පටිච්චසමුප්පාදාඞ්ග දොළොසෙන් කොටසක් ක්ලේශයෝ ය. කොටසක් කර්මයෝ ය. කොටසක් විපාකයෝ ය. ක්ලේශයන් නිසා සත්ත්වයෝ කර්ම කෙරෙති. කර්මය නිසා විපාකය වේ. විපාකය නිසා නැවතත් ක්ලේශයෝ පහළ වෙති. ක්ලේශයන්ගෙන් පටන් ගත් ධර්ම පරම්පරාවෙහි නැවතත් ක්ලේශයන් ඇතිවීම, පටන්ගත් තැනට ම පැමිණීම ය. යම්කිසි ධර්ම පරම්පරාවක නැවත පටන් ගත් තැනට ම පැමිණීම වේ නම් ඒ ධර්ම පරම්පරාවට චක්‍රයකැ යි කියනු ලැබේ.
ක්ලේශයන් ගෙන් පටන් ගෙන කර්ම හා විපාක ඇති වී නැවත ද ක්ලේශයන් ඇති වීමෙන් මුලට එන බැවින් මෙය චක්‍රයකි. ක්ලේශ කර්ම විපාක වශයෙන් මේ චක්‍රය මාර්ගඥානයෙන් කෙලෙසුන් නසන තුරු නො සිඳී පවත්නේ ය.
මෙහි අවිද්‍යා තෘෂ්ණා උපාදානයෝ ක්ලේශයෝ ය. කර්මභවය හා සංස්කාරයෝ කර්මයෝ ය. විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - උපපත්තිභව - ජාති - ජරා - මරණ යන මොවුහු විපාකයෝ ය. නැවත නැවත මතු වී එන්නා වූ ධර්මයන්ට වෘත්තය යි ද කියනු ලැබේ. නැවත නැවත එන්නා වූ අර්ථයෙන් ක්ලේශයෝ ක්ලේශවෘත්ත නම් වෙති. කර්මයෝ කර්ම වෘත්ත නම් වෙති. විපාකයෝ විපාක වෘත්ත නම් වෙති.