මේ පටිච්චසමුප්පාදය අර්ථ වශයෙන් ද, ධර්ම වශයෙන් ද, දේශනා වශයෙන් ද, ප්‍රතිවේධ වශයෙන් ද ඉතා ගැඹුරු ය. පත්ල නො සෙවිය හැකි පමණට ගැඹුරු ය.
අර්ථ යන මේ වචනය නොයෙක් අර්ථයන් දැක්වීමට ව්‍යවහාර කරන වචනයකි. මේ තන්හි අර්ථය යි කියනුයේ හේතුවේ ඵලයට ය. පටිච්චසමුප්පාදය හේතුඵල පරම්පරාවකි. ජරාමරණය එහි එක් ඵල ධර්මයකි. එහි හේතුව ජාතිය ය. ජාතිය වුවහොත් ජරාමරණය නො වන්නේ නොවේ. ජාතියෙන් ම මිස අනෙකකින් ජරාමරණ වන්නේ ද නො වේ. එහෙත් ජාතිය නිසා ජරාමරණය ඇතිවන සැටි අවබෝධ කර ගැනීම දුෂ්කර ය. එබැවින් ජරා මරණයාගේ ජාතිය නිසා ඇති වූ බව, ජාතියෙන් ආ බව ගැඹුරු ය.
ජාතිය ද කර්මභවය ගේ ඵලයෙකි. කර්මභවය ඇති කල්හි අප්‍රහීණ ක්ලේශයන් ඇති සත්ත්වයා හට ජාතිය නො වන්නේ ද නො වේ. කර්මභවය නැති කල්හි ඒ ජාතිය අන් හේතුවකින් වන්නේ ද නොවේ. භවය ඇති කල්හි භවය නිසා ඒ ජාතිය මේ ආකාරයෙන් වේය යන්න අවබෝධ කර ගැනුම අපහසු බැවින් ජාතියාගේ භවය නිසා ඇති වූ බව, පහළ වී ආ බව ගැඹුරු ය.
භවය උපාදානයාගේ ඵලයෙකි. උපාදානය ඇති වුව හොත් භවය නො වී නවතින්නේ ද නො වේ. උපාදානයා ගේ හේතුත්ත්වය නො ලබා අනෙකකින් භවය වන්නේ ද නො වේ. භවයාගේ මේ උපාදාන හේතුවෙන් හටගන්නා වූ ආකාරය අවබෝධ කිරීමට අපහසු ය. එබැවින් භවයාගේ උපාදානය නිසා හටගත් බව, උපාදානය නිසා පහල වී ආ බව ගැඹුරු ය.
උපාදානය තෘෂ්ණාවේ ඵලයකි. තෘෂ්ණාව ඇති වුවහොත් උපාදාන නො පහළ වන්නේ නො වේ. උපාදානය ද තෘෂ්ණාව නැති ව අන් හේතුවකින් පහල වන්නේ ද නො වේ. උපාදානයා ගේ තෘස්ණා හේතුවක් ඇති වන්නා වූ ආකාරය දුරවබෝධ ය. එබැවින් උපාදානයාගේ තෘෂ්ණා හේතුවෙන් හටගත් බව ගැඹුරු ය.
තෘෂ්ණාව වේදනාවගේ ඵලයෙකි. වේදනාව ස්පර්ශයාගේ ඵලයකි. ස්පර්ශය ෂඩායතනයාගේ ඵලයෙකි. ෂඩායතනය නාම රූපයාගේ ඵලයෙකි. නාමරූපය විඥානයාගේ ඵලයකි. විඥානය සංස්කාරයන්ගේ ඵලයකි. සංස්කාරය අවිද්‍යාවගේ ඵලයකි. මේ ඵල ධර්මයන්ගේ ගැඹුරු බව ද කියන ලද ඒවාට අනුව සිතා ගත යුතු ය. මෙසේ මේ පටිච්චසමුප්පාදය අර්ථ වශයෙන් ගැඹුරු වේ.
