උපමාවකින් දැක්වූ කල්හි අප්‍රකටාර්ථය පහසුවෙන් අවබෝධ වේ. එබැවින් පණ්ඩිතයෝ අප්‍රකටාර්ථයන් ප්‍රකාශ කිරීමේ දී නොයෙක් උපමා දක්වති. එය ගුප්තාර්ථයන් ප්‍රකට කිරීමට ඇති ඉතා හොඳ ක්‍රමයකි. සමහර අප්‍රකටාර්ථයන් දැක්වීමට උපමා ද නැත. උපමා සොයා ගත හැක්කේ අප්‍රකටාර්ථයන්ගෙන් සමහරක් පමණක් ප්‍රකට කිරීමටය. ප්‍රතීත්‍යසමුත්පාදය ඉතා ගැඹුරු ධර්මයකි. එකකින් ම එය අවබෝධ කරවීමට සෑහෙන උපමාවක් සොයා ගෙන නැත. පූර්වචාර්‍ය්‍යවරයෝ පටිච්චසමුප්පාදය දැක්වීමට අන්ධෝපමාවක් ගත්හ. එයින් ද පටිච්චසමුප්පාදය ප්‍රකට කළ හැක්කේ ඉතා මඳ වශයෙනි. එපමණට වත් එයට සුදුසු වන අන් උපමාවක් නුදුටු බැවින් මෙහි ද එය ම දක්වනු ලැබේ. ඒ මෙසේ ය.
එක ගමක අන්ධයෙක් විය. නො පෙනී ඒ මේ අත යන්නා වූ ඔහුගේ පය දිනක් මුලක පැකිළිණ. එයින් හෙතෙමේ බිම ඇද වැටිණ. එයින් ඔහුගේ දණහිසෙහි මහ ගෙඩියක් මතු විය. ගෙඩිය මෝරා පැසවා ගෙන එන කල්හි සිදුරු වුණ තැන්වල කුඩා බිබිලි සයක් මතු විය. ඒ බිබිලි ද ගසක සැපිණ. එයින් බලවත් වේදනාවක් හටගත. ඔහුට වේදනාවට ප්‍රතිකාරයක් ගැනීමේ ආශාව ඇති විය. ඔහු වෙදකු වෙත ගොස් නො මනා බෙහෙතක් ගති. නො මනා බෙහෙත ගෙඩියෙහි ගැල්විය. එයින් ගෙඩියෙහි තවත් නපුරු ලකුණු පහළ විය. එයින් ගෙඩිය නපුරු ලෙස පුපුරා අන්ධයා තවත් දුකට පත් විය. මේ අන්ධෝපමාව ය.
චතුරාර්‍ය්‍ය සත්‍යය හා ධර්මයන් ගේ අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණ හා ඒ ඒ ධර්මයට පමණක් අයත් විශේෂ ලක්‍ෂණ ද නො දක්නා බැවින් අවිද්‍යාව අන්ධයා වැනි ය.
අන්ධයා නො මඟ ගොස් මුලේ පැටළෙන්නේ නො පෙනීම නිසා ය. එමෙන් ආර්‍ය්‍යසත්‍යයන් නො පෙනෙන බැවින් සත්ත්වයා පැමිණ තිබෙන දුකින් මිදීමේ හා සැපය ලැබීමේ ද බලාපොරොත්තුවෙන් තවත් දුක් ඇති වීමට තවත් සසර දික් වීමට හේතු වූ කර්ම කරන්නේ ය. කර්ම නම් අවිද්‍යා හේතුවෙන් වන්නා වූ සංස්කාරයෝ ය. නො දැනීම නිසා වන ඒ සංස්කාරයෝ අන්ධයා ගේ පැකිළීම වැනි ය.
පැකිළීමෙන් වනුයේ බිම ඇද වැටීම ය. සංස්කාර සංඛ්‍යාත පින් පව් කිරීමෙන් වනුයේ ද සුගති දුර්ගති දෙකට වැටීම ය. සුගති දුර්ගතීන්ට වැටීම නම් සංස්කාර හේතුවෙන් විඥානය පහළ වීම ය. එබැවින් සංස්කාර හේතුවෙන් පහළ වන විඥානය, අන්ධයා ගේ බිම ඇද වැටීම වැනි ය.
නාමරූපය වනුයේ භවයට වැටීම වූ විඥානය නිසා ය. එබැවින් නාමරූපය, වැටීම නිසා අන්ධයා ගේ දණහිසැ මතු වූ ගෙඩිය වැනිය.
