුණු අතුරෙන් සත්ත්වයන් ගේ නානාත්ත්වය ප්‍ර‍ධාන කරුණෙකි. මේ සත්ත්වයන් ගෙන් ඇතමකුට ලෝභය උත්සන්න ය. ඇතමකුට ද්වේෂය උත්සන්නය, ඇතමකුට මෝහය උත්සන්නය, ඇතමකුට මෛත්‍රිය උත්සන්නය, ඇතමකුට ඥානය උත්සන්න ය. මෙසේ උත්සන්න වන්නාවූ ද හීන වන්නා වූ ද චෛතසික ධර්මයන් ගේ වශයෙන් සත්ත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නා ලැබේ. ආයුෂය ධනය සැපදුක්ය යනාදියෙන් සත්ත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නා ලැබේ. සත්ත්වයාගේ උත්පත්තියට හා වැඩීමට ද ජීවත්වීමට ද හොඳ නරක ගති ගුණ ඇති වීමට ද තිබිය යුතු ප්‍ර‍කට හේතු වූ, මවුපියන් ගේ ශුක්‍රශ්‍රෝණිත ධාතු - සෘතු - ආහාර - ව්‍යායාම - උගෙනීම - අවවාදානුශාසනා යන මේවායේ වෙනස්කම් ඇති තන්හි වන වෙනස්කම් ගැන කිය යුත්තක් නැත. ඒවා සම වූ සත්ත්වයන් අතර ද වෙනස් කම් අඩුවක් නැතිව ම දක්නා ලැබේ.

එක පියකුට දාව එක මවක කුසයෙහි එකවර පිළිසිඳ ගෙන එකවර උපන්, එක ම ආහාරයකින් එක ම ගෙයක වැඩුණු, එක ම උගෙනීමක් එක ම අනුශාසනයක් ලත්, එක ම පුද්ගල කොටසක් ඇසුරු කළ නිඹුල් දරු දෙදෙනා අතර වුව ද කියන ලද වෙනස්කම් දක්නා ලැබේ. ඒ කාරණයට අනුව සිතා බලන කල්හි සත්ත්වයාගේ උත්පත්තියට, දක්නා ලැබෙන හේතූන්ගෙන් අන්‍ය වූ නො පෙනෙන තවත් හේතුවක් තිබිය යුතු බව දත හැකි ය. පිළිගත හැකි ය. ඒ නො පෙනෙන හේතුව අනෙකක් නොව පූර්ව ජන්මවල දී කළ කර්මයෝ ය. සිත ඉතා විචිත්‍ර‍ ය. ලොව ඇති අන් සැම දෙයටම වඩා විචිත්‍ර‍ය. කර්මය ද සිත පිළිබඳ වූවකි. එබැවින් චිත්තවිචිත්‍ර‍ත්ත්වයා ගේ වශයෙන් කර්මය විචිත්‍ර‍ වේ. උත්පත්තියට හේතු වූ කර්මයා ගේ විචිත්‍ර‍ත්ත්වයෙන් සත්ත්වයන් ගේ විචිත්‍ර‍ බව වේ.

ඒ මෙසේ ය:-

යම් කිසිවකු ගේ සන්තානයෙහි උත්පත්තියට හේතු වන කර්මයක් කරන අවස්ථාවේ දී ලෝභය බලවත් වේ ද, අලෝභය දුබල වේ ද, අද්වේෂාමෝහයෝ බලවත් වෙත් ද, ද්වේෂ මෝහයෝ දුබල වෙත් ද ඔහුගේ දුබල අලෝභය බලවත් ලෝභය මැඩපැවැත්වීමට නො සමත් වේ. බලවත් ද්වේෂ මෝහයන් මැඩ පැවැත්වීමට සමත් වෙති. ලෝභය මැඩලීමට නො සමත් දුබල අලෝභ හේතුවෙන් යුක්ත වූ ඒ කර්මයෙන් ඒ පුද්ගලයා යම්කිසි භවයක උපන් කල්හි මෛත්‍රිය ඇති ක්‍රෝධ කිරෟීම් අඩු වූ තියුණු නුවණ ඇත්තා වූ ලෝභය අධික පුද්ගලයෙක් වේ. එ බඳු කර්මයකින් උත්පත්තිය ලැබූ පුද්ගලයෝ ධර්‍මශාස්ත්‍ර‍ උගෙනීමෙහි සමත්හු වෙති. පණ්ඩිත වෙති. එහෙත් ඔවුහු කිසිවකුට කිසිවක් නො දෙන නිතර ම රැස්කිරීමට, අනුන්ගෙන් ගැනීමට ම උත්සාහ කරන ලෝභීහු වෙති.