ධර්ම යනු ද නොයෙක් අර්ථයන්හි යෙදෙන වචනයකි. මේ ගම්භීර කථාවෙහි ධර්මය යි කියනුයේ හේතුවට ය. පටිච්චසමුප්පාදාංගයෝ දොළොස් දෙන ම ඵල පමණක් නොව හේතූහු ද වෙති. හේතුව පිළිබඳ වූ දුරවබොධත්වය ධර්ම ගම්භීරත්වය යි. අවිද්‍යාව සංස්කාරයන්ගේ හේතුව ය. එය කවර ආකාරයකින් කවර අවස්ථාවක දී සංස්කාරයන්ට හේතු වේ ද යන බව තේරුම් ගැනීමට අපහසු ය. එබැවින් අවිද්‍යාවගේ සංස්කාරයන්ට ප්‍රත්‍යය වන බව ගැඹුරු ය. එසේ ම සංස්කාරාදීන් ගේ විඥානාදි ඵලයන්ට ප්‍රත්‍යය වන සැටි ද ගැඹුරු ය. මේ පටිච්චසමුප්පාදයාගේ ධර්මගම්භීරත්වය යි.
පරම ගම්භීර ධර්මයක් වූ මේ ප්‍රතීත්‍යසමුත්පාදය දේශනා කිරීම ද පහසු කාර්‍ය්‍යයක් නො වේ. බුදුවරයන්ගෙන් අන්‍යයන් පටිච්චසමුප්පාදය දේශනා කරනුයේ බුදුන් වහන්සේ දෙසූ පරිද්දෙනි. ප්‍රථමයෙන්ම මෙය සොයාගෙන දේශනා කළ හැක්කේ බුදුවරයන්ට පමණෙකි. බුදුන් වහ්නසේ විසින් දේශිත පටිච්චසමුප්පාදය විස්තර කිරීම වුව ද අන්‍යයන්ට ලෙහෙසි වැඩක් නො වේ. එබැවින් බුදුගොස් මාහිමියෝ පටිච්චසමුප්පාදය වර්ණනා කිරීමට පටන් ගන්නා අවස්ථාවේ දී මෙසේ පැවසූ හ.
“චත්තුකාමො අහං අජ්ජ පච්චයාකාර වණ්ණනං
පතිට්ඨං නාධිගච්ඡාමි අජ්ඣා ගාළ්හො ව සාගරං”
“ප්‍රතීත්‍යසමුත්පාද වර්ණනාව කියනු කැමති මම අද මහමුහුදට වැටුණු එකකු සේ පිහිටක් නො ලබමිය” යනු එහි තේරුම යි. ත්‍රිපිටක ධර්ම විෂයෙහි සුනිපුන බුද්ධියක් ඇත්තා වූ අර්ථකථාචාර්යයන් වහ්නසේ එසේ කීයේ එහි ඇති දුෂ්කරත්වය නිසාම ය.
බුදුන් වහන්සේ විසින් මේ ගම්භීර ධර්මය ඒ ඒ ආකාරයෙන් දෙසූ කල්හි අවබෝධ කරන්නා වූ සත්ත්වයනට අනුරූප පරිදි සමහර සූත්‍රයක දී මුල ටපන් අග දක්වා ද, සමහර සූත්‍රයක දී අග පටන් මුල දක්වා ද, සමහර සූත්‍රයක දී ඒ දෙපරිද්දෙන්ම ද, සමහර සූත්‍රයකදී ත්‍රිසන්ධියකින් හා රාශි සතරකින් යුක්ත කොට ද, සමහර සූත්‍රයක දී සන්ධි දෙකකින් හා රාශි තුනකින් යුක්ත කොට ද, සමහර සූත්‍රයක දී එක් සන්ධියකින් හා රාශි දෙකින් යුක්ත කොට ද දේශනය කළ සේක. නානා ආකාරයෙන් පටිච්චසමුප්පාදය දක්වා දේශිත සූත්‍ර බොහෝ ගණනක් නිදාන වග්ග සංයුත්තකයෙහි ඇත්තේ ය. විභංගපාළියේ පටිච්චසමුප්පාද විභංගයෙහි අනේකාකාර පටිච්චසමුප්පාද දේශනා සිය ගණනෙකි. මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳ වූ තථාගතයන් වහන්සේ ගේ දේශනය ද අනේකාකාර විචිත්‍ර බැවින් ගැඹුරු ය.
ප්‍රතිවේධ වශයෙන් ගැඹුරු බව මෙසේ දත යුතු. ඥානය වනාහි අනුමාන ඥානය - ප්‍රත්‍යක්ෂ ඥානයි දෙවැදෑරුම් වේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද්දට අනුව නො දක්නා ලද්ද ද තේරුම් ගන්නා ඥානය අනුමාන ඥානය යි. ගින්නේ දුම් නගින බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නා ලද්දකි. දුර දුරමක් පෙනෙන කල්හි එහි ද ගින්නක් ඇතය යි දක්නා ලද්දට අනුව සිතා ගත හැකි ය. එය අනුමාන ඥානය යි. එය සමහර විට සත්‍ය ද වෙයි. සමහර විට අසත්‍ය ද වෙයි.
