දෘෂ්ටි නිවාරණය.

සංසාර චක්‍ර‍යා ගේ තත්ත්වය නො දැනීම නිසා ඇති වන්නා වූ වැරදි හැඟීම් දෘෂ්ටි නම් වෙති. මේ පටිච්චසමුප්පාදයේ සැම වැකියකින් ම යම් කිසි වැරදි හැඟීමක් වළක්වනු ලැබේ. අවිජ්ජාපච්චයා සංඛාරා යන මෙයින් පින් පව් කරන්නකු නැතිව අවිද්‍යාව නිසා “පින් පව් ඇති වන බව දැක්වීමෙන් පින් පව් කරන කෙනකු ඇතය” යන වැරදි හැඟීම (ආත්ම දෘෂ්ටිය) වළක්වනු ලැබේ.

සංඛාරාපච්චයා විඤ්ඤාණං යන මෙයින් වර්තමාන භවයෙන් අනාගත භවයට කිසිවක් නො ගොස් පින් පව් නිසා අනාගත භවයේ අභින විඥානයක් පහළ වීම දැක්වීමෙන් “ආත්මය එක් ජාතියකින් අන් ජාතියකට යේ ය” යන වැරදි හැඟීම දුරු කරනු ලැබේ.

විඤ්ඤාණපච්චයා නාමරූපං යන මෙයින් විඥානය නිසා නාම රූප වශයෙන් ධර්ම දෙකොටසක් හට ගන්නා බව දැක්වීමෙන් “නාමරූප සියල්ල සත්ත්වයා වූ එක් දෙයක් ලෙස ගන්නා වැරදි හැඟීම” (ඝනසංඥාව) වළක්වනු ලැබේ.

නාමරූපපච්චයා සළායතනං යන්නෙන් රූපාදි අරමුණු ගන්නා වූ ආයතන සය දැක්වීමෙන් “ආත්මය තෙමේ ලෝකය දන්නේය, ශබ්ද අසන්නේය, ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍ය ධර්මයන් දන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

සළායතනපච්චයා ඵස්සෝ යන්නෙන් ස්පර්ශය එක්තරා ධර්මයක් බව දැක්වීමෙන් “ආත්මය තෙමේ ස්පර්ශ කරන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

ඵස්සපච්චයා වේදනා යන්නෙන් සැප දුක් දෙක ස්පර්ශය නිසා වන්නා වූ ධර්මයක් බව දැක්වීමෙන් “ආත්මය සුව දුක් විඳී ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

වේදනාපච්චයා තණ්හා යනුවෙන් තෘෂ්ණාව වේදනාව නිසා ඇති වන ධර්මයක් බව දැක්වීමෙන් “ආත්මය තෙමේ රූපාදියට ඇලුම් කෙරේය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

තණ්හාපච්චයා උපාදානං යනුවෙන් උපාදානය තෘෂ්ණාව නිසා ඇති වන්නක් බව දැක්වීමෙන් “සත්ත්වයා රූපාදිය දැඩි සේ ගන්නේ ය. අයත්කර ගන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

උපාදානපච්චයා භවො යනුවෙන් “ආත්මය පින් පව් කරන්නේ ය, ඒ ඒ භවයට යන්නේ ය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

භවපච්චයා ජාති යනුවෙන් “සත්ත්වයා උපදින්නේය” යන වැරදි හැඟීම වළක්වනු ලැබේ.

ජාතිපච්චයා ජරාමරණං යනුවෙන් “ආත්මය දිරන්නේ ය මැරෙන්නේ ය යන වැරදි හැඟීම” වළක්වනු ලැබේ. මෙසේ දෘෂ්ටි නිවාරණයා ගේ වශයෙන් ද ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය දත යුතු ය.