අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාමාවචර කුසල කර්ම

කාමාවචර කුසල කර්මයෝ ද්වාරයන්ගේ වශයෙන් කාය කර්ම වාග් කර්ම, මනො කර්ම යයි ත්‍රිවිධාකාර වෙත්. කායද්වාරයෙන් හෙවත් ස්වහස්තයෙන් දානාදී පින්කම් කරන කල්හි කාය කර්ම වශයෙන් ද වාග්ද්වාරයෙන් හෙවත් වචනයෙන් විධානය කිරීම්, අනුශාසනා කිරීම් ආදීවූ පුණ්‍යක්‍රියාවන් කරණ කල්හි වාග් කර්ම වශයෙන්ද, මනොද්වාරයෙන් හෙවත් සිතින්ම කුසල් කරණ කල්හි මනො කර්ම වශයෙන්ද සළකනු ලැබේ. තවද කාය දුශ්චරිතාදී යෙන් වළකින කල්හි කාය කර්ම වශයෙන් ද, වාග් දුශ්චරිතාදී යෙන් වළකින කල්හි වාග් කර්ම වශයෙන්ද, මනො දුශ්චරිතාදී යෙන් වළකින කල්හි මනො කර්ම වශයෙන් ද ගණන්ගනු ලැබේ.

තවද කුසල කර්මයෝ දාන, ශීල, භාවනා වශයෙන් ද ත්‍රිවිධ වෙත්.

චිත්තෝත්පාද වශයෙන් සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික සසංඛාරිකාදී වශයෙන් අට වැදෑරුම් වේ.

කුසල කර්මපථයන් වශයෙන් දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවණ, ධම්ම දේශනා, දිට්ඨුජ්ජු කම්ම වශයෙන් දශ විධ වේ.