ඇසින් දක්නාක් මෙන් ම ඇසට නො පෙනෙන දෙය ද තත්වාකාරයෙන් දැකිය හැකි ඥානය ප්‍රත්‍යක්‍ෂ ඥානය යි. ප්‍රතිවේධය යි කියනුයේ ද ඒ ප්‍රත්‍යක්‍ෂ ඥානයට ය. අනුමාන ඥානය වනාහි අඳුරෙහි දී දුටු දෙයක් පිළිබඳව ඇති දැනුම වැනි ය. ප්‍රතිවේධ ඥානය සූර්‍ය්‍යාලෝකයේ දී දුටු දෙයක් පිළිබඳව ඇති දැනුම වැනි ය. ප්‍රතිවේධ සංඛ්‍යාත විශිෂ්ට ඥානය පියවි ඇසට නො පෙනෙන දෑ පෙන්වන කන්නාඩියක් වැනිය යි ද කිය යුතු ය. ඇසට හා අනුමාන ඥානයට හසු නො වන ඉතා අප්‍රකට කරුණු දත හැක්කේ ප්‍රතිවේධය යි කියන විශිෂ්ට ඥානයෙනි.
සාමාන්‍ය ඥානයට හසු නො වන විශිෂ්ට ඥානයෙන් දතයුතු වූ අප්‍රකට දේවලට ද ප්‍රතිවේධ යන නාමය කියනු ලැබේ. මෙම ගම්භීරභාව කථාවෙහි ප්‍රතිවේධ යන වචනයෙන් අදහස් කරනුයේ විශිෂ්ට ඥානයෙන් ම දතයුතු ස්වභාවයෝ ය.
පටිච්චසමුප්පාදයට අයත් වූ අවිද්‍යාදි ධර්මයන් ගේ සාමාන්‍ය ඥානයට හසු නොවන බොහෝ දුරවබෝධ ස්වභාවයෝ ඇත්තාහ. ඒවා ඉතා ගැඹුරු ය. පටිච්චසමුප්පාදයෙහි ප්‍රතිවේධ ගම්භීර භාවය නම් ඒ ස්වභාවයන් ගේ ගැඹුරු බව ය. ඒ ඒ පටිච්චසමුප්පාදංගයන්හි ඇති ගම්භීරත්වය විභංග අටුවාවෙහි දැක්වූ ආකාරය මෙසේ ය:
“අවිජ්ජාය අඤ්ඤාණා දස්සනසච්චා සංපටිවේධට්ඨෝ ගම්භීරෝ”
තේරුම:-
අවිද්‍යාව ගේ ඥානයට ප්‍රතිපක්‍ෂ බව වූ නොදැනීමය, අරමුණුවල තත්ත්වාකාරය දැකීමට ප්‍රතිපක්‍ෂ බව වූ නො දක්නා ස්වභාවය ය, චතුරාර්‍ය්‍යසත්‍යය දක්නට නො දී වසා ගෙන සිටින ස්වභාවය ය යන මේවා ගැඹුරු ය.