ගෙඩියක් මෝරන කල්හි එහි රැස් වුණු ලේ සැරව පිට කරන සිදුරු සෑදෙන ස්ථානයන්හි පළමුවෙන් කුඩා බිබිලි මතු වේ. බිබිලි පුපුරා සිදුරු වී ඒ තැන්වලින් ලේ සැරව ගලන්නට පටන් ගනී. නාමරූපය මෝරන කල්හි එය හා බැඳී ෂඩායතනයෝ පහළ වෙති. ඒවායින් කැරෙනුයේ ද ගෙඩියෙන් ලේ සැරව ගලන්නාක් මෙන් රූප ශබ්දාදි ආරම්මණ විෂයෙහි ලෝභාදි කෙලෙස් සැරව ගැලීම ය. එබැවින් ෂඩායතනය, අන්ධයා ගේ බිබිලි සය වැනි ය.
අන්ධයා හට යම්කිසිවක නො සැපෙන සේ ගෙඩිය නො රැකිය හැකි ය. එය කවදා හෝ යම් කිසිවක සැපෙන්නේ ය. එමෙන් රූපාදිය හා ගැටීමට සුදුසු පරිදි පහළ වූ ෂඩායතනය කවර අවස්ථාවකදී හෝ රූපාදීන් හා ගැටෙන්නේ ය. අන්ධයා ගේ බිබිලි ගසේ සැපීම වේදනාව ඇතිවීමට හේතුව වන්නාක් මෙන් ෂඩායතනයන් ගේ රූපාදිය හා ගැටීම ද වේදනාවට හේතුවක් වන බැවින් ෂඩායතන හේතුවෙන් වන ඵස්ස ය, අන්ධයා ගේ ගෙඩියේ බිබිලි ගසේ සැපීම වැනි ය.
අන්ධයාට ඇති වූ වේදනාව සැපීම නිසා ඇති වූවකි. එමෙන් ස්පර්ශ නිසා ඇතිවන වේදනාව ද ෂඩායතනය රූපාදියෙහි ගැටීමෙන් ඇතිවන්නක් බැවින් අන්ධයා ගේ වේදනාව වැනි ය.
වේදනාවෙන් පීඩිත අන්ධයාහට එය නො ඉවසිය හැකි බැවින් එයට බෙහෙතක් සොයා ගැනීමේ ආශාව ඇති වේ. එමෙන් ෂඩායතනයෙහි රූපාදිය සැපුණු කල්හි ඇති වූ වේදනාව නිසා සත්ත්වයාට ඒ රූපාදිය පිළිබඳව තෘෂ්ණාවක් ඇති වේ. ඒ තෘෂ්ණාව වේදනාවෙන් කෙරෙන පීඩනයට ප්‍රතිකාර සෙවීමක් වැනි බැවින් අන්ධයා ගේ බෙහෙත් සොයා ගැනීමේ ආශාව වැනි ය.
තෘෂ්ණා ඇති වූ කල්හි සත්ත්වයා තමාට හොඳක් කර ගන්නා අටියෙන් තෘෂ්ණාව ඇති වූ දෙය ලබා ගෙන අයත් කරගෙන තවත් තෘෂ්ණාව දැඩි කර ගනී. රූපාදිය ආත්ම වශයෙන් ද දැඩි කොට ගනී. ඒ ගැනීම උපාදානය යි. හොඳක් කරගන්නා අටියෙන් එසේ කළත් එයින් වන්නේ වඩාත් නපුරකි. එබැවින් උපාදානය අන්ධයා ගේ නොමනා බෙහෙත ගැනීම වැනි ය.
රූපාදිය ආත්ම වශයෙන් හා ආත්මයට අයත් දේ වශයෙනුත් දැඩි කොට ගත් සත්ත්ව තෙමේ ඒවා ආරක්ෂාකර ගැනීම පිණිසත් නැවත නැවත ලබා ගනු පිණිසත් භවගාමි කර්මයන් කරයි. අන්ධයා විසින් නො මනා බෙහෙත ගෙඩියෙහි ගැල්වීම තවත් දුක් ඇති වීමට හේතු වන්නාක් මෙන් කර්ම රැස් කිරීම තවත් දුක් ඇති වීමේ හේතුවක් වන බැවින් උපාදාන ප්‍රත්‍යයෙන් වන්නා වූ කර්ම සංඛ්‍යාත භවය අන්ධයා ගේ නො මනා බෙහෙත ගැල්වීම වැනි ය.
කර්මභවය නිසා නැවත ද භවයක ඉපදීම වූ ජාතිය නො මනා බෙහෙත ගැල්වීමෙන් අන්ධයාගේ ගෙඩියට අළුතෙන් එක් වූ ලේසැරව වැනි ය.
ජාතිය නිසා හටගන්නා වූ ජරාමරණය වඩ වඩා ලේ සැරව එක්වීමෙන් අන්ධයා ගේ ගෙඩිය පුපුරා යාම වැනි ය. මෙසේ අන්ධෝපමාවෙන් පටිච්චසමුප්පාදය දත යුතු ය.