යමකු හට කර්මය කරන අවස්ථාවේදී ලෝභ ද්වේෂ දෙක බලවත් වේ ද, අලෝභාද්වේෂයෝ දුබල වෙත් ද, ප්‍ර‍ඥාව බලවත් වේ ද, මෝහය දුබල වේ ද, ඔහු ඒ කර්මයෙන් යම්කිසි තැනක උපන් කල්හි ලෝභී වූ ද කෘර වූ ද තියුණු නුවණ ඇත්තා වූ ද පුද්ගලයෙක් වේ. එබඳු පුද්ගලයෝ ධර්මශාස්ත්‍ර‍යන් උගෙන පණ්ඩිත වුව ද ඒ ගති පවත්වති, ලාභයක් ලැබිය හැකි කල්හි කොතෙක් මහත් අපරාධයක් වුව ද කරන්නට මැලි නො වෙති.

යමකුට කර්මය රැස් කරන කල්හි ලෝභ මෝහ යන දෙක බලවත් වේ ද, අලෝභාමෝහ දෙක දුබල වේ ද අද්වේෂය බලවත් වේ ද ද්වේෂය මඳ වේ ද, ඒ තැනැත්තා ඒ කර්මයෙන් උපන් කල්හි ලෝභී වූ ද මෝඩ වූ ද මෘදු ගති ඇති පුද්ගලයෙක් වේ.

යමකුට කර්මය කරන අවස්ථාවේදී ලෝභ ද්වේෂ මෝහ තුන ම බලවත් වේ ද, අලෝභය අද්වේෂය අමෝහය යන තුන දුබල වේද, හෙතෙමේ ඒ කර්මයෙන් උපන් කල්හි ලෝභී වූ ද නපුරු වූ ද මෝඩයෙක් වේ. ලෝකයෙහි හොඳට ම නරක මිනිසුන් වන්නේ එබඳු කර්මවලින් උපන් පුද්ගලයෝ ය.

යමකුට කර්මය කරන කල්හි අලෝභය හා ද්වේෂ මෝහ දෙක බලවත් වේ ද, ලෝභය හා අද්වේෂ අමෝහ දෙක දුබල වේද, ඒ පුද්ගලයා ඒ කර්මයෙන් උපන් කල්හි දිව්‍යමය ආරම්මණයක් දුටු කල්හි දු කලබල නො වන්නා වූ විකෘතියට නො පැමිණෙන්නේනා වූ රාගය මඳ වූ කිපෙන සුළු වූ මෝඩ පුද්ගලයෙක් වේ.

යමකුට කර්මය කරන කල්හි අලෝභය අද්වේෂය යන කුසල් මුල් දෙක හා මෝහය ද බලවත් වේ ද, ලෝභය ද්වේෂය අමෝහය යන තුන දුබල වේ ද, හෙතෙමේ ඒ කර්මයෙන් උපන් කල්හි දෙන ස්වභාවය හා නො රැස් කරන ස්වභාවය ද ඇති මෘදු ද වූ නුවණ මඳ වූ පුද්ගලයෙක් වේ.

යමකුට කර්මය කරන කල්හි අලෝභය ද්වේෂය අමෝහය යන මේවා බලවත් වේ ද ලෝභය අද්වේෂය මෝහය යන මේවා දුබල වේ ද, ඒ තැනැත්තා ඒ කර්මයෙන් උපන් කල්හි නිර්ලෝභ වූ ද නුවණැත්තා වූ ද කිපෙන සුළු වූ ද පුද්ගලයෙක් වේ.

යමකුට කර්මය කරන අවස්ථාවේ දී අලෝභාද්වේෂාමෝහ තුන ම බලවත් වේ ද, ලෝභය ද්වේෂය මෝහය යන මේවා දුබල වේ ද, ඒ තැනැත්තා ඒ කර්මයෙන් උපන් කල්හි නිර්ලෝභී වූ ද මෘදු වූ ද තියුණු නුවණ ඇත්තා වූ ද, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වේ. එබඳු පුද්ගලයෝ ලෝකයෙහි දුර්ලභය හ. තවත් නොයෙක් ආකාරවලට සත්ත්වයන් කර්ම හේතුවෙන් බෙදෙන සැටි චූලකම්ම විභංග සූත්‍රාදියෙන් දත යුතු.