“සංඛාරානං අභිසංඛරණායුහනසරාගවිරාගට්ඨෝ (ගම්භීරෝ)”
සංස්කාරයන්ගේ ස්කන්ධයන් ඇති කරන බව ය, ප්‍රාණඝාතාදි වූ ද දානාදි වූ ද ක්‍රියා සිද් කරන බව ය, රාගයට අනුකූල බවය, රාගයට ප්‍රතිපක්‍ෂ බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“විඤ්ඤාණස්ස සුඤ්ඤත අව්‍යාපාර අසංකන්ති පටිසන්ධි පාතුභාවට්ඨෝ (ගම්භීරෝ)”
විඥානයාගේ ආත්ම ස්වභාවයෙන් හිස් බව ය, දැනගැනීම සුවදුක් විඳීම භවයෙන් භවයට යාම යනාදිය පිළිබඳ ව්‍යාපාරයක් නැති බව ය, නො ගොස් ම ප්‍රතිසන්ධිය ඇති වන බව ය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“නාමරූපස්ස ඒකුප්පාද විනිබ්භෝගා විනිබ්භෝගමනරුප්පනට්ඨෝ (ගම්භීරෝ)”
නාමරූපයා ගේ එකට උපදනා බවය, අමිශ්‍ර ව පවත්නා බවය, මිශ්‍ර ව පවත්නා බවය, නැමෙන බවය, විකාරයට පැමිණෙන බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“සළායතනස්ස අධිපතිලෝකද්වාරඛෙත්තවිසය විසිභාවට්ඨෝ (ගම්භීරෝ)”
ෂඩායතනයා ගේ දර්ශනාදියෙහි අධිපති භාවය, ලෝක භාවය, ද්වාර භාවය ය, ක්ෂේත්‍රභාවය ය, විෂය භාවය ය, විෂයීභාවය ය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“එස්සස්ස ඵුසනසංඝට්ඨන සංගතිසන්නිපාතට්ඨෝ (ගම්භීරෝ)”
අරමුණු ස්පර්ශ කරන බවය, අරමුණෙහි ගැටෙන බවය, වස්ත්වාරම්මණ චිත්තයන්ගේ එක් වන බවය, එක් තැනකට වැටෙන බවයයන මේ ස්පර්ශයා ගේ ස්වභාවයෝ ගැඹුරු ය.
“වේදනාය ආරම්මණරසානුභවනසුකදුක්ඛමජ්ඣත්තභාවනිජ්ජි වේදයිතට්ඨෝ (ගම්භීරෝ)”
වේදනාවගේ අරමුණ රසය වළඳන ස්වභාවය ය, සුඛදුඃඛමධ්‍යස්ථස්වභාවය ය, සත්ත්වයකු නො වී අරමුණු රස විඳින ස්වභාවය ය යන මේවා ගැඹුරු ය.
“තණ්හාය අභිනන්දිතජ්ඣෝසාන සරිතාලතානදි තණ්හාසමුද්ද දුප්පූරණට්ඨෝ (ගම්භීරෝ)”
තෘෂ්ණාවගේ අරමුණ හොඳ සැටියට ගන්නා බවය, ගිලගන්නාක් මෙන් තදින් අයිති කර ගැනීම් වශයෙන් අරමුණ ගන්නා බවය, අරමුණුවලට යන බවය, අරමුණුවල වෙළෙන බැවින් වැලක් වැනි බවය, දිගට යන බැවින් ගංගාවක් වැනි බවය, තෘෂ්ණා සාගරයක් බවය, පිරවීම දුෂ්කර බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“උපාදානස්ස ආදානගහනාභිනිවේසපරාමාස දුරතික්කමනට්ඨෝ (ගම්භීරෝ)”
උපාදානයාගේ රූපාදිය තදින් ගන්නා බවය, කැමතිවීම් මාත්‍රයෙන් ගන්නා බවය, නිත්‍ය සුඛ ශුභාදි වශයෙන් සලකා ඒ ඒ ආරම්මණයට බැස ගන්නා බවය, නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා බවය, ඉක්මවීමට දුෂ්කර බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“භවස්ස ආයූහනාභිසංඛරණ යෝනිගතිඨිති නිවාසේසු ඛිපනට්ඨෝ (ගම්භීරෝ)”
භවයාගේ දානාදි ක්‍රියා සිදුකරන බවය, ස්කන්ධයන් ඇති කරන බවය, යෝනි ගති ඨිති නිවාසයන්හි බහාලන බවය යන ස්වභාවයේ ගැඹුරු ය.
“ජාතියා ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති පාතුභාවට්ඨෝ, (ගම්භීරෝ)”
ජාතියගේ අපරිපූර්ණත්වයෙන් උපදනා බවය, පරිපූර්ණත්වයෙන් උපදනා බවය, ප්‍රවේශ වන්නාක් මෙන් උපදනා බවය, පහළවීම් වශයෙන් උපදනා බවය, ස්කන්ධයන් පහළ වන බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.
“ජරාමරණස්ස ඛයවයභේදවිපරිණාමට්ඨෝ (ගම්භීරෝ)”
ජරාමරණයා ගේ අඩුවන බවය, නැති වන බවය, බිඳෙන බවය, අන් ආකාරයකට පැමිණෙන බවය යන මේ ස්වභාවයෝ ගැඹුරු